නාගාර්ජුනගේ ‘සිහින යානයක’ නිමාව බිණු නාගාර්ජුනගේ මතකවත - 08

 පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06

නාගාර්ජුනගේ රජුන් හා නොරජු​න් - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 07


‘අනාරාධයෙන්ම එන්නේ ය. අනාරාධනයෙන්ම යන්නේ ය.’

මේ ප්‍රකට බෞද්ධ ඉගැන්වීම හැම ජීවියෙකුටම අදාලයි. අනුබුද්ධ නාගාර්ජුනයන් වියවුල් වූ මගේ මනස සකසන්න උත්සාහ කරනව.

තරුණවියට පිය නගන විටම බිණු නාගාර්ජුන හොඳටෝම මෙට්‍රපොලිටන නාගරිකයෙක් වෙලයි හිටියේ. එයා හිතුවේ ඒ මොහොත ගැන විතරයි එය සතුටෙන් විනෝදයෙන් ගත කරන්න හැමදෙයක්ම කළේ. එයාට ඕන වුණේ වානිජ කලාව [ Commercial Art] කරන්න. සරසවියේ [UCA – University of Creative Art]ඉගෙන ගත්තේත් එයම. කොළඹ සිටි මගේ මිත්‍රයන් හරහා එයා ප්‍රධාන දැන්වීම් සමාගම් කීපයකම මේ වෙනුවෙන් පුහුණුව ලැබුව. පස්සෙ කැනේඩියානු සමාගමක කලා අධ්‍යක්ෂ [Art Director] කෙනෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්ත. ඒ වන විට පූර්ණකාළීන ලේඛකයෙක් බවට පත් වූ මගේ බොහොමයක් අඩුපාඩු පිරිමැහුවේ බිණු නාගාර්ජුන.

පිළිකා මාරයා එයාගේ ශරීරයට ඇතුල් වී ඇති බව දැන ගත්තේ බොහෝම ප්‍රමාද වෙල. ශක්තිමත් තරුණ සිරුර, රැකියාවේ අවිවේකය නිසා එහි සංකූලතා නොදකින්න ඇති.

“මේ පිලිකාව හැදුනම සනීප කරන්න පුළුවන් පස් දෙනෙකු ගෙන් එක් කෙනෙක් විතරයි. ඒ සනීප කළත් නිරෝගී ජීවිතයක් නැවත ලැබෙන්නේ නෑ. මම මැරෙන්න බය නෑ..!”

එයා වෙනුවෙන් වැලපෙන අපි සැනසුව. ඒ වෙන විට සති තුනක් මම එයා ලඟ. මම බිණූ නාගාර්ජුන මට මඟ හැරුණු කාලයම මගේ ජීවිතයට එකතු කර ගත්ත. එයාගේ ඇඳ ලඟ ඉන්න අතරේ අපි දෙන්න අතරේ තිබුණු බැදීම්, කැඩීම්, මගේ මතකයට ගලා එන්න පටන් ගත්ත. එයා ඉතාම සාමකාමී කෙනෙක්. මගේ පැවැත්මේ සම්පූර්ණ අනික් පැත්ත. කවදාවත් කිසිමකෙනෙක් එක්ක රණ්ඩුසරුවල් වෙන්න ගියේ නෑ.

අපි අතරේ අවසාන ගැටුම ඇති වුණේ එයා දකිමින් සිටි සිහිනයේ අවසන් සතියේ. රෝහලට ඇතුල් කර දවසේ එයට නැවත ප්‍රතිකාර ආරම්භ කරන්න වෛද්‍යවරුන් සුදානම් වූ මොහොතේ අපි දෙන්න රණ්ඩුවක් ඇල්ලුව. එයා තවදුරටත් ප්‍රතිකාර එපා කියල දෙන කැමැත්තට අත්සන් කරන්න සුදානම් වුණා. මම ඒක උදුර ගත්ත. එයා තරහෙන් මෙහෙම කිව්ව.

“ මට මැරෙන්න දෙන්න. මේ වේදනාව මට දරන්න බෑ. මට යන්න දෙන්න.”

මම ඒකට ඉඩ දුන්න.

අනුබුද්ධ නාගාර්ජුන මුලමාධ්‍යමික කාරිකාවේ දී මෙහෙම කියනව

‘යමෙකුට හිස්බව පසක් කල හැකිද,

ඔහුට සියල්ල කළ හැකිය’

අපි දෙන්නම ඒ වන විට ‘හිස්බව’ පසක් කර ගනිමින් හිටියේ. එයා දකිමින් සිටි සිහිනය බොඳ වී යමින් තිබුණේ.

ගෙවුණු අප්‍රියෙල් 01 හැන්දෑවේ රෝහල්ගත කර සිටි බිණූ නාගාර්ජුනගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා. ඒ වන විටත් එයාගේ ශරීරයට අධි මාත්‍රාවලින් ‘මෝෆීන්’ වේදනා නාශකය දින හයක් පුරා ඇතුල් කරමිනුයි තිබුණේ. පිළිකා මාරයා ගිල ගත් එයාගේ ශරීරය හොඳටෝම දුර්වල වෙල තිබුණේ. අධිමාත්‍රා මෝෆීන් නොතිබෙන්න එයාට ඒ වේදනාව දරන්න බැරි වෙනව. මම දැන ගත්ත එයාගේ මේ සිහිනයෙන් යන්න සුදානම් වෙන බව. ඒ වගේම මගේ තවත් දිගැස්සෙන මේ සිහිනයේ එතැන් පටන් එයාගේ මතකය සිහිනයක් වන බව. මම විටින්විට එයාගේ දිව වතුරු බිංදුවලින් පෙඟුව. වේයලී තිබු තොල්වල බාම් ආලේප කලා. අපේ සමුගැනීම එයාට පහසු කරන්න ඊට වඩා දෙයක් තිබුණේ නෑ.

දින කීපයක් පුරා සිහිසුන්ව වේගයෙන් හුස්ම ගනිමින් සිටි බිණූ නාගාර්ජුන අප්‍රියෙල් දෙවෙනි බ්‍රහස්පතින්දාට හිරු නැඟෙද්දී හුස්ම ගැනීමේ වේගය අඩු කළා. පැය භාගයක් විතර සෙමෙන් හුස්ම ගත් එයා එකවරම උස් සුසුමක් පිට කරා. ඒ තමයි එයාගේ අවසාන හුස්ම. අවුරුදු 35වත් සම්පූර්ණ නොකරපු අපිත් සමඟ ගෙවූ එයාගේ ‘සිහින යානය’ අවසන් වුණේ ගෙවුණු එදින 02 අලුයම 5.00 පසු වී විනාඩි 8 ගෙවෙද්දී. එයා මේ ලෝකෙන් පිටවෙන්න අවසන් හුස්ම ගන්නා වෙලාවේ මම එයාගේ අත අල්ලගෙන හිටියේ.

දැන් එයාට කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ නැති බව දැන දැනත් මම මෙහෙම කිව්ව.

“ බිණූ නාගාර්ජුන, මගේ හීනය කෙලවර වෙන්න කලින් මට තව පොත් හත අටක් ලියන්න තියෙනව. ඒක, මම, මටම බාර කරපු බරපතල වගකීමක්. ඔයා යන එක හොඳයි. ඔයා ඉපදෙන කොට තිබුණු ලෝකය එහෙම පිටින්ම වෙනස් කරන්න අපට බැරි වුණා. මේ එන යුද්ධය මොන වගේ වේද මම දන්නේ නෑ. ඉතාම සාමකාමී අහිංසක මනුෂ්‍යයෙකු වූ ඔයා, ඒක නොදකින එක වඩා හොඳ දෙයක්. ඉතින් බිණු නාගාර්ජුන කුමාරයානෙනි, අපි තවත් නපුරු හීනයක නෙවෙයි ලස්සන හීනයක හමුවෙමු.”

එයා සදාකාලික සුසුමක් හැටියට මගේ හීන යානයට ඇතුල් වුණා.

එතැන් පටන් අපි සමඟ දුටු සිහිනය අවසන් කරල එයා සති තුනක්ම හිටියේ ශීත කාඹරය. එයාගේ අම්ම කිව්ව

“අනේ මගේ පුතා හීතලේ ඇත්තේ. එයාට සීතල දරන්න බෑ. අනේ, කොහොම ඉන්නවද දන්නේ නෑ..!”

ශූන්‍යත්වයට පත් වූ එයාට උණුසුම - සීතල නොදැනෙන බව මම කියන්න ගියේ නෑ.

අපි අද භවස [20/04/26] බිණූ නාගාර්ජුන, හැන්වර්ත් [Hanworth] අදාහනාගාරයේ දී ශූන්‍යත්වය පත් කරනව. ඊට පෙර අපි මහායානිකයන්ගේ අති පුරාණ චාරිත්‍රයක් ඉටු කරනව.

