ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

 

Forwarded this email? Subscribe here for more



ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..!

බිණු නාගාර්ජුනගේ මතකපොත 04

****************************************************************

‘තෝල්වි නිලෙයියෙන නිනෙයිත්තාල්

මනිදර් වාලවෙයි නිනෙයික්කලාමා...

වාල්වෙයි සුමෙයියන නිනෙයිත්තාල්

තායන් කනවෙයි මරක්කලාමා...

උරුමෙයි ඉඳලොම්...’

‘පරාජය ගැන හිත හිතා උන්නොත්

හැකිවේද ජීවිතේ ගැන සිතන්න​ට

ජීවිතේ මහ බරකැ​යි හිතලා

අමතක කළ හැකි​ද අම්ම​ගේ හීනය

මිනිසත් බවේ අරුම කිම

මිනිසුන් ලෙස ජීවත්වන්නට නොලැබී...!

‘විමුක්ති කොටින්’ අතරේ ජනප්‍රිය මේ ගීය නිතර අහන්න ලැබුණේ කිළිනොච්චියේ කොටි දේශපාලන කඳවුරක සතියක් විතර රස්තියාදු වෙන අතරේ.

‘ඊළාම් සිහින දේශය’ ගැන දිගු කාළීනව උනන්දුවක් මට තිබුණ. 1987 මැද ‘කැප්ටන් මිලර්’ පළමු කළු කොටියා හැටියට මරාගෙන මැරෙන්න ඉදිරිපත්වීමේ පටන් මනුෂ්‍යයන් මිනිස් බෝම්බ බවට පත්වීම හා නාගාර්ජුනයන්ගේ සිහින සංසාරය අතරේ බැදීමක් ඇතැයි මට සිතුණා. එහෙම හීන තුල ජීවත් නොවෙනවානම් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් දිවි පුදන්න බැරි බවයි මගේ විස්වාසය වුණේ. එබදු සන්නද්ධ දේශපාලන කණ්ඩායමක් හදුනා නොගෙන යෙදෙන පත්තරකාරයෙකු වීමෙන් පළක් නැති බවයි මම විශ්වාස කළේ.

1993 මැද, රාවයේ තවත් තුන් දෙනෙකුත් එකතු කරගෙන [ප්‍රියන්ජන් සුරේශ්, සුනිල් ජයසේකර හා හසක රත්නමලල]ඊළාම් භූමියට ඇතුළු වුණා. අපේ ගමනාන්ත​ය දැන සිටියේ රාවයේ කර්තෘ මණ්ඩලය පමණයි. එතකොට බිණූ නාගාර්ජුන ඇවිදිනව. ඒත් මම ගෙදරට කීවේ,

‘වව්නියාවට යනව. සතියකට විතර, ඉක්මනින් එනව.’

පෙරියපණ්ඩිවිරිච්චාන් [මඩු පල්ලිය ආසන්න ගමක්] මිනිසුන් රහිත භූමියෙන් එගොඩට ගිය තැන ඉඳල මම දැක්කේ ඊළාම් සිහිනය තුල ජීවත්වෙන මිනිස්සු. මඩුපල්ලි අනාථ කඳවූරේ විතරක් 85000 අනාථයො හිටිය. ඔවුන්ට යුද්ධයක වගක් වත් තිබුණේ නෑ. ඔවුනුත් හරියටම අස්වඝෝෂ හිමියන් ව​ගේ. එහෙම ජීවත්වෙන බවක් දැනෙන්නේ නෑ. මඩු අනාථ කඳවුරේ එක තැන. විසාල පණු හැලියක වගේ හිටියේ. මම දැකපු, මට කතා කරපු, මට උදවු කරපු හැම කොටි සාමාජිකයෙක්ම මරණයෙන් අවසන් නොවන හීනයක හිටියේ. ඔවුන් සාමුහිකව එකම හීනයක් දකිමින් සිටියා. ඒ ‘දෙමළ ඊළාම්’ සිහිනය.

