‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන



 එදා තමයි ඩොනල්ඩ් ට්රම්ප් හා බෙන්ජමින් නෙතන්යාහු, ඉරානයට බෝම්බ දාන්න පටන් ගත්තෙ. පෙබරවාරි 28 වෙනිද. හරියටම එදාම උදේ එයා ජීවත්කරන්න බැරි බව වෛද්යවරු දැනුම් දුන්නේ. මම ‘ජනපතියෙකු ඝාතනය කරන්නේ කෙසේ ?’ [ How To kill a President] මගේ අලුත් පොත පොත සංස්කරණය කරමින් හිටියේ. ඒ පොත ජනාධිපති රණසිංහ ප්රේමදාස ඝාතනය අළලා මම රාවයට ලියු වාර්තා පදනම් කර ගෙනයි ලීවේ. ඒක පුදුම අහම්බයක්. එයා ඉපදුනේ ප්රේමදාස පාලනයේ මුළ. බිණු නාගාර්ජුනගේ අවුරුදු 35 ගෙවුණු ජීවීතේ මගේ මනසේ සිනමා සිත්තමක් සේ දිග ඇරෙන්න පටන් ගත්ත. අවුරුදු 35ක් මොන තරම් කෙටි කාලයක ද?

එයාගේ මරණය වගේම උප්පත්තියත් මේ වගේ ප්රචන්ඩ යුගයකයි සිද්ධ වුණේ. 1989 අග බිණු මෙලොවට එන්න එන්න කැමැත්ත පෙන්නුව. එතකොට ජනාධිපති රණසිංහ ප්රේමදාසගේ පාලනය. මුළු රටම අමු සොහොනක්. හරියටම බෞද්ධ සාහිත්යයේ එන ජනපද රෝගය පැතිර ගිය විසාලා මහනුවර වගේ. ඒත් විසාලා මහනුවර තිබුණේ, දුර්භික්ෂ බය, රෝග බය හා අමනුෂ්ය බය. ඒ විස්තරය මෙහෙමයි.
“රෝගීන්ගේ මර විලාප හඬ, කුණු වූ මළ මිනී ගඳ - ඇටසැකිලිවල පය පැකිලීම, හා අමුනුෂ්ය බය ද විසාලා මහනුවර අරක්ගත්තේ ය. එනුවර තුන් බියෙයෙන් සලිත වී ගියේ ය.”
ඒ කාලේ [1988 – 90]රටේ ඇති වී තිබූ පරිසරය ගැලපුනේ ‘විසාලා මහනුවර තුන් බියට’ පමණමයි. මේ තුන් බිය අපට තිබුණේ මේ විදිහට.
‘ජනයාට, පැහැර ගෙන යාමේ බිය, මරා දැමීමේ බිය හා පාරවල් දිගේ ටයර් මත දැවෙන තරුණ මල මිනීවල දුර්ගන්ධය දරන්න බැරි කම.’
විසාලා මහනුවරට තුන් බිය ඇති වුණාම, ලිච්චවි රජදරුවො බුදුන්ට ආරාධනා කලා. බුදුන් වැඩ, රතන සූත්රය දේශනා කිරීමෙනුයි තුන් බිය තුරන් කෙරුණේ කියල බෞද්ධ ඉතිහාසය කියන්නේ. අනික බුදු කෙනෙක් දඹදිව තබා පෘතුවියේ කොතැනකවත් වැඩ සිටින බවට ප්රවෘත්තියක් තබා ඕපදුපයක්වත් අහන්න තිබුණෙ නෑ. ඒත් මේ වෙලාවේ ලිච්චවි රජ දරුවො නෙවෙයි රට පාලනය කළේ. වව්නියාවෙන් පහළ, ප්රේමදාස - රන්ජන් විජේරත්න දෙබෑය. එතනින් උඩ රජිව් ගාන්ධි එවු ඉන්දීය හමුදාව. එහෙව් රටේ දරුවෙක් උපදින්න ද අහනව. තරුණකම සාපයක් වෙච්චි රටක උපදින්න අහන්නේ..!
මම දේශපාලන පත්තර කලාව ඇතෑරල පණ බේරාගෙන පහළ ඌවේ වනගතවෙමින් හිටියේ. කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් වෙනුවට ඌවේ නෑයක්කු හා මළ යක්කු ගැන සෙවීමටයි මගේ කාලය ගෙවෙමින් තිබුණේ. මම ථෙරවාදය වෙනුවට මහායානය තෝර ගත්ත. මාළිගාවිල සිටි අවලෝකිතේශ්වර මගේ පිහිටට හිටිය. බිබිලේ හෝ ලුණුගල මහජන පුස්තකාලයක තිබිල මට මොරටුවේ සාසනතිලක පඬිවරයා ලියූ ‘ලංකාවේ මහායාන අදහස්’ පොත් අතට ලැබෙන්නේත් මේ කාලයේමයි. මට ආචාර්ය නාගාර්ජුන හා ඔහුගේ අනුගාමිකයන් වූ අසංග, වසුබන්ධු, ආර්යදේව වගේ මුණ ගැහුණ. ඔවුන්ගේ ඉගැන්වීම් මගේ ජීවිතයට ඇතුල්වෙන්න පටන් ගත්තා.
අචාර්ය නාගාර්ජුනයන්ගේ මාධ්යමික දර්ශනය මගේ සිත් ගත්ත. මේ වෙන කොට මම වැඩි කාලයක් ගෙව්වේ ජීවන අත්දැකීම් හරහා කෙටිකතා ලියන්න. මාධ්යමික දර්ශනය හා ශූන්යතාවාදය නිර්මානාත්මක කලාවන් සඳහා ක්ෂේම භුමියක් බව මට දැණුන. මම මාධ්යමික දර්ශනය තේරුම්ගත්තේ වෙනස් විදිහකට.
“ජීවිතය යනු අප දකින්නා වූ සිහිනයකි. මරණය යනු දකිමින් සිටිනා වූ සිහිනයේ අවසානයයි. සංසාරය යනු අප්රමාණ වු සිහින සම්භාරයකි. මේ සිහින දැකීම අවසන් කිරීම නිර්වාණය නම් වේ.”
“ලෝකේ සිහිනයක් වගේ ය
කවුද මෙහෙම මැව්වේ ලෝකේ”
කාගේදෝ කව් දෙපදයක් මගේ මතකයට්ට එනව.
මා දකිමින් සිටි බියකරු සිහිනය මැද දී තවත් ප්රේමයක් ද ඒ ප්රේමය මැදට තවත් අමුතෙකු එකතු වන්නට යන්නේ ය. ඔහුට කවර නමක් තැබිය යුතු ද?
නන්දන වීරරත්න
14/04/26
මතු සම්බන්ධයි

No comments:

Post a Comment

ප්‍රතිචාරයට ස්තූතියි

‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන

  එදා තමයි ඩොනල්ඩ් ට් ‍ රම්ප් හා බෙන්ජමින් නෙතන් ‍ යාහු, ඉරානයට බෝම්බ දාන්න පටන් ගත්තෙ. පෙබරවාරි 28 වෙනිද. හරියටම එදාම උදේ එයා ජීවත්කරන්න බැ...