‘සීහළවත්ථු’ [අති පුරාණ සිංහල බණ කතා] අනුව අනුරාධපුර යුගයේ මහා සාගත [බැමිණිටියා සාය] පවතින කාලවල මිනිස්සු දකුණු ඉන්දියාවට මාරු වෙනව. එහෙම යන උදවිය හුදකලාව කාංසිය නැති කරගන්න හැන්දෑවල රැස් වෙල උපන් රටේ යට ගියාව සිහිකරනව. අපිත් එයා ශූන්‍යත්වයට පත් කිරීමට එයාගේ මතකයන් සිහිකර පැරණි සිරිත වර්තමානයට ගේනව.

එයා ශූන්‍යත්වයට පත් වෙන්නේ නාග ගෝත්‍රික මුතුන්මිත්තන් ශූන්‍යත්වයට පත් නොවූ ආගන්තුක රටක දී. ආගන්තුක නගරයක දී. එහෙම වුණත් එයා, මා දකින මේ සිහිනය අවසන් වෙන තාක් ඒ තුල ඉදිවී. පාලුවට යමින් තිබෙන මගේ සිහිනය පුරාම වෙනදා වගේම හිස වනමින් සිනාසෙමින් ප්‍රිය තෙපුල් තෙපලාවි.

ඉතින්, ‘බිණු නාගාර්ජුනගේ මතකවත’ මෙතැනින් සමාප්ථයි. කිය වූ, නොකිය වූ ඔබ සැම දකින සිහිනය සුබම සුබ සිහිනයක් වේවා. එයා ශූන්‍යතාවයට පත්වීම සිහි කළ හැමම සුවපත් වේවා.

සමාප්තයි.

නන්දන වීරරත්න

20/04/ 26


මා මෙය නැවත නැවතත්  පල කිරීමට හේතුව වන්නේ  රාජකීය විද්‍යාලයෙන් 1983 දී අධ්‍යන පොදු සහතික උසස් පෙළ විභාගය  කර සිටි සංක්‍රාන්ති සමයේ, මගේ පොත් කියැවීමේ දැඩි රුචිය නිසාම  පොලිස් පුස්තකාලයේත්, දහම් පාසල් පුස්තකාලයේත් පොත් කියවා  නිමා කර මහජන පුස්තකාලයේ පොත් කියවීම ඇරඹු කාලයේ නන්දන වීරරත්න     1984 දී නිර්මාණ සංවාද කුලකය නමින් සංවාද සමාජයක් පුස්තකාලයේ ඇරඹීමයි .  මගේ ජිවිතයේ බොහෝ වෙනස් කම් සිදුවීමට හේතු වූයේද ඒ කාලයයි .  ඉන් වසර 24 කට පමණ පසු ලන්ඩනයේදී හමුවන විට අප දෙදෙනාම සාකච්චා කලේ අභයගිරි මහා විහාරය හා මහායාන බුද්ධාගම තිබුනේ නම් ශ්‍රී ලංකාව අද කොතැනද යන්නයි. ඒ වනවිට අප දෙදෙනාම මහායානිකයන් බව වටහාගතිමු .  

එසේම බොහෝ අය , ඔහු (නන්දන )  ඔහුගේ ලිපි තුලින් මිනිසුන්ට විරුද්ධව වෛරය වැපිරවීම නිසා  ඔහුගේ පුතා අඩු වයසින් මිය ගිය බවට කරන අවලාදයි. ඔහුගේ පුතා මරණය වැළඳ ගත්තේ දැඩි සතුටකිනි .  පර්යේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස නන්දන කරන්නේ සත්‍ය පැවසීම පමණකි .  ඔහුට දැඩි ලෙස අවාසිදායක වුවද ඔහු එය අත් හැරියේ නැත .       

කොළඹ ගමයා 

නාගාර්ජුනගේ රජුන් හා නොරජු​න් - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 07

පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06




මෙ රජ් හී නොබෝසත්තු නොරජ් වෙත්වැයි’

පැරණි සෙල්ලිපිවල මේ වග කොටලම තියෙනව. අනුබුදු නාගාරජුනගේ බෝ​ධි සත්ව සංකල්පය අපුරුම එකක්. නූතනත්වයටයි එය වඩාත් ගැලපෙන්නේ. ඒ අනුව හීනයානයේ ව​ගේ තනිවම බුදු වෙන්න බෑ. බෝධි සත්වයෙන් නිර්වාණයට යන්නේ සියළුම සත්වයන් සසරින් එගොඩ කළාට පස්සේ. ම​ට හිතන්නේ අපිට සෞභාග්‍යමත් යුගයක් තිබුණේ අනුරාධපුර යුගයේ මහායානය බලවත් වූ සියවස්වලයි. නාගාර්ජුනයන්ගේ ප්‍රධාන ගෝලයෙකු වූ ආර්යදේව ලාංකික භි​ක්ෂුවක්. චීනයට බුදුදහම් ගෙන ගිය බෝධි ගුප්ත ලංකාවෙන් ගිය බවට විශ්වාසයක් තියෙනව. මේ සියල්ලම වුණේ 3 – 7 සියවස් ඇතුලේ.

අවුරුදු 5 ගෙවෙද්දී මට ආපහු ලංකාවට යන්න ඕන වුණා. බෝධි සත්වයෙක් වගේ කෙනෙක් රජ [ජනාධිපති] කරවීම ගැන හිතමින්. රට දියුණු කළායින් පසු තමන් ගැන හිතන දේශපාලන නායකත්වයක් මට ඕන වුණේ. තක්කඩි දේශපාලන පැලැන්තියක් හා ආත්මාර්ථයට යට කෙරෙන ථෙරවාදය[හීනයානය] අපේ රට විනාශ කළ බවයි මගේ තවමත් විශ්වාසය.

ආචාර්ය නාගාර්ජුනයන්ට ඒ නම එන්න ඇත්තේ මහාභාරතයේ වීරයා වූ අර්ජුනගේ ප්‍රතිවීරයා හැටියට. ඒ නමේ අර්ථය ගත්තම ඔහු තමා නාග ගෝත්‍රිකයන්ගේ වීරයා. එනම් නාගයන්ගේ අර්ජුනයා. සියළුම සතුරන් මතවාදීව පරදවන විරයා වෙන්නේ අනුබුද්ධ නාගාර්ජුන. එයා මෙහෙම කියනව.

‘සියලුම ආඥාවාදී​හූ [pragmatists]ශුන්‍යතා​වේ සිංහ ගර්ජනාවෙන් බිය​ට පත් වෙ​ති. ඔවුන් කොතැනක ජීවත් වුවද ශුන්‍යතා [emptiness] එ​හි සැඟවී සිටී..!

අනුබුද්ධ නාගාර්ජුන

ඒ වෙන කොට මට බීබීසීයේ රස්සාව​ත්ලන්ඩනයේ ජීවිතය​ත් දෙකම එපා වෙලා. දාල යන්න බැරි දෙයක් තිබුණේ ලන්ඩනයේ පුස්තකාල. බ්‍රීතාන්‍ය පුස්තකාලය ඇතුළු හැම තැනකම තියෙන පුස්තාතකාල මානව වර්ගයාගේ මහඟු ජයග්‍රහනයක්. ඒ අතරේ ඇතිවු ගැටු​ම් නිසා 2000 මැද දී මම බීබීසියෙන් දොට්ට දැම්ම. අදටත් බීබීසී ඉතිහාසයේ රැකියාවෙන් නෙරපූ අතලොසසෙන් කෙනෙක් මම. මට ඒ ආඩම්බරය දැණුනා. මම එළියට දා​පු අය හිතුවේ මම පරණ යටත් විජිත හාම්පුතාගේ රටේ දුෂ්කර කම්කරු ජීවිතයකට යවන්න. මම මාස කීපයක් ටැක්සි එලෙව්ව ලංකාවට එන්න සල්ලි සොයා ගන්න. පෙර රැකියාවේ ලැබුණු තරම් ආධායම් නොලැබුණත් ගෙදර කාඹර කුලියට දීමෙන් බිණූ නාගාර්ජුනටයි එයාගේ අම්මටයි කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් බව මම දැන සිටියා.

“ඔයාල මේ රටේ ඉන්න. මේ රටේ පුරවැසිකම ගන්න. මම කනාටු සිංහය ඉන්න පොතෙන් ආපහු ආපු විදිහටම යනව. මට එහේ කරන්න වැඩ ගොඩක් තියෙනව.”

මම ඒ දෙන්නට කීව. ඒ දෙන්න අකමැත්තෙන් නමුත් එකඟ වුණා.

මට ඕන වුණේ වාර්තා චිත්‍රපටි හදන්න. ආයේත් රට පුරා ඇවිදිමින් ලියන්න. වෙනුවෙන් එහෙන් ගෙනාපු ඩබල් කැබ් එක බදු ගෙවා ගන්න බැරුව රේගුවට සින්න වුණා. පත්තරේ ගැන කරපු විවේචන නිසා මට රාවයෙ දොර​ත් වැහුණ. ඒ වෙන කොට ගණනාථ් [මහා. ඔබේසේකර] ‘ වැද්දො’ ගැන පර්යේෂනය පටන් අරන්. එයා දයා සිසිරත් [හේවාගම] එකතු කර ගෙන. මමත් මට බාර දීපු කොටස් කළා.

