ඈත කප්කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් සහතුට
වීතාරාගත් එර්දි නුවණක් පහළ කරවන ලෙවන් සැම හට
පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහිකොට
දෝත මුදුනේ තබා වැන්දෙමි නාථ දෙව් රජ නුවණ දෙන් මට
1990 මැයි 03 වෙනිදා ගාලු මහමෝදර රෝහලේ දී අපේ ජීවිතවලට එකතු වූ අමුත්තාට මගේ අලුත් ගුරුවරයාගේ නම දැම්ම.
‘නාගාර්ජුන’
එයාගේ අම්මට ඒ නම විතරක් මදි නිසා ‘බිණූ’ කියල මුලට දැම්ම. එයාට බෙංගාලි සිනමාකරු සත්යජිත් රායිගේ ‘ඔපු ත්රිත්වයේ’ මතකයෙන් වෙන්න ඕන. ක්රි.ව. 01 – 03 අතරේ ජීවත් වූ මට කිසිදා හමුනොවූ නාගාර්ජුන දැන් මාත් එක්ක ජීවත්වෙන්න පටන් ගත්ත. අපි එයා ගෙදරට කැන්දා ගෙන එන අතරේ විහාරයට ගියා.
ඉහත කවිය ගායනා නොකෙරෙන දවසක් අපේ ගෙවල්වල තිබුණේ නෑ. පස්සේ කාලේ මම බිණු නාගාර්ජුන නිදිකරන්න මේ කවිය ගායනා කළා. හැබැයි වැඩිපුර කීවේ කුමරතුංගයන්ගේ දරු නැලවිලි ගී.
තොටගමු විහාරය ලංකාවේ තියෙන අපුරුම තැනක්. 1805 ඉදිකරපු අලුත් විහාරගෙට ඇතුළු වෙන විට පේන්නේ අනංග ප්රතිමාව. ලංකාවේ විහාර ගෙයක් ඇතුලේ තියෙන එකම අනංග ප්රතිමාව. දකුණු පැත්තේ උස් අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්රතිමාව. කෙලවරේ අදුරු පිළිමගෙයි සැතපෙන පිළිමය. පිළිමයේ දෙපා අසල විෂ්ණු ප්රතිමාව. 16 වන සියවසේ දී පෘතුගීසීන් පොලොවටම සමතලා කරපු තොටගමු විහාරෙ 19 සියවසේ මුල යළිත් ඉදි කෙරෙද්දි කෝට්ටේ සංදේශ කාව්යවල වර්ණනා කෙරෙන මේ දේව ප්රතිමා ආවේ කොහොම ද? අවුරුදු 300ක්ම අපේ මුතුන් මිත්තෝ නාගාර්ජුන අනුබුද්ධගේ හීනවල ජීවත්වෙන්න ඇති. ඔවුන්ට සැබවින්ම දකින්නට නැති තොටහමු විහාරයේ දෙවිවරුන් සමඟ සිහිනවල දී ඉන්න ඇති.
අපි පංසල් ගියේත්, දහම් පාසල් ගියේත්, තෙල්වත්තේ පුරාණ තොටගමු රජමහා විහාරටයි. සලාක දානයත් වස් දානයත් දුන්නේත් එතනටමයි. එක පරම්පරාවකින් පිරිමි දරුවෙක්, දෙන්නෙක් තොටගමු විහාරේ පැවිදි කිරීම පහුගිය සියවසේ අවසානය තෙක්ම චරිත්රයක් හැටියටයි තිබුණේ. 1970 ගණන්වල මැද මම ඉගෙන ගත් දහම්පාසලේම උගන්වමින් හිටියේ. ඒ සන්දියේ තමයි පංසලේ මිනීමැරුමක් වුණේ. අපවත් කර තිබුණේ, වේරගොඩ, ආරියවංශ හිමි. ආවාස ගෙවල් තුනකින් පාලනය වූ තොටගමු විහාරයේ කහවේ පංසල නමින් ප්රකට වූ එම ගමේ සඟ පරපුරටයි විහාරේ දේපලවලින් තුනෙන් දෙකක් අයිති. කහවේ පංසලේ හිටියේ වේරගොඩ ආරියවංශ. එයා බලි, බිලි දෙමින් හදි හූනියම් හා අංජනම් පෙන්වම ජීවනෝපාය කර ගත් කෙනෙක්. හැබැයි එයා ලඟ යහමින් මුදල් හදල් ගැවසුණා.
දවසක් එයාගේ ආවාසේ දොරේ මෙහෙම කවියක් ලියල තිබුණ.
