පළමු ලිපිය : ‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන (1)
දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)
ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03
ඊළාමයේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04
සිහිනවල සිටි අතුරුදහන්වූවෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05
ලන්ඩනයේ නාග ගෝත්‍රිකයෝ - බිණු නාගාර්ජුනගේ මතකවත - 06
නාගාර්ජුනගේ රජුන් හා නොරජුන් - බිණු නාගාර්ජුනගේ මතකවත - 07
‘අනාරාධයෙන්ම එන්නේ ය. අනාරාධනයෙන්ම යන්නේ ය.’
මේ ප්‍රකට බෞද්ධ ඉගැන්වීම හැම ජීවියෙකුටම අදාලයි. අනුබුද්ධ නාගාර්ජුනයන් වියවුල් වූ මගේ මනස සකසන්න උත්සාහ කරනව.
තරුණවියට පිය නගන විටම බිණු නාගාර්ජුන හොඳටෝම මෙට්‍රපොලිටන නාගරිකයෙක් වෙලයි හිටියේ. එයා හිතුවේ ඒ මොහොත ගැන විතරයි එය සතුටෙන් විනෝදයෙන් ගත කරන්න හැමදෙයක්ම කළේ. එයාට ඕන වුණේ වානිජ කලාව [ Commercial Art] කරන්න. සරසවියේ [UCA – University of Creative Art]ඉගෙන ගත්තේත් එයම. කොළඹ සිටි මගේ මිත්‍රයන් හරහා එයා ප්‍රධාන දැන්වීම් සමාගම් කීපයකම මේ වෙනුවෙන් පුහුණුව ලැබුව. පස්සෙ කැනේඩියානු සමාගමක කලා අධ්‍යක්ෂ [Art Director] කෙනෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්ත. ඒ වන විට පූර්ණකාළීන ලේඛකයෙක් බවට පත් වූ මගේ බොහොමයක් අඩුපාඩු පිරිමැහුවේ බිණු නාගාර්ජුන.
පිළිකා මාරයා එයාගේ ශරීරයට ඇතුල් වී ඇති බව දැන ගත්තේ බොහෝම ප්‍රමාද වෙල. ශක්තිමත් තරුණ සිරුර, රැකියාවේ අවිවේකය නිසා එහි සංකූලතා නොදකින්න ඇති.
“මේ පිලිකාව හැදුනම සනීප කරන්න පුළුවන් පස් දෙනෙකු ගෙන් එක් කෙනෙක් විතරයි. ඒ සනීප කළත් නිරෝගී ජීවිතයක් නැවත ලැබෙන්නේ නෑ. මම මැරෙන්න බය නෑ..!”
එයා වෙනුවෙන් වැලපෙන අපි සැනසුව. ඒ වෙන විට සති තුනක් මම එයා ලඟ. මම බිණූ නාගාර්ජුන මට මඟ හැරුණු කාලයම මගේ ජීවිතයට එකතු කර ගත්ත. එයාගේ ඇඳ ලඟ ඉන්න අතරේ අපි දෙන්න අතරේ තිබුණු බැදීම්, කැඩීම්, මගේ මතකයට ගලා එන්න පටන් ගත්ත. එයා ඉතාම සාමකාමී කෙනෙක්. මගේ පැවැත්මේ සම්පූර්ණ අනික් පැත්ත. කවදාවත් කිසිමකෙනෙක් එක්ක රණ්ඩුසරුවල් වෙන්න ගියේ නෑ.
අපි අතරේ අවසාන ගැටුම ඇති වුණේ එයා දකිමින් සිටි සිහිනයේ අවසන් සතියේ. රෝහලට ඇතුල් කර දවසේ එයට නැවත ප්‍රතිකාර ආරම්භ කරන්න වෛද්‍යවරුන් සුදානම් වූ මොහොතේ අපි දෙන්න රණ්ඩුවක් ඇල්ලුව. එයා තවදුරටත් ප්‍රතිකාර එපා කියල දෙන කැමැත්තට අත්සන් කරන්න සුදානම් වුණා. මම ඒක උදුර ගත්ත. එයා තරහෙන් මෙහෙම කිව්ව.
“ මට මැරෙන්න දෙන්න. මේ වේදනාව මට දරන්න බෑ. මට යන්න දෙන්න.”
මම ඒකට ඉඩ දුන්න.