මට දිගු කලක පටන් හීනයක් තිබුණ සමූළ ඝාතන ගම්මානවලට කැමරා අරගෙන ගිහින් ජිවත් වෙන උදවියේ කතා එකතුවක් ඉතිහාසයට යවන්න. මම ආපහු ලංකාවට ආවේ ඒ වගේ වැඩ කරන්න. ඒත් වැඩේ වැරදුණා. ඒ අතරේ 2002 චන්දය කිට්ටුව යෝජනාවක් ආව, ජාතික රූපවාහිණියට එහෙම වැඩසටහන් පෙළක් කරල දෙන්න. මම දැන ගත්ත චන්ද්රිකාගේ පොදු පෙරමුණ දිනවන්න ඒව යොදා ගැනෙන බව්ක. ඒත් මට ඕන වුණේ ඒ මිනිස්සු මැරෙන්න කළින් ඒව එකතු කරල තියන්න.

‘ගමක මතකය’ නමින් ජාතික රූපවාහිණිය වැඩසටහන් 12 හැදුව. ඒව හදන්න ගිහින් වෙච්චි දේවල් ගැන පොතක් ලියන්න පුළුවණි. එකක් විතර​ක් ලියන්න ඕන.

අපි ඊට කළින් රාවයට ලියපු ගලගෙදර කිට්ටුව කන්දක් උඩ ගමකට ගියා. මම ට්‍රයිපෝට්ටුව කර ගහ ගෙන ගියේ. එක අම්මෙක් මඟෙන් ඇහුව...

“මහත්තය අද කොයි ඉඩමද මනින්න යන්නනේ...!”

ගමේ මරපු මුළු ගාන 50කට කිට්ටුයි. ගමට ඇතුළු වෙන කොට ගමේ චන්ඩිය ආවා. එයාගේ ගමේ ගෝනි බිල්ලා වූ ග්‍රාමසේවක පස්සෙ කාළේ මරල ඇප පිට ඇවිත් හිටියේ.

“මේ ගමේ මොකුත් කරන්න දෙන්න බෑ. ඕව දේශපාලන වැඩ”

මිනිහ බරපතල තර්ජනයක් දැම්ම. මමත් ඇරියෙ නෑ.

ඔයා දන්නව ද, මහා වංශය ? ඒක ලියන්න පටන් ගත්තු කෙනා දන්නවද?

මිනිහට තද වුණා.

“..මම දන්න වංසයක් නෑ. මහානාමයෙකුත් නෑ අපේ දේව වංසේ ගැන නම් දන්නව.. ඒත් මේ ගමේ මොකුත් කරන්න ​බෑ”

“යාළුව, මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියන්න ගත්තේ ඒයාගේ බෑණ ධාතුසේන රජ කරවල. එහෙමයි වැඩ වෙන්නේ. මේ තියෙන ආණ්ඩුව නොඑන්න මේ කැඹරාව මේ ගමට එන්නේ නෑ. අපිට එන්න විදිහකුත් නෑ. ඉන්න රැජිණ කැමතියි නිසයි මෙහේට මේව ගේන්න පුළුවන් වුණේ. ආයේ කවදා ඒව කරන්න ලැබේද දන්නේ නෑ”

මිනිහ අන්තිමේ එදා දවාලට අපිට කන්නත් ලෑස්ති කරා. ඒත් 2002 චන්දෙ දී ‘ගමක මතකය’ රූපවාහිණිය පට්ට ගැහුව. චන්දෙන් දිනාපු රනිල් වික්‍රමසිංහගේ ගෝලබාල​යො ඒ කැසට් ඔක්කොම පුච්චපු බව පස්සෙ ආරංචි වුණා.

ඒයා හුදකලා ළමයෙක් වී නව යොවුන් වියට පිය නඟමින් සිටියා. වසරකට වතාවක් එයත් ලංකාවටත් ආවා. විශේෂයෙන් මම ‘විනිශ්චය සොයා’ [In Search of Justice] 2007 හා උමතු පාරාදීසිය [Lunatic Hevan] වාර්තා චිත්‍රපට හදන විට මාත් එක්ක හරිහරියට වැඩ කළා.

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි

නාග ගෝත්‍රිකයෙ​ක් 



ලන්ඩනයේ නාග ගෝත්‍රික​යෝ - බිණු නාගාර්ජුනගේ මතකව​ත - 06

  පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

බටලන්ද වධකාරය හොයන්න ගියේ 1994 අග. එයත් හරියටම ​‘ලංකා භූමියේ ඉන්දියානු යුධ අපරාධ 1987 – 1990’ හා ‘පුලස්තිනී රාජේන්ද්ර - ඉන්දියානු ඔත්තුකාරි​ය’ ලීව වගේ වැඩක්. ඕනෑම මොහොතක අනික් පැත්තට පත්තු වෙන බව දැන සිටියා. ආණ්ඩු​ව මාරු වී තිබුණත් රනිල් වික්‍රමසිංහගේ පොලිස් මැර නායකයාට ඒ වන විටත් බලය තිබුණ. අපි හිටපු තනි කාඹරේ කුලී නිවසට මහ රෑක ඩග්ලස් පීරිස්ගේ මැරයො ආව. මම කොහොමත් එහෙම වැඩක් කළාම ටික දවසක් මඟ ඇරල ඉන්නේ. පැමිණිල්ල කරන්න තිබුණේ පැලියගොඩ පොලීසියට. පැමිණිල්ල බාර ගත්තේ අයි. පී. වික්‍රමසිංහ. එයත් බටලන්දේ කොටස්කාරයෙක්. මම කට්ටි පැන්නත් බිණූ නාගාර්ජුන හා එයාගේ අම්මගේ ආරක්ෂාව ගැන ලොකු බයක් තිබුණ.

මේ අතරවාරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ගවේෂනාත්මක ජනමාධ්‍යකරුව​න්​ගේ ආයතන​යේ[ Investigative Journalist Inc – USA] සමුළුවකට යන්නත් එහි ජනමාධ්‍ය ආයතනවලට යන්නත් නම් කෙරුණ. මේ දෙකම සිද්ධ වුණේ ලඟ ලඟ. මගේ ගෙදරට කඩා පැනීම ‘ඇමරිකාවට ගොස් දේශපාලන රැකවරණ පැතීමට’ උපායක් බව රාවයේ ඕපදූපයක් වුණා. කොහොම වුණත් එක්සත් ජනපදයට යන අතරේ ලන්ඩනයට බැස්සේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය හා පුස්තකාලය බලන්න. ඒ අතරේ ​බී.බී.සී සිංහල අංශයට ගියාම අවුරුදු 2 එහි වැඩ කරන්න ආරාධනයක් ලැබුණ. ඊට කලින් මම ‘සංදේශයේ’ තාවකාලික වාර්තාකරුවෙකුව සිටීම මේ ඇරයුමට මුල් වුණා.

මම බිණූ නාගාර්ජුනට ලන්ඩන් රස්සාවට එන කොටම කිව්ව

“අවුරුදු දෙකක් වැඩ කරල මම සල්ලි සොයා ගෙන එන්නම් ගෙයක් ගන්​න”

මම රස්සාවට ඇවිත් මාස 4 යද්දි එයා අඬන්න ගත්ත එයාටත් එන්න ඕන කියල. 1995 ශීත ඍතුවට හිම වැටෙන්න ගත්තු දෙසැ​ම්බරයේ මුළ එයා අම්මත් එක්ක ලන්ඩනයට ආවා. එතකොට එයාට අවුරුදු 5 පැනල. එයාට මේ මහා නගරයයේ ජීවිතය පෙණුනේ, ‘හීනයක් ඇතුලෙ හීනයක් දකිනව වගේ’ එයා වේගයෙන් මෙට්‍රෝපොලිටනයට හැඩ ගැහුණ. එතකොටම වින්ඩෝස් [Widows] ආව. කාලයත් එක්ක මම ඇනලොගයෙක් හැටියට දන ගාද්දි එය ඩිජිටලයෙක් වේල දුවන්න ගත්ත. අන්තිමට එයා මට අත දුන්න ඩිජිටලයෙක් හැටියට නැඟිටින්න.

එතකොට බිණු නාගාර්ජුනගේ වයස අවුරුදු 9ක් විතර ඇති. එයා ඉස්කෝලේ ඇරිල ඇවිත් මුණ බැරෑරුම් කරගෙන බරපතල ප්‍රශ්නයක් ඇහුව.

“ තාත්තේ, අපි සිංහල ද, දෙමළ ද? අපේ රටේ යුද්ධයක් තියෙන්නේ ඇයි?

එයා ගිය හවුන්ස්ලෝ හීත්ලන්ඩ් පාසලේ විවිධ ජනවර්ගවල ​ළමයි හිටිය. වැඩිපුම හිටියේ දකුණු ආසියාවේ ළ​මයි. එතකොට ඊළාම් යුද්ධය උත්සන්න වෙල. ක්‍රිකට් තරගවල ලකුණු කියනව වගේ අපි, දෙපැත්තේම මැරෙන ගණන් ප්‍රවෘත්තිවලට කීවේ.