පීරිසි තට්ටුවේ ගාගෙන පාං දැළි
ආරියවංශ බලනව අංජනම් එළි
තොටගමු විජයබා පිරුවෙන්පති රාහුල සඟරජුට නෑකම් ඇති කවියෙකුගේ කවිකමක් එහි තිබුණත් ඒ කවි දෙපදෙ පස්සෙ කවුදෝ මැකුව. එයාට අපි වරදක් නොකලත් එයා අපි දකිනකොටම කිව්ව
‘මදාවි චේගුවේරාකාරයෝ’
“ආරියවංශ ලොක්ක මරල” දවසක උදේ හතර පේරුවේ ගම් පුරා ආරංචියක් වාරකං හුළඟක් වගේ පැතිරුණා. අපි පංසලට දිව්ව. එතකොටත් මීටියාගොඩ පොලීසිය ඇවිත් නෑ. ආරියවංශ උන්නාන්සේ ආවාස ගෙයි මැද වැටිල ඉන්නව. කළුවර අල්මාරිවල තිබුණු පුස්කොල පොත් එළියට ඇදල තැන තැන විසිරිල. පුස්කොල පිටු අතරේ සල්ලි කොල. මිනීමරුවෝ සල්ලි ගන්න නෙවෙයි ඇවිත් තියෙන්නේ. වෙන දෙයක් ගෙනියන්න. ටිකකින් පොලීසිය ආවා. හවස් වෙද්දී සුනඛ පොලිස් රාළහාමි කෙනෙකුත් ගෙනාව.
අපි ඇස් විතරක් නෙවෙයි කටවල් ඇරගෙනත් බැළුව, හොඳටම බලා ගන්න.
සුනඛ රාළහාමි ඉව අල්ලගෙන කෙලින්ම ගියේ මහ ආවාස ගෙට. පංසල පාලනය කළ වැඩිම සාමනේරවරුන් හා උපසම්පදා භික්ෂුන් සිටි කෙහෙළ්ගමුවේ ආවාසෙට. ඒක පුදුම වැඩක්නේ. හොරු - කොල්ලකාරයෝ නෙවෙයි ආරියවංශ මරල තියෙන්නේ. අනික් පංසලේ භික්ෂුන්. භික්ෂුන් තිදෙනෙක් හා බෙරවාදකයෙක් පොලිස් අත්අඩංගුවට ගියා. පංසලේ දේපොළ නඩුවක් වෙනුවෙන් ඔප්පු පැහැර ගන්නයි ආරියවංශ “නිවන්” යවල තියෙන්නේ ...!
මේ මිනීමැරුමෙන් පස්සේ ථෙරවාදයයි, සිංහල බුද්ධ සාසනයි දෙකම එපා වෙන්න පටන් ගත්ත. එහෙම ඈත් වෙච්චි මම වාම දේශපාලනයට එකතු වුණා. ඒත් ආයෙත් බිණු නාගාර්ජුන නිසා 1990 වෙද්දි ආයෙත් බුද්ධාගමට එන්න හැරුණ. මහායානිකයෙක් හැටියට. ආචාර්ය නාගාර්ජුනයන්ගේ අනුගාමිකයෙක් හැටියට.
නාගාර්ජුනගේ ඉගැන්වීම් විසාලා මහනුවර මතකයෙන් ගැලවෙන්න විසාල සහනයක් වුණා. මා ගෙවා දැමූ 20 සියවසේ විසාලා මහනුවර සෑබෑවක් නොවේය, බියකරු සිහිනයක්ය, සිතීමෙන් මම හිත හදා ගත්ත. ඒක අමාරුම වැඩක්. මත් එක්ක උරෙනුර ගැටෙමින්, ජීවිතය කැප කර උපන් රටේ ඉරණම වෙනස්කරන්නට වෙර දරා, මහමඟ මරා දැමුණු සියල්ලන්ම මේ බියකරු සිහිනයේ දී හමුවූවන් ය. ඔවුන් මට යළිත් තවත් සිහිනයකදී හමුවෙනු ඇත, යනුවෙන් මතකය මරා දැමීම අපරාධයක් හැටියට පෙනුනේ නෑ. නාගාර්ජුනගේ හොඳම ගෝලය අශ්වඝෝෂ තෙරුන්. එයා දවසක් වනාන්තරයක් මැදින් යද්දී පල් හොරු රංචුකට අහුවෙනව. හොරු රැළ අශ්වඝෝෂට හොඳටෝම ගහනව. එයා මේ පහරදීමෙන් මැරෙන්න කලින් මෙහෙම කියනව.
“පහර කෑවෙක් නැත. පහර දුන් කෙනෙක් නැත. මියයන්නෙක් ද නැත. සියල්ල ශූන්යය.”
අශ්වඝෝෂ තෙරුන් එසේ කීවත් මට අලුත උපන් බිණු නාගාර්ජුන ජීවත්කරවීම තිබුණේ මේ ශූන්යතාවයෙන් ඔබ්බේ ය.
නන්දන වීරරත්න
https://nandanaweeraarathne.substack.com/?utm_source=substack&utm_medium=email
15/04/26
පිංතුර; සිත්තරෙකුට අනුව ආචාර්ය නාගාර්ජුන, තොටගමු විහාරයේ අනංග ප්රතිමාව.


No comments:
Post a Comment
ප්‍රතිචාරයට ස්තූතියි