අනුබුද්ධ නාගාර්ජුන මුලමාධ්‍යමික කාරිකාවේ දී මෙහෙම කියනව
‘යමෙකුට හිස්බව පසක් කල හැකිද,
ඔහුට සියල්ල කළ හැකිය’
අපි දෙන්නම ඒ වන විට ‘හිස්බව’ පසක් කර ගනිමින් හිටියේ. එයා දකිමින් සිටි සිහිනය බොඳ වී යමින් තිබුණේ.
ගෙවුණු අප්‍රියෙල් 01 හැන්දෑවේ රෝහල්ගත කර සිටි බිණූ නාගාර්ජුනගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා. ඒ වන විටත් එයාගේ ශරීරයට අධි මාත්‍රාවලින් ‘මෝෆීන්’ වේදනා නාශකය දින හයක් පුරා ඇතුල් කරමිනුයි තිබුණේ. පිළිකා මාරයා ගිල ගත් එයාගේ ශරීරය හොඳටෝම දුර්වල වෙල තිබුණේ. අධිමාත්‍රා මෝෆීන් නොතිබෙන්න එයාට ඒ වේදනාව දරන්න බැරි වෙනව. මම දැන ගත්ත එයාගේ මේ සිහිනයෙන් යන්න සුදානම් වෙන බව. ඒ වගේම මගේ තවත් දිගැස්සෙන මේ සිහිනයේ එතැන් පටන් එයාගේ මතකය සිහිනයක් වන බව. මම විටින්විට එයාගේ දිව වතුරු බිංදුවලින් පෙඟුව. වේයලී තිබු තොල්වල බාම් ආලේප කලා. අපේ සමුගැනීම එයාට පහසු කරන්න ඊට වඩා දෙයක් තිබුණේ නෑ.
දින කීපයක් පුරා සිහිසුන්ව වේගයෙන් හුස්ම ගනිමින් සිටි බිණූ නාගාර්ජුන අප්‍රියෙල් දෙවෙනි බ්‍රහස්පතින්දාට හිරු නැඟෙද්දී හුස්ම ගැනීමේ වේගය අඩු කළා. පැය භාගයක් විතර සෙමෙන් හුස්ම ගත් එයා එකවරම උස් සුසුමක් පිට කරා. ඒ තමයි එයාගේ අවසාන හුස්ම. අවුරුදු 35වත් සම්පූර්ණ නොකරපු අපිත් සමඟ ගෙවූ එයාගේ ‘සිහින යානය’ අවසන් වුණේ ගෙවුණු එදින 02 අලුයම 5.00 පසු වී විනාඩි 8 ගෙවෙද්දී. එයා මේ ලෝකෙන් පිටවෙන්න අවසන් හුස්ම ගන්නා වෙලාවේ මම එයාගේ අත අල්ලගෙන හිටියේ.
දැන් එයාට කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ නැති බව දැන දැනත් මම මෙහෙම කිව්ව.
“ බිණූ නාගාර්ජුන, මගේ හීනය කෙලවර වෙන්න කලින් මට තව පොත් හත අටක් ලියන්න තියෙනව. ඒක, මම, මටම බාර කරපු බරපතල වගකීමක්. ඔයා යන එක හොඳයි. ඔයා ඉපදෙන කොට තිබුණු ලෝකය එහෙම පිටින්ම වෙනස් කරන්න අපට බැරි වුණා. මේ එන යුද්ධය මොන වගේ වේද මම දන්නේ නෑ. ඉතාම සාමකාමී අහිංසක මනුෂ්‍යයෙකු වූ ඔයා, ඒක නොදකින එක වඩා හොඳ දෙයක්. ඉතින් බිණු නාගාර්ජුන කුමාරයානෙනි, අපි තවත් නපුරු හීනයක නෙවෙයි ලස්සන හීනයක හමුවෙමු.”
එයා සදාකාලික සුසුමක් හැටියට මගේ හීන යානයට ඇතුල් වුණා.
එතැන් පටන් අපි සමඟ දුටු සිහිනය අවසන් කරල එයා සති තුනක්ම හිටියේ ශීත කාඹරය. එයාගේ අම්ම කිව්ව
“අනේ මගේ පුතා හීතලේ ඇත්තේ. එයාට සීතල දරන්න බෑ. අනේ, කොහොම ඉන්නවද දන්නේ නෑ..!”