“ අපි සිංහලත් නෙවෙයි දෙමළත් නෙවෙයි. එහේ යුද්ධ කර ගන්නේ පස්සේ කාලෙක ඉන්දියාවෙන් ආපු සිංහල හා දෙමළ උදවිය. ඒක ඉඩම් නඩුවක් යුද්ධයක් බවට පත් වෙල. අපි ලංකාවේ බටහිර වෙරළෙන් එන නාග ගෝත්‍රිකයො. බුද්ධ කාලේ ඉඳලම නාග රජවරු හිටිය. අපිට පස්සේ සිංහලයෝ, බෞද්ධ වුණේ. බටහිර ඉන්දියාවෙන් ආපු රාජකීය හොරු රැලක් ඇවිත් රට අල්ල ගත්ත. නාග ගෝත්‍රිකයන්ට වුණේ ඇමෙරිකාවේ ජීවත්වුණු රතු ඉන්දියානුවන්ට වෙච්චි දේමයි. අපි සිංහලයන්ගේ සංස්කෘතික විජිතකරණයට යටත් වුණා. අපේ ‘ලිංගුවා ෆ්‍රැන්කා​ව’ ඒ බාසාව බවට පත් වුණා. තාමත් එක මුල් පදිංචිකාර ගෝත්‍රයක් ඉන්නව. ඒ වැද්දෝ ....!

එයා ඊට පස්සේ ඉස්කෝලෙදි යාළුවන්ට එයා ලංකාවෙන් එන නාග ගෝත්‍රිකයෙක් බව කීව ද මම දන්නේ නෑ. හැබයි එයාටත් ම​ට වගේම කොණ්ඩේ බදින්න තිබුණු ආසාව​ඉෂ්ඨ වුණා. ඉස්කෝලෙන් අවසර ලැබුණ කොණ්ඩේ වවන්න.

මම එයත් අරගෙන අවට තියෙන නේපාල, තායි හා බුරුම පංසල්වලට ගියා.

පස්සේ අපි ජීවත් වූ හවුන්ස්ලෝ නගරයේ පංසලකුත් පටන් ගත්ත. පංසල බාරව හිටපු භික්ෂුව, උපාසකම්ම කෙනෙක් අරන් පැදුරටත් නොකි​යා ගිහිගෙට ගියා. පංසල වහල දැම්ම. එයාගේ නමට නාගාර්ජුන තිබුණට එයා කිව්ව

“තත්තා, මම බෞද්ධයෙක් වෙන්නේ පැවැත්මෙන් විතරයි.”

එයා ඒ අනුව ජීවිතේ හැඩගසා ගත්ත. මේ අතරේ මගේ බීබීසී රස්සාවේ ආයුෂ අඩුවෙමින් තිබෙන බව මට දැනෙන්න ගත්ත. බොහෝ දේ මතවාදී ගැටුම්. මම ආපහු ගමට රට බලා යන්න හිත හදාගනිමින් සිටි​යෙ

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි


සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05

 පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

සිහිනවල සිටි අතුරුදහන්වූ​වෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05



අනුබුද්​ධ නාගාර්ජුනයන් කියන හීනයේ ඇත්තටම ජීවත් වෙන මිනිස්සු මට මුණ ගැහුනෙ සමූළ ඝාතන ගම්මානවල දී. සිංහල - දෙමළ සමූළ ඝාතන ගම්මාන සිය ගණනක් අපේ රටේ තියෙනව.

1992 වෙද්දී මම මේ ඝාතන ගම්මාන සොයා ඒ ගැන ලියන්න පටන් ගත්ත.

සැමියා අතුරුදහන් කිරීමෙන් කණවැන්දුම් වූ තරුණ මවක් ම​ට කටියාවේ [ රම්බොඩගල්ල කුරුණෑගල] දී මෙහෙම කිව්ව.

“ ළමයින්ගේ තාත්තා පැහැර ගෙන ගියා. මම හැම හමුදා කඳවුරක​ම හෙව්ව. සොයා ගන්න බැරි වුණා. පස්සෙ මම මගේ අම්මට දරුවො බාර දීල කුවේට් ගියා. සති තුනක් ගියේ නෑ මට ඉන්නම දුන්නේ නෑ. ළමයින්ගේ තාත්ත, හැමදාම රෑට මාව නිදා ගත්තු ඇදෙන් බිමට ඇදල දාල, බණිනව.

පලයං ලංකාවට ගිහින් මගේ දරුවො බලා ගනිං...!

මට ​කුවේට්වල ඉන්න්ම දුන්නේ නෑ. බැරිම තැන මම ආපහු ආවා. දැන් කුළී වැඩ කරනව. දරුවො හදා ගන්න”

මේ වගේම තවත් කතාවක් මට වලස්මුල්ලේ, රදනිආර ගමේ දී ඇහුණ.

“ මට දරුවෙක් එක්කවත් අපි දෙන්න නිදා ගත්තු ඇදේ නිදාගන්න දුන්නේ නෑ. මමත් ඔයත් එක්ක බෙදාගත්තු ඇ​ඳ තව කවුරුවත් එක්ක බෙදා ගන්න එපා. ම​ටත් රෑට ඔයා ලඟින් නිදා ගන්න ඕ​න”

තරුණ අම්ම කෙනෙක් ඒක කිව්වේ තරමක ආඩම්බරයකින්. දුකට පත් මනුෂ්‍යයන් හීනයත්, හැබෑවත් අතරේ ජීවත් වෙනව කියලයි මට හිතෙන්නේ. ඔවුන් සමහර වෙලාවට හීනය හා හැබෑව අතරේ වෙනස දන්නේ නෑ. ඒක එයාලට විශාල මානසික සහනයක්. මම ඔවුන්ගේ කතා හා කදුළු එකතු කරා මිස හීන කඩන්න ගියේ නෑ.

හැබැයි, අතුරුදහන් කෙරුණු තරුණ දූ පුතුන්ගේ අම්මලා හරිම වෙනස් විදිහට වැඩ කරන්නේ. ඇඹිළිපිටියේ එක අම්ම කෙනෙක් අතුරුදහන් කරපු පුතාට හැමදාම බත් එකක් බෙදල වහල තියෙන වග මට කිව්වේ එයාගේ ලොකු දුව.

“ දුවේ ලොකු පුතා ගෙදර එන්නේම බත් සොයා ගෙන. කොයි වෙලාවක, කොයි දවසක ලොක්ක ගෙදර ඒද දන්නේ නෑ. එතකල් බත් එකක් බෙදල වහල තියන්න ඕන.”

ඒ අම්මගේ හීනේ ඇතුලේ පුතා ඉන්නව. එයා පුතාගේ මරණය බාර ගත්තේ නෑ. මම ඒ ගමට ගියේ භීෂනයෙන් අවුරුදු 4 ක​ට පස්සේ. මම හිතන්නේ ඒ අම්මගේ මරණය දක්වාම එයා ලොකු පුතාගේ කෑම පංගුව බෙදල තියන්න ඇති.

අඟුණකොල පෑලැස්සේ අවුරුදු 14 ක විතර මල්ලියෙක් අතුරුදහන් කෙරුණු අයියන්ඩි ගැන අහඅහද්දි විලාප තියල ඇඬුව.

“අනේ, මගේ අයියගේ හීනේ තිබුණේ ගායකයෙන් වෙන්න. එයාට හොඳට සින්දු කියන්නත් පුළුවන්. බටනලාව පිඹින්නත් පුළුවන්...!”

මම එයාට කිව්ව ..

“ඔයා අයියගේ හීනේ දිගටම. දකින්න. ඔයා ගායකයෙක් වෙන්න.”

කොලුවට ඊට වඩා හොඳ උත්තරයක් දෙන්න මම දැන හිටියෙ නෑ. එයාට මොනව වුණා ද හොයන්න මට ඉඩක් ලැබුණෙත් නෑ.

1998 දී මම ‘යුද්ද​යේ දරුවෝ’ සොයාගෙන දකුණු ඉන්දියාවේ මහාමල්ල පුරම් හී ඇති ලංකා අනාථයන්ගේ කඳවුරකට ගියා. එතන හිටපු 83 කළු ජූලියෙන් පස්සේ ලංකාවෙන් ආපු අනාථ මිනිස්සු ඒ වෙන කොටත් මනසින් ජීවත් වෙමින් හිටියේ ලංකාව නම් හීනයේ. මම ඔවුන්ට කීව,

“රටවල් දෙකම එක වගේ ලංකාවෙ ඉන්නව කියල හිතා ගෙන ජීවත් වෙන්​න...!”

එතකොට එක වැඩිහිටියෙක් කීව...

“අපි එහෙම තමයි ඉන්නේ..ඒත් අපේ කෙල්ලෙකුට ගවුමක් ඇඳන් පාරේ යන්න බෑ. ගල් ගහනව. බණිනව. මේ දරුවෝ ඉගෙන ගන්නේ අපේ රටේ භූ ගෝලය නෙවෙයි. අපි තාම හීන දකින්නේ ලංකාවේ ඉන්න විදිහට. ඒත් අපේ දරුවන්ට එහෙම වෙන්නේ නෑ.