ඇත්තටම දකුණු ඉංදියාවේ උපන් මගේ අනුබුද්ධ - නාගාර්ජුන, ද්රාවිඩයෙක්...! මේ නිසා දෙමළ ජනයා මට වඩා පහසුවෙන් මාධ්‍යමික දර්ශනය, ‘මූල මාධ්‍යමික කාරිකාව’ කියවා ඉගෙන ගන්නව ඇති කියල මට හිතුන.

අපි යාපනයට ගිය ගමන්ම වගේ ආණ්ඩුව ‘යාලදේවි මෙහෙයුම’ [Operation Yala Devi] පටන් ගත්ත. සිංහල අපි යුධ මෙහෙයුම බැළුවේ ඊළාම් පැත්තේ ඉඳන්. යුධ මෙහෙයුමට මුහුණ දුන් කොටි බලකායන් වල සිටි යාපන තරුණ තරුණියන්ගේ මිය ගිය ගණන 98ක් බව කීව.

මම කිව්ව ‘මට ඒ හැම මළ ගෙදරකටම යන්න ඕන’

ඔවුන් ඇහුව ‘මොකටද උඹ​ට අපේ මැරුණ එවුන්ගේ මළ ගෙවලවලට යන්න ඕන?’

මම කිව්ව ‘ මැරිල ඉන්නේ කවු ද ​කියල මට බලන්න ඕන. උන් මගේ රටේ උපන් එවුන්. මළවුන්ට ගෞරව කිරීම අපේ චාරිත්‍රයක්’

විමුක්ති කොටි VVIP ආරක්ෂාවක් දීල අපි මළ ගෙවල්වලට ගෙනිච්ච. සමූහ මළ ගෙවල් තුනක සිරුරු 98 තිබුණේ. මම හැම සිරුරකටම අත් දෙක එකතු කරල ආචාර කළා. ඒ අතරේ හැම සිරුරක් දිහාම හොදින් බැලුව. ඒ හැම සිරුරකටම අන්දවා තිබුණ කොටි නිල ඇදුම් සියල්ලම සිරුරු වලට වඩා විසාලයි. කලිසම් නවල, කමීස අත් නවල සිරුරු ප්‍රමාණයට හදල තිබුණේ. ඒ හැම කෙනෙක්ම අවුරුදු 12 – 16 අතරේ ළමයි බව මට තේරුම් ගියා.

මට ඇත්තටම හැබැහින් නාගාර්ජුනයන්ගේ අනුගාමිකයෝ හමුවුණේ මේ සමූහ මළ ගෙවල්වල දී. වැඩිහිටියන් විලාප දෙමින් හැඬුවත් මේ මළවුන්ගේ මුහුණුවල තිබුණේ එක් සිහිනයක් අවසන් කිරීමේ සතුට ....!

ඇත්තටම ‘දෙමළ ඊළාම​ය’ හා ඊළාම් යුද්ධය, සිහිනයක් නොවේ ද? සිහිනයක් අවසන් වීම ඔවුන්ගේ සිහින ගමන පහසු නොකරන්නේ ද? ඔවුන් අනුබුද්ධ නාගාර්ජුනයන්ගේ සැබෑ බැතිමතුන් නොවේ ද?

සති ගාණනකට පස්සේ ඊළමෙන් පිටවෙල වව්නියාවට ආවේ. තවත් දවසකින් ගෙදර ගියේ. මගේ තාත්ත ඇඟට කඩා පැන්න.

“කොහේ ද ගියේ? උඹ මේ පොඩි දරුවෙකුත් තියා ගෙන ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනව ද? “

මම වව්නියාවෙදී හමුදාවට කියපු බොරුවම කීව.

“ අපි මඩුපල්ලියට ගියා. කොටි අපිව යාපනයට ගෙනිච්ච. එහෙත් බලා ගෙනම යන්න” කිව්ව.

“දැන්වත් පිස්සු ගමන් යන එක නතර කරනව.” එයා කිව්ව.

බිණූ නාගාර්ජුන මේ මොකුත් නොදැ​න හිනා වුණා.

නන්දන වීරරත්න

16/04/26

මතු සම්බන්ධ​යි

No comments:

Post a Comment

ප්‍රතිචාරයට ස්තූතියි

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

  Forwarded this email? Subscribe here for more ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! බිණු නාගාර්ජුනගේ මතකපොත 04 *****************...