ශූන්‍යත්වයට පත් වූ එයාට උණුසුම - සීතල නොදැනෙන බව මම කියන්න ගියේ නෑ.
අපි අද භවස [20/04/26] බිණූ නාගාර්ජුන, හැන්වර්ත් [Hanworth] අදාහනාගාරයේ දී ශූන්‍යත්වය පත් කරනව. ඊට පෙර අපි මහායානිකයන්ගේ අති පුරාණ චාරිත්‍රයක් ඉටු කරනව.
‘සීහළවත්ථු’ [අති පුරාණ සිංහල බණ කතා] අනුව අනුරාධපුර යුගයේ මහා සාගත [බැමිණිටියා සාය] පවතින කාලවල මිනිස්සු දකුණු ඉන්දියාවට මාරු වෙනව. එහෙම යන උදවිය හුදකලාව කාංසිය නැති කරගන්න හැන්දෑවල රැස් වෙල උපන් රටේ යට ගියාව සිහිකරනව. අපිත් එයා ශූන්‍යත්වයට පත් කිරීමට එයාගේ මතකයන් සිහිකර පැරණි සිරිත වර්තමානයට ගේනව.
එයා ශූන්‍යත්වයට පත් වෙන්නේ නාග ගෝත්‍රික මුතුන්මිත්තන් ශූන්‍යත්වයට පත් නොවූ ආගන්තුක රටක දී. ආගන්තුක නගරයක දී. එහෙම වුණත් එයා, මා දකින මේ සිහිනය අවසන් වෙන තාක් ඒ තුල ඉදිවී. පාලුවට යමින් තිබෙන මගේ සිහිනය පුරාම වෙනදා වගේම හිස වනමින් සිනාසෙමින් ප්‍රිය තෙපුල් තෙපලාවි.
ඉතින්, ‘බිණු නාගාර්ජුනගේ මතකවත’ මෙතැනින් සමාප්ථයි. කිය වූ, නොකිය වූ ඔබ සැම දකින සිහිනය සුබම සුබ සිහිනයක් වේවා. එයා ශූන්‍යතාවයට පත්වීම සිහි කළ හැමම සුවපත් වේවා.
සමාප්තයි.
නන්දන වීරරත්න
20/04/ 26
මා මෙය නැවත නැවතත් පල කිරීමට හේතුව වන්නේ රාජකීය විද්‍යාලයෙන් 1983 දී අධ්‍යන පොදු සහතික උසස් පෙළ විභාගය කර සිටි සංක්‍රාන්ති සමයේ, මගේ පොත් කියැවීමේ දැඩි රුචිය නිසාම පොලිස් පුස්තකාලයේත්, දහම් පාසල් පුස්තකාලයේත් පොත් කියවා නිමා කර මහජන පුස්තකාලයේ පොත් කියවීම ඇරඹු කාලයේ නන්දන වීරරත්න 1984 දී නිර්මාණ සංවාද කුලකය නමින් සංවාද සමාජයක් පුස්තකාලයේ ඇරඹීමයි . මගේ ජිවිතයේ බොහෝ වෙනස් කම් සිදුවීමට හේතු වූයේද ඒ කාලයයි . ඉන් වසර 24 කට පමණ පසු ලන්ඩනයේදී හමුවන විට අප දෙදෙනාම සාකච්චා කලේ අභයගිරි මහා විහාරය හා මහායාන බුද්ධාගම තිබුනේ නම් ශ්‍රී ලංකාව අද කොතැනද යන්නයි. ඒ වනවිට අප දෙදෙනාම මහායානිකයන් බව වටහාගතිමු .
එසේම බොහෝ අය , ඔහු (නන්දන ) ඔහුගේ ලිපි තුලින් මිනිසුන්ට විරුද්ධව වෛරය වැපිරවීම නිසා ඔහුගේ පුතා අඩු වයසින් මිය ගිය බවට කරන අවලාදයි. ඔහුගේ පුතා මරණය වැළඳ ගත්තේ දැඩි සතුටකිනි . පර්යේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස නන්දන කරන්නේ සත්‍ය පැවසීම පමණකි . ඔහුට දැඩි ලෙස අවාසිදායක වුවද ඔහු එය අත් හැරියේ නැත .
කොළඹ ගමයා
No comments:
Post a Comment
ප්‍රතිචාරයට ස්තූතියි