මට එයාට දෙන්න උත්තරයක් තිබුණේ නෑ.

අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මුණුපුරා, පෘතුවි රාජසිංහ කුමාරය බැහැදකින්න වැල්ලෝරයේ ගාන්ධි නගර් ගියා. ලංකාවේ ඔටුන්න හිමි කුමාරය අපිට ‘සර්’ කියල කතා කරා. මම කිව්ව.....

“අපියි ඔයාට ‘සර්’ කියන්න ඕන. ඔයා අපේ රජකම හිමි කුමාරය....!”

එයා බහොම සතුටට පත් වුණා. එයා එතැන ඉඳන් උඩරට රාජ්‍යයේ සිහිනයට ඇතුළු වෙනව අපි දැක්ක. එන්න හැරුණාම උවිදු [කුරුකුලසූරිය]මට මෙහෙම කීව,

“උඹ මාර වැඩක් කරේ. දැන් අපි ගියාම ඒ මනුස්සගේ පපුව හිරවෙල මැරෙයි..!”

“ඒත් මොකද, එයා පැය කීපකට හරි ලංකාවේ රජ්ජුරුවෝ හැටියට හීනෙක ඉඳලයි මැරෙන්නේ. ඒක එයා වගේ කම්කරුවෙකුට සැනසීමක් නෙවෙයි ද?”

ම​ම පෙරලා ප්‍රශ්නයක් ඇහුව.

මම 2019 වගේ මෑතක දී කිළිනොච්චියේ මලයාලි පුරම් ගමට ගියා, වාර්තා චිත්‍රපටයක් වෙනුවෙන්[ An Indian Blood for Tamil Eelam] එයාගේ පුත්තු තුන් දෙනාම ඊළාම් යුද්ධයේ දී මැරිල. මම කතා කරමින් ඉන්​න අතරේ එයා මට ගෙයි කාඹරයක් අතින් පෙන්නුව. මම ඒ පැත්තට ගියා. තරුණ පිරිමි ළමයි තුන් දෙනෙකුගේ ලොකු පිංතුර තුනක් හින්දු දේව රූප අතරේ තියෙනව. වටේට බල්බ් වැල පත්තු වෙනව. හදුන්කූරු සුවඳ පැතිරෙනව.

ඒ අම්ම මට කිව්ව පුත්​තු තුන් දෙනාම තවමත් එයත් එක්ක ඒ ගෙදර ඉන්නව. එයාට විතර​යි පේන්නේ. අනික් කාටවත් පෙන්නේ නෑ. තරුණ කාලේ වගේ මුරණ්ඩු නෑ. එයා හොඳට බලා ගන්න බව.

අපි​ත් එක්ක ඒ අම්ම හමුවෙන්න ගි​ය ගමේ මඟපෙන්වන්නා නම් කීවේ එයාගේ මොළේ හොඳ නෑ බව. මම ඒක විස්වාස කලෙත් නෑ. විස්වාස කරන්නේත් නෑ. ඒ අම්ම හිටියේ එයාගේ හීනයේ. ඉතින් හීනෙන් ඇහැ ඇරවල ඇති ප්‍රයෝජනය මොකක් ද?

මේ වගේ ගම්මාන 20 – 30 මම ගියා. මුළින් විශේෂාංග රාවයට ලිව්ව, ‘භීෂනයෙන් අතුරුදහන් වූ කුල පීඩිතයෝ’යන හිසින්. බීබීසියේ සංදේශයට බැදුනට පස්සේ ‘යුද්ධයේ දරුවෝ’ නමින් රේඩියෝ වැඩසටහන් පෙළක් කරා, සිංහල - දෙමළ සමුහ ඝාතන ගම්මානවලට ගිහින්. පස්සෙ කාලේ වාර්තා චිත්‍රපටිත් හැදුව ඇතැම් ගම්මාන ගැන.

මේව සොයන්න රට පුරා ඇවිදින මට හුඟාක් වෙලාවට බිණූ නාගාර්ජුන මඟ ඇරුණ. ඒක වලක්වා ගන්න මම කොළඹ කිට්ටුවට ආවා පදිංචියට. ඒත්, එයා පත්තර, රේඩියෝ හා රූපවාහිණි කර්මාන්තය පැත්තෙවත් නොඑන්න හේතුව ඒක වෙන්න ඇති.

නන්දන වීරරත්න

17/04/26

මතු සම්බන්ධ​යි


ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04

 පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

Forwarded this email? Subscribe here for more



ඊළාම​යේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..!

බිණු නාගාර්ජුනගේ මතකපොත 04

****************************************************************

‘තෝල්වි නිලෙයියෙන නිනෙයිත්තාල්

මනිදර් වාලවෙයි නිනෙයික්කලාමා...

වාල්වෙයි සුමෙයියන නිනෙයිත්තාල්

තායන් කනවෙයි මරක්කලාමා...

උරුමෙයි ඉඳලොම්...’

‘පරාජය ගැන හිත හිතා උන්නොත්

හැකිවේද ජීවිතේ ගැන සිතන්න​ට

ජීවිතේ මහ බරකැ​යි හිතලා

අමතක කළ හැකි​ද අම්ම​ගේ හීනය

මිනිසත් බවේ අරුම කිම

මිනිසුන් ලෙස ජීවත්වන්නට නොලැබී...!

‘විමුක්ති කොටින්’ අතරේ ජනප්‍රිය මේ ගීය නිතර අහන්න ලැබුණේ කිළිනොච්චියේ කොටි දේශපාලන කඳවුරක සතියක් විතර රස්තියාදු වෙන අතරේ.

‘ඊළාම් සිහින දේශය’ ගැන දිගු කාළීනව උනන්දුවක් මට තිබුණ. 1987 මැද ‘කැප්ටන් මිලර්’ පළමු කළු කොටියා හැටියට මරාගෙන මැරෙන්න ඉදිරිපත්වීමේ පටන් මනුෂ්‍යයන් මිනිස් බෝම්බ බවට පත්වීම හා නාගාර්ජුනයන්ගේ සිහින සංසාරය අතරේ බැදීමක් ඇතැයි මට සිතුණා. එහෙම හීන තුල ජීවත් නොවෙනවානම් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් දිවි පුදන්න බැරි බවයි මගේ විස්වාසය වුණේ. එබදු සන්නද්ධ දේශපාලන කණ්ඩායමක් හදුනා නොගෙන යෙදෙන පත්තරකාරයෙකු වීමෙන් පළක් නැති බවයි මම විශ්වාස කළේ.

1993 මැද, රාවයේ තවත් තුන් දෙනෙකුත් එකතු කරගෙන [ප්‍රියන්ජන් සුරේශ්, සුනිල් ජයසේකර හා හසක රත්නමලල]ඊළාම් භූමියට ඇතුළු වුණා. අපේ ගමනාන්ත​ය දැන සිටියේ රාවයේ කර්තෘ මණ්ඩලය පමණයි. එතකොට බිණූ නාගාර්ජුන ඇවිදිනව. ඒත් මම ගෙදරට කීවේ,

‘වව්නියාවට යනව. සතියකට විතර, ඉක්මනින් එනව.’

පෙරියපණ්ඩිවිරිච්චාන් [මඩු පල්ලිය ආසන්න ගමක්] මිනිසුන් රහිත භූමියෙන් එගොඩට ගිය තැන ඉඳල මම දැක්කේ ඊළාම් සිහිනය තුල ජීවත්වෙන මිනිස්සු. මඩුපල්ලි අනාථ කඳවූරේ විතරක් 85000 අනාථයො හිටිය. ඔවුන්ට යුද්ධයක වගක් වත් තිබුණේ නෑ. ඔවුනුත් හරියටම අස්වඝෝෂ හිමියන් ව​ගේ. එහෙම ජීවත්වෙන බවක් දැනෙන්නේ නෑ. මඩු අනාථ කඳවුරේ එක තැන. විසාල පණු හැලියක වගේ හිටියේ. මම දැකපු, මට කතා කරපු, මට උදවු කරපු හැම කොටි සාමාජිකයෙක්ම මරණයෙන් අවසන් නොවන හීනයක හිටියේ. ඔවුන් සාමුහිකව එකම හීනයක් දකිමින් සිටියා. ඒ ‘දෙමළ ඊළාම්’ සිහිනය.

ඇත්තටම දකුණු ඉංදියාවේ උපන් මගේ අනුබුද්ධ - නාගාර්ජුන, ද්රාවිඩයෙක්...! මේ නිසා දෙමළ ජනයා මට වඩා පහසුවෙන් මාධ්‍යමික දර්ශනය, ‘මූල මාධ්‍යමික කාරිකාව’ කියවා ඉගෙන ගන්නව ඇති කියල මට හිතුන.

අපි යාපනයට ගිය ගමන්ම වගේ ආණ්ඩුව ‘යාලදේවි මෙහෙයුම’ [Operation Yala Devi] පටන් ගත්ත. සිංහල අපි යුධ මෙහෙයුම බැළුවේ ඊළාම් පැත්තේ ඉඳන්. යුධ මෙහෙයුමට මුහුණ දුන් කොටි බලකායන් වල සිටි යාපන තරුණ තරුණියන්ගේ මිය ගිය ගණන 98ක් බව කීව.

මම කිව්ව ‘මට ඒ හැම මළ ගෙදරකටම යන්න ඕන’

ඔවුන් ඇහුව ‘මොකටද උඹ​ට අපේ මැරුණ එවුන්ගේ මළ ගෙවලවලට යන්න ඕන?’

මම කිව්ව ‘ මැරිල ඉන්නේ කවු ද ​කියල මට බලන්න ඕන. උන් මගේ රටේ උපන් එවුන්. මළවුන්ට ගෞරව කිරීම අපේ චාරිත්‍රයක්’

විමුක්ති කොටි VVIP ආරක්ෂාවක් දීල අපි මළ ගෙවල්වලට ගෙනිච්ච. සමූහ මළ ගෙවල් තුනක සිරුරු 98 තිබුණේ. මම හැම සිරුරකටම අත් දෙක එකතු කරල ආචාර කළා. ඒ අතරේ හැම සිරුරක් දිහාම හොදින් බැලුව. ඒ හැම සිරුරකටම අන්දවා තිබුණ කොටි නිල ඇදුම් සියල්ලම සිරුරු වලට වඩා විසාලයි. කලිසම් නවල, කමීස අත් නවල සිරුරු ප්‍රමාණයට හදල තිබුණේ. ඒ හැම කෙනෙක්ම අවුරුදු 12 – 16 අතරේ ළමයි බව මට තේරුම් ගියා.

මට ඇත්තටම හැබැහින් නාගාර්ජුනයන්ගේ අනුගාමිකයෝ හමුවුණේ මේ සමූහ මළ ගෙවල්වල දී. වැඩිහිටියන් විලාප දෙමින් හැඬුවත් මේ මළවුන්ගේ මුහුණුවල තිබුණේ එක් සිහිනයක් අවසන් කිරීමේ සතුට ....!

ඇත්තටම ‘දෙමළ ඊළාම​ය’ හා ඊළාම් යුද්ධය, සිහිනයක් නොවේ ද? සිහිනයක් අවසන් වීම ඔවුන්ගේ සිහින ගමන පහසු නොකරන්නේ ද? ඔවුන් අනුබුද්ධ නාගාර්ජුනයන්ගේ සැබෑ බැතිමතුන් නොවේ ද?

සති ගාණනකට පස්සේ ඊළමෙන් පිටවෙල වව්නියාවට ආවේ. තවත් දවසකින් ගෙදර ගියේ. මගේ තාත්ත ඇඟට කඩා පැන්න.

“කොහේ ද ගියේ? උඹ මේ පොඩි දරුවෙකුත් තියා ගෙන ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනව ද? “

මම වව්නියාවෙදී හමුදාවට කියපු බොරුවම කීව.

“ අපි මඩුපල්ලියට ගියා. කොටි අපිව යාපනයට ගෙනිච්ච. එහෙත් බලා ගෙනම යන්න” කිව්ව.

“දැන්වත් පිස්සු ගමන් යන එක නතර කරනව.” එයා කිව්ව.

බිණූ නාගාර්ජුන මේ මොකුත් නොදැ​න හිනා වුණා.

නන්දන වීරරත්න

16/04/26

මතු සම්බන්ධ​යි

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03

 පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1)

දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)

ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම




‘කොතැන ඉඳන් එනවද ඇල්ලි මැල්ලියේ

රැහේ සිට​න් එනවා ඇල්ලි මැල්ලියේ

අතට දාපු ගිගිරිත් සෙලවී සෙලවියේ

පෙර කුඹ රජුගේ දුව නවරත්න වල්ලියේ’

මේ කවිය, සුන්දර රොඩී යුව​තියකගේ මියුරු හඬින් අහන්න ලැබුණේ පසු කාලෙක හාලිඇල කිට්ටුව රොඩී ගමකට ගිය වෙලාවේ. ඌ​වේ ජන ජීවිතයේ සුන්දර පැත්තක් වගේම අසුන්දර පැත්තකුත් තියෙනව.

ඌවේ ජන ජීවිතය අපුරුම එකක්. එකල ඌව වාසී​න් ඔවුන්ටම ආවේණික ගීතවත් ස්වරයකින් කතා කළා. ප්‍රවේණියෙන්ම උරුම කර ගත් සිංහලයක් දෙඩූවා. ගෙයි මැද එල්ලා තිබූ නෑ යකුන් වෙනුවෙන් එල්ලූ තොට මුට්ටියට ගෙදර ඉදෙන අහාරයක මුල් පංගුව පිදුවා. අස්වැන්නේ හා දඩයමේ මුල් පංගුව පිදුවා. ඔවුන් සීව​ලී රහතුන් කෙනෙක් නොදැන සිටියා. ඌව නිදහස් සටනේ නායකයන්ට වෙන් වූ නෑ දෙවිවරුන්ගේ ප්‍රකට දේවාල තිබුණ​ත් තමන්ගේම නෑ දෙවිවරුන් වෙනුවෙන් තැනු පුංචි දේවාල ගෙවල්වලත් තිබුණ. පහළ ඌවේ වැදි - සිංහල ‘ජනයා නෑයකුන්ගේ පිහිට පැතුවා. ඉහළ ඌවේ සිංහලයන් නෑ දෙවිවරුන්ගෙන් පිහිට පැතුවා.

1818 ඉන්ගිරිසීකාරයෙන් කළ බිහිසුණු විනාශයට පමනක් දෙවැනි ​වූ විනාශය ඌවට කළේ ඔවුන් පසුපසින් ගිය නොසන්ඩාල පාත්තයන් ය.

මේවා සොයා යන මගේ ගුරු පඩිය රුපියල් 1750යි. දැන් බිණූ නාගාර්ජුන සමඟ කන්න දෙන්නට කටවල් තුනක්. ගෙදර යන්න වෙන්නේ මාසෙකට වතාවයි. සති දෙකට, තුනකට සැරයක් තැපැල් කන්තෝරුවක් සොයා ගෙන විදුලි පණිවිඩයක් යවනව අම්මට සහ පුතාට.

‘සැපෙනි. සැපවේවා. නිදුක් නිරෝගී වේ​වා’

ජීවීත ගෙවන්න වෙන්නේ එහෙම තමයි.

දවසක් මමයි ධනපාලයි [ධනපාල රත්නායක - වැදිවෙල] පල්ලේකිරුවේ නෑයකුමක් බලන්න ගියා. නෑයකුම තිබුණේ කිරි ඔයෙන් මෙගොඩ. අපි ලුණුගල කන්දෙන් බැහැලයි තොවිල්පොලට ගියේ. රෑ තිස්සේ නිදි මරා සිටියත් පස්සෙන්ද ඉස්කෝලෙට ගියා. ඌවේ ජන ඇදහිලිවල තියෙන එයටම ආවේනික ​වූ අපූර්වතවය හිතමින්. ගුරුමණ්ඩලේ සගයෙක් වූ ධර්මේ මට අදහගන්න බැරි කතාවක් කීව.

“කන්දේගෙදර පංසලට රොඩී කුප්පායමෙන් හත්දෝහේ දානයක් බාර ගන්න බෑ කියල ආරවුල​ක්”

එහෙම කොහොම ද වෙන්නේ? මම අචාර්ය නාගර්ජුන්ගේ සිහිනයෙන් ඇහැ ඇරුන. අප්‍රමාණ සිහින සම්භාරයක් වූ සංසාරය අවසාන කරන්න, නිවන් දැකීමට පෙර, තවත් බොහෝ දේ කරන්නට ඇති බව තේරුම් ගත්ත. යතුරු පැදියක් තිබූ මිතුරා වූ සමනු​ත් [ සමන්සිරි බෙන්තර ආරච්චි] එකතු කරගෙන කන්දේගෙදරට ගියා. බුද්ධාගම රාජ්‍ය ආගම වූ රටේ නිල්මල්පොත, රෝඩී ජනයාගේ ඉරණම ලීව. ලිපිය දාන්න කැමැති වුණේ රාවය කතුවරයා [වික්ටර් අයිවන්] විතරයි.

‘ධර්ම චක්‍රයේ ඇණ ගැසූ බෞද්ධයෝ’

ඒ ලිපිය නැවත ම​ට දේශපාලන පත්තරකාරයෙක් වෙන්න බල කළා.

ගණනාථට [මහා. ඔබේසේකර]ට නෑ යක්කු ගැන ලීවා. එයා මගේ කතා අහල පර්යේෂන සහකාරයෙක් වෙන්නත් කීව.

එයා ඉස් ඉස්සෙල්ලාම ඉංගිරිසි ඉගෙන ගන්න එවපු සල්ලිවලින් කරේ වෙන වැඩක්. එතකොට බිණූ නාගාර්ජුන ඇවිදින්න පටන් අරන්. හැම තිස්සේම වැට කඩොළුවලින් පැනල එයාගේ තාත්ත පස්සෙන් යන්න හදනව. ගේ මහ පාර අයිනේ..! ගණනාථ්ගේ සල්ලි කොටසකින් ගේ ඉස්සරහ තාප්ප කෑල්ලක් බැන්ද. ගේටූවකුත් දැම්ම. ගෙදර පෙර වූ අනතුරක් වලකන්න.

“ඔයා, ඔය ගුරු රස්සාව අතැරල පත්තරේට එන්න. හුඟාක් වැඩ තියෙනව කරන්න”

රාවය කතුවරයා දෙතුන්වතාවක්ම කීව. මම තීරණයක් ගත්ත. මගේ තාත්ත විරුද්ධ වුණා.

“උඹ දැන් දරුපවුල්කාරයෙක්. විශ්‍රාම වැටුප් තියෙන රස්සාවක් අතාරින්න එපා. කරන දෙයක් රස්සාව කරන ගමන් කරපං.”

හැමදාම පවුලේ හිතුවක්කාරයා වූ මම තවත් වතාවක් හිතුණු දේ කළා. ‘ඕන කිරි ගහක් යටින් පලයං’ කියල පැදුරටත් නොකිය ගුරු රස්සාවෙන් නැවතිල රාවයේ නිදහස් මාධ්‍යවේදියෙක් වුණා. රාවයේ වාර්තාකරුවෙක් හැටියට රට පුරා ඇවිදින්න පටන් ගත්ත.

නන්දන වීරරත්න

16/04/26

මතු සම්බන්ධයි

ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. -02




‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන -01

ඈත කප්කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් සහතුට
වීතාරාගත් එර්දි නුවණක් පහළ කරවන ලෙවන් සැම හට
පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහිකොට
දෝත මුදුනේ තබා වැන්දෙමි නාථ දෙව් රජ නුවණ දෙන් මට
1990 මැයි 03 වෙනිදා ගාලු මහමෝදර රෝහලේ දී අපේ ජීවිතවලට එකතු වූ අමුත්තාට මගේ අලුත් ගුරුවරයාගේ නම දැම්ම.
‘නාගාර්ජුන’
එයාගේ අම්මට ඒ නම විතරක් මදි නිසා ‘බිණූ’ කියල මුලට දැම්ම. එයාට බෙංගාලි සිනමාකරු සත්යජිත් රායිගේ ‘ඔපු ත්රිත්වයේ’ මතකයෙන් වෙන්න ඕන. ක්රි.ව. 01 – 03 අතරේ ජීවත් වූ මට කිසිදා හමුනොවූ නාගාර්ජුන දැන් මාත් එක්ක ජීවත්වෙන්න පටන් ගත්ත. අපි එයා ගෙදරට කැන්දා ගෙන එන අතරේ විහාරයට ගියා.
ඉහත කවිය ගායනා නොකෙරෙන දවසක් අපේ ගෙවල්වල තිබුණේ නෑ. පස්සේ කාලේ මම බිණු නාගාර්ජුන නිදිකරන්න මේ කවිය ගායනා කළා. හැබැයි වැඩිපුර කීවේ කුමරතුංගයන්ගේ දරු නැලවිලි ගී.
තොටගමු විහාරය ලංකාවේ තියෙන අපුරුම තැනක්. 1805 ඉදිකරපු අලුත් විහාරගෙට ඇතුළු වෙන විට පේන්නේ අනංග ප්රතිමාව. ලංකාවේ විහාර ගෙයක් ඇතුලේ තියෙන එකම අනංග ප්රතිමාව. දකුණු පැත්තේ උස් අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්රතිමාව. කෙලවරේ අදුරු පිළිමගෙයි සැතපෙන පිළිමය. පිළිමයේ දෙපා අසල විෂ්ණු ප්රතිමාව. 16 වන සියවසේ දී පෘතුගීසීන් පොලොවටම සමතලා කරපු තොටගමු විහාරෙ 19 සියවසේ මුල යළිත් ඉදි කෙරෙද්දි කෝට්ටේ සංදේශ කාව්යවල වර්ණනා කෙරෙන මේ දේව ප්රතිමා ආවේ කොහොම ද? අවුරුදු 300ක්ම අපේ මුතුන් මිත්තෝ නාගාර්ජුන අනුබුද්ධගේ හීනවල ජීවත්වෙන්න ඇති. ඔවුන්ට සැබවින්ම දකින්නට නැති තොටහමු විහාරයේ දෙවිවරුන් සමඟ සිහිනවල දී ඉන්න ඇති.
අපි පංසල් ගියේත්, දහම් පාසල් ගියේත්, තෙල්වත්තේ පුරාණ තොටගමු රජමහා විහාරටයි. සලාක දානයත් වස් දානයත් දුන්නේත් එතනටමයි. එක පරම්පරාවකින් පිරිමි දරුවෙක්, දෙන්නෙක් තොටගමු විහාරේ පැවිදි කිරීම පහුගිය සියවසේ අවසානය තෙක්ම චරිත්රයක් හැටියටයි තිබුණේ. 1970 ගණන්වල මැද මම ඉගෙන ගත් දහම්පාසලේම උගන්වමින් හිටියේ. ඒ සන්දියේ තමයි පංසලේ මිනීමැරුමක් වුණේ. අපවත් කර තිබුණේ, වේරගොඩ, ආරියවංශ හිමි. ආවාස ගෙවල් තුනකින් පාලනය වූ තොටගමු විහාරයේ කහවේ පංසල නමින් ප්රකට වූ එම ගමේ සඟ පරපුරටයි විහාරේ දේපලවලින් තුනෙන් දෙකක් අයිති. කහවේ පංසලේ හිටියේ වේරගොඩ ආරියවංශ. එයා බලි, බිලි දෙමින් හදි හූනියම් හා අංජනම් පෙන්වම ජීවනෝපාය කර ගත් කෙනෙක්. හැබැයි එයා ලඟ යහමින් මුදල් හදල් ගැවසුණා.
දවසක් එයාගේ ආවාසේ දොරේ මෙහෙම කවියක් ලියල තිබුණ.
පීරිසි තට්ටුවේ ගාගෙන පාං දැළි
ආරියවංශ බලනව අංජනම් එළි
තොටගමු විජයබා පිරුවෙන්පති රාහුල සඟරජුට නෑකම් ඇති කවියෙකුගේ කවිකමක් එහි තිබුණත් ඒ කවි දෙපදෙ පස්සෙ කවුදෝ මැකුව. එයාට අපි වරදක් නොකලත් එයා අපි දකිනකොටම කිව්ව
‘මදාවි චේගුවේරාකාරයෝ’
“ආරියවංශ ලොක්ක මරල” දවසක උදේ හතර පේරුවේ ගම් පුරා ආරංචියක් වාරකං හුළඟක් වගේ පැතිරුණා. අපි පංසලට දිව්ව. එතකොටත් මීටියාගොඩ පොලීසිය ඇවිත් නෑ. ආරියවංශ උන්නාන්සේ ආවාස ගෙයි මැද වැටිල ඉන්නව. කළුවර අල්මාරිවල තිබුණු පුස්කොල පොත් එළියට ඇදල තැන තැන විසිරිල. පුස්කොල පිටු අතරේ සල්ලි කොල. මිනීමරුවෝ සල්ලි ගන්න නෙවෙයි ඇවිත් තියෙන්නේ. වෙන දෙයක් ගෙනියන්න. ටිකකින් පොලීසිය ආවා. හවස් වෙද්දී සුනඛ පොලිස් රාළහාමි කෙනෙකුත් ගෙනාව.
අපි ඇස් විතරක් නෙවෙයි කටවල් ඇරගෙනත් බැළුව, හොඳටම බලා ගන්න.
සුනඛ රාළහාමි ඉව අල්ලගෙන කෙලින්ම ගියේ මහ ආවාස ගෙට. පංසල පාලනය කළ වැඩිම සාමනේරවරුන් හා උපසම්පදා භික්ෂුන් සිටි කෙහෙළ්ගමුවේ ආවාසෙට. ඒක පුදුම වැඩක්නේ. හොරු - කොල්ලකාරයෝ නෙවෙයි ආරියවංශ මරල තියෙන්නේ. අනික් පංසලේ භික්ෂුන්. භික්ෂුන් තිදෙනෙක් හා බෙරවාදකයෙක් පොලිස් අත්අඩංගුවට ගියා. පංසලේ දේපොළ නඩුවක් වෙනුවෙන් ඔප්පු පැහැර ගන්නයි ආරියවංශ “නිවන්” යවල තියෙන්නේ ...!
මේ මිනීමැරුමෙන් පස්සේ ථෙරවාදයයි, සිංහල බුද්ධ සාසනයි දෙකම එපා වෙන්න පටන් ගත්ත. එහෙම ඈත් වෙච්චි මම වාම දේශපාලනයට එකතු වුණා. ඒත් ආයෙත් බිණු නාගාර්ජුන නිසා 1990 වෙද්දි ආයෙත් බුද්ධාගමට එන්න හැරුණ. මහායානිකයෙක් හැටියට. ආචාර්ය නාගාර්ජුනයන්ගේ අනුගාමිකයෙක් හැටියට.
නාගාර්ජුනගේ ඉගැන්වීම් විසාලා මහනුවර මතකයෙන් ගැලවෙන්න විසාල සහනයක් වුණා. මා ගෙවා දැමූ 20 සියවසේ විසාලා මහනුවර සෑබෑවක් නොවේය, බියකරු සිහිනයක්ය, සිතීමෙන් මම හිත හදා ගත්ත. ඒක අමාරුම වැඩක්. මත් එක්ක උරෙනුර ගැටෙමින්, ජීවිතය කැප කර උපන් රටේ ඉරණම වෙනස්කරන්නට වෙර දරා, මහමඟ මරා දැමුණු සියල්ලන්ම මේ බියකරු සිහිනයේ දී හමුවූවන් ය. ඔවුන් මට යළිත් තවත් සිහිනයකදී හමුවෙනු ඇත, යනුවෙන් මතකය මරා දැමීම අපරාධයක් හැටියට පෙනුනේ නෑ. නාගාර්ජුනගේ හොඳම ගෝලය අශ්වඝෝෂ තෙරුන්. එයා දවසක් වනාන්තරයක් මැදින් යද්දී පල් හොරු රංචුකට අහුවෙනව. හොරු රැළ අශ්වඝෝෂට හොඳටෝම ගහනව. එයා මේ පහරදීමෙන් මැරෙන්න කලින් මෙහෙම කියනව.
“පහර කෑවෙක් නැත. පහර දුන් කෙනෙක් නැත. මියයන්නෙක් ද නැත. සියල්ල ශූන්යය.”
අශ්වඝෝෂ තෙරුන් එසේ කීවත් මට අලුත උපන් බිණු නාගාර්ජුන ජීවත්කරවීම තිබුණේ මේ ශූන්යතාවයෙන් ඔබ්බේ ය.
නන්දන වීරරත්න
https://nandanaweeraarathne.substack.com/?utm_source=substack&utm_medium=email
15/04/26
පිංතුර; සිත්තරෙකුට අනුව ආචාර්ය නාගාර්ජුන, තොටගමු විහාරයේ අනංග ප්රතිමාව.

‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන -01



 එදා තමයි ඩොනල්ඩ් ට්රම්ප් හා බෙන්ජමින් නෙතන්යාහු, ඉරානයට බෝම්බ දාන්න පටන් ගත්තෙ. පෙබරවාරි 28 වෙනිද. හරියටම එදාම උදේ එයා ජීවත්කරන්න බැරි බව වෛද්යවරු දැනුම් දුන්නේ. මම ‘ජනපතියෙකු ඝාතනය කරන්නේ කෙසේ ?’ [ How To kill a President] මගේ අලුත් පොත පොත සංස්කරණය කරමින් හිටියේ. ඒ පොත ජනාධිපති රණසිංහ ප්රේමදාස ඝාතනය අළලා මම රාවයට ලියු වාර්තා පදනම් කර ගෙනයි ලීවේ. ඒක පුදුම අහම්බයක්. එයා ඉපදුනේ ප්රේමදාස පාලනයේ මුළ. බිණු නාගාර්ජුනගේ අවුරුදු 35 ගෙවුණු ජීවීතේ මගේ මනසේ සිනමා සිත්තමක් සේ දිග ඇරෙන්න පටන් ගත්ත. අවුරුදු 35ක් මොන තරම් කෙටි කාලයක ද?

එයාගේ මරණය වගේම උප්පත්තියත් මේ වගේ ප්රචන්ඩ යුගයකයි සිද්ධ වුණේ. 1989 අග බිණු මෙලොවට එන්න එන්න කැමැත්ත පෙන්නුව. එතකොට ජනාධිපති රණසිංහ ප්රේමදාසගේ පාලනය. මුළු රටම අමු සොහොනක්. හරියටම බෞද්ධ සාහිත්යයේ එන ජනපද රෝගය පැතිර ගිය විසාලා මහනුවර වගේ. ඒත් විසාලා මහනුවර තිබුණේ, දුර්භික්ෂ බය, රෝග බය හා අමනුෂ්ය බය. ඒ විස්තරය මෙහෙමයි.
“රෝගීන්ගේ මර විලාප හඬ, කුණු වූ මළ මිනී ගඳ - ඇටසැකිලිවල පය පැකිලීම, හා අමුනුෂ්ය බය ද විසාලා මහනුවර අරක්ගත්තේ ය. එනුවර තුන් බියෙයෙන් සලිත වී ගියේ ය.”
ඒ කාලේ [1988 – 90]රටේ ඇති වී තිබූ පරිසරය ගැලපුනේ ‘විසාලා මහනුවර තුන් බියට’ පමණමයි. මේ තුන් බිය අපට තිබුණේ මේ විදිහට.
‘ජනයාට, පැහැර ගෙන යාමේ බිය, මරා දැමීමේ බිය හා පාරවල් දිගේ ටයර් මත දැවෙන තරුණ මල මිනීවල දුර්ගන්ධය දරන්න බැරි කම.’
විසාලා මහනුවරට තුන් බිය ඇති වුණාම, ලිච්චවි රජදරුවො බුදුන්ට ආරාධනා කලා. බුදුන් වැඩ, රතන සූත්රය දේශනා කිරීමෙනුයි තුන් බිය තුරන් කෙරුණේ කියල බෞද්ධ ඉතිහාසය කියන්නේ. අනික බුදු කෙනෙක් දඹදිව තබා පෘතුවියේ කොතැනකවත් වැඩ සිටින බවට ප්රවෘත්තියක් තබා ඕපදුපයක්වත් අහන්න තිබුණෙ නෑ. ඒත් මේ වෙලාවේ ලිච්චවි රජ දරුවො නෙවෙයි රට පාලනය කළේ. වව්නියාවෙන් පහළ, ප්රේමදාස - රන්ජන් විජේරත්න දෙබෑය. එතනින් උඩ රජිව් ගාන්ධි එවු ඉන්දීය හමුදාව. එහෙව් රටේ දරුවෙක් උපදින්න ද අහනව. තරුණකම සාපයක් වෙච්චි රටක උපදින්න අහන්නේ..!
මම දේශපාලන පත්තර කලාව ඇතෑරල පණ බේරාගෙන පහළ ඌවේ වනගතවෙමින් හිටියේ. කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් වෙනුවට ඌවේ නෑයක්කු හා මළ යක්කු ගැන සෙවීමටයි මගේ කාලය ගෙවෙමින් තිබුණේ. මම ථෙරවාදය වෙනුවට මහායානය තෝර ගත්ත. මාළිගාවිල සිටි අවලෝකිතේශ්වර මගේ පිහිටට හිටිය. බිබිලේ හෝ ලුණුගල මහජන පුස්තකාලයක තිබිල මට මොරටුවේ සාසනතිලක පඬිවරයා ලියූ ‘ලංකාවේ මහායාන අදහස්’ පොත් අතට ලැබෙන්නේත් මේ කාලයේමයි. මට ආචාර්ය නාගාර්ජුන හා ඔහුගේ අනුගාමිකයන් වූ අසංග, වසුබන්ධු, ආර්යදේව වගේ මුණ ගැහුණ. ඔවුන්ගේ ඉගැන්වීම් මගේ ජීවිතයට ඇතුල්වෙන්න පටන් ගත්තා.
අචාර්ය නාගාර්ජුනයන්ගේ මාධ්යමික දර්ශනය මගේ සිත් ගත්ත. මේ වෙන කොට මම වැඩි කාලයක් ගෙව්වේ ජීවන අත්දැකීම් හරහා කෙටිකතා ලියන්න. මාධ්යමික දර්ශනය හා ශූන්යතාවාදය නිර්මානාත්මක කලාවන් සඳහා ක්ෂේම භුමියක් බව මට දැණුන. මම මාධ්යමික දර්ශනය තේරුම්ගත්තේ වෙනස් විදිහකට.
“ජීවිතය යනු අප දකින්නා වූ සිහිනයකි. මරණය යනු දකිමින් සිටිනා වූ සිහිනයේ අවසානයයි. සංසාරය යනු අප්රමාණ වු සිහින සම්භාරයකි. මේ සිහින දැකීම අවසන් කිරීම නිර්වාණය නම් වේ.”
“ලෝකේ සිහිනයක් වගේ ය
කවුද මෙහෙම මැව්වේ ලෝකේ”
කාගේදෝ කව් දෙපදයක් මගේ මතකයට්ට එනව.
මා දකිමින් සිටි බියකරු සිහිනය මැද දී තවත් ප්රේමයක් ද ඒ ප්රේමය මැදට තවත් අමුතෙකු එකතු වන්නට යන්නේ ය. ඔහුට කවර නමක් තැබිය යුතු ද?
නන්දන වීරරත්න
14/04/26
මතු සම්බන්ධයි

නාගාර්ජුනගේ ‘සිහින යානයක’ නිමාව බිණු නාගාර්ජුනගේ මතකවත - 08

  පළමු ලිපිය  : ‘විසාලා මහනුවර’ උපන්  බිණු නාගාර්ජුන (1) දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2) ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු ...