පළමු ලිපිය : ‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන (1)
දෙවන ලිපිය: ආචාර්ය නාගාර්ජුනගේ තොටගමු විහාරය. (2)
ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම- බිණු නාගාර්ජුනගේ මතකවත 03
ඊළාමයේ සිටි අනුබුද්ධ නාගාර්ජුනගේ බැතිමත්තු..! -බිණු නාගාර්ජුනගේ මතකපොත 04
සිහිනවල සිටි අතුරුදහන්වූවෝ-බිණු නාගාර්ජුනගේ මතකවත - 05
අනුබුද්ධ නාගාර්ජුනයන් කියන හීනයේ ඇත්තටම ජීවත් වෙන මිනිස්සු මට මුණ ගැහුනෙ සමූළ ඝාතන ගම්මානවල දී. සිංහල - දෙමළ සමූළ ඝාතන ගම්මාන සිය ගණනක් අපේ රටේ තියෙනව.
1992 වෙද්දී මම මේ ඝාතන ගම්මාන සොයා ඒ ගැන ලියන්න පටන් ගත්ත.
සැමියා අතුරුදහන් කිරීමෙන් කණවැන්දුම් වූ තරුණ මවක් මට කටියාවේ [ රම්බොඩගල්ල කුරුණෑගල] දී මෙහෙම කිව්ව.
“ ළමයින්ගේ තාත්තා පැහැර ගෙන ගියා. මම හැම හමුදා කඳවුරකම හෙව්ව. සොයා ගන්න බැරි වුණා. පස්සෙ මම මගේ අම්මට දරුවො බාර දීල කුවේට් ගියා. සති තුනක් ගියේ නෑ මට ඉන්නම දුන්නේ නෑ. ළමයින්ගේ තාත්ත, හැමදාම රෑට මාව නිදා ගත්තු ඇදෙන් බිමට ඇදල දාල, බණිනව.
පලයං ලංකාවට ගිහින් මගේ දරුවො බලා ගනිං...!
මට කුවේට්වල ඉන්න්ම දුන්නේ නෑ. බැරිම තැන මම ආපහු ආවා. දැන් කුළී වැඩ කරනව. දරුවො හදා ගන්න”
මේ වගේම තවත් කතාවක් මට වලස්මුල්ලේ, රදනිආර ගමේ දී ඇහුණ.
“ මට දරුවෙක් එක්කවත් අපි දෙන්න නිදා ගත්තු ඇදේ නිදාගන්න දුන්නේ නෑ. මමත් ඔයත් එක්ක බෙදාගත්තු ඇඳ තව කවුරුවත් එක්ක බෙදා ගන්න එපා. මටත් රෑට ඔයා ලඟින් නිදා ගන්න ඕන”
තරුණ අම්ම කෙනෙක් ඒක කිව්වේ තරමක ආඩම්බරයකින්. දුකට පත් මනුෂ්‍යයන් හීනයත්, හැබෑවත් අතරේ ජීවත් වෙනව කියලයි මට හිතෙන්නේ. ඔවුන් සමහර වෙලාවට හීනය හා හැබෑව අතරේ වෙනස දන්නේ නෑ. ඒක එයාලට විශාල මානසික සහනයක්. මම ඔවුන්ගේ කතා හා කදුළු එකතු කරා මිස හීන කඩන්න ගියේ නෑ.
හැබැයි, අතුරුදහන් කෙරුණු තරුණ දූ පුතුන්ගේ අම්මලා හරිම වෙනස් විදිහට වැඩ කරන්නේ. ඇඹිළිපිටියේ එක අම්ම කෙනෙක් අතුරුදහන් කරපු පුතාට හැමදාම බත් එකක් බෙදල වහල තියෙන වග මට කිව්වේ එයාගේ ලොකු දුව.
“ දුවේ ලොකු පුතා ගෙදර එන්නේම බත් සොයා ගෙන. කොයි වෙලාවක, කොයි දවසක ලොක්ක ගෙදර ඒද දන්නේ නෑ. එතකල් බත් එකක් බෙදල වහල තියන්න ඕන.”
ඒ අම්මගේ හීනේ ඇතුලේ පුතා ඉන්නව. එයා පුතාගේ මරණය බාර ගත්තේ නෑ. මම ඒ ගමට ගියේ භීෂනයෙන් අවුරුදු 4 කට පස්සේ. මම හිතන්නේ ඒ අම්මගේ මරණය දක්වාම එයා ලොකු පුතාගේ කෑම පංගුව බෙදල තියන්න ඇති.
අඟුණකොල පෑලැස්සේ අවුරුදු 14 ක විතර මල්ලියෙක් අතුරුදහන් කෙරුණු අයියන්ඩි ගැන අහඅහද්දි විලාප තියල ඇඬුව.
“අනේ, මගේ අයියගේ හීනේ තිබුණේ ගායකයෙන් වෙන්න. එයාට හොඳට සින්දු කියන්නත් පුළුවන්. බටනලාව පිඹින්නත් පුළුවන්...!”
මම එයාට කිව්ව ..
“ඔයා අයියගේ හීනේ දිගටම. දකින්න. ඔයා ගායකයෙක් වෙන්න.”
කොලුවට ඊට වඩා හොඳ උත්තරයක් දෙන්න මම දැන හිටියෙ නෑ. එයාට මොනව වුණා ද හොයන්න මට ඉඩක් ලැබුණෙත් නෑ.
1998 දී මම ‘යුද්දයේ දරුවෝ’ සොයාගෙන දකුණු ඉන්දියාවේ මහාමල්ල පුරම් හී ඇති ලංකා අනාථයන්ගේ කඳවුරකට ගියා. එතන හිටපු 83 කළු ජූලියෙන් පස්සේ ලංකාවෙන් ආපු අනාථ මිනිස්සු ඒ වෙන කොටත් මනසින් ජීවත් වෙමින් හිටියේ ලංකාව නම් හීනයේ. මම ඔවුන්ට කීව,
“රටවල් දෙකම එක වගේ ලංකාවෙ ඉන්නව කියල හිතා ගෙන ජීවත් වෙන්න...!”
එතකොට එක වැඩිහිටියෙක් කීව...
“අපි එහෙම තමයි ඉන්නේ..ඒත් අපේ කෙල්ලෙකුට ගවුමක් ඇඳන් පාරේ යන්න බෑ. ගල් ගහනව. බණිනව. මේ දරුවෝ ඉගෙන ගන්නේ අපේ රටේ භූ ගෝලය නෙවෙයි. අපි තාම හීන දකින්නේ ලංකාවේ ඉන්න විදිහට. ඒත් අපේ දරුවන්ට එහෙම වෙන්නේ නෑ.
මට එයාට දෙන්න උත්තරයක් තිබුණේ නෑ.
අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මුණුපුරා, පෘතුවි රාජසිංහ කුමාරය බැහැදකින්න වැල්ලෝරයේ ගාන්ධි නගර් ගියා. ලංකාවේ ඔටුන්න හිමි කුමාරය අපිට ‘සර්’ කියල කතා කරා. මම කිව්ව.....
“අපියි ඔයාට ‘සර්’ කියන්න ඕන. ඔයා අපේ රජකම හිමි කුමාරය....!”
එයා බහොම සතුටට පත් වුණා. එයා එතැන ඉඳන් උඩරට රාජ්‍යයේ සිහිනයට ඇතුළු වෙනව අපි දැක්ක. එන්න හැරුණාම උවිදු [කුරුකුලසූරිය]මට මෙහෙම කීව,
“උඹ මාර වැඩක් කරේ. දැන් අපි ගියාම ඒ මනුස්සගේ පපුව හිරවෙල මැරෙයි..!”
“ඒත් මොකද, එයා පැය කීපකට හරි ලංකාවේ රජ්ජුරුවෝ හැටියට හීනෙක ඉඳලයි මැරෙන්නේ. ඒක එයා වගේ කම්කරුවෙකුට සැනසීමක් නෙවෙයි ද?”
මම පෙරලා ප්‍රශ්නයක් ඇහුව.
මම 2019 වගේ මෑතක දී කිළිනොච්චියේ මලයාලි පුරම් ගමට ගියා, වාර්තා චිත්‍රපටයක් වෙනුවෙන්[ An Indian Blood for Tamil Eelam] එයාගේ පුත්තු තුන් දෙනාම ඊළාම් යුද්ධයේ දී මැරිල. මම කතා කරමින් ඉන්න අතරේ එයා මට ගෙයි කාඹරයක් අතින් පෙන්නුව. මම ඒ පැත්තට ගියා. තරුණ පිරිමි ළමයි තුන් දෙනෙකුගේ ලොකු පිංතුර තුනක් හින්දු දේව රූප අතරේ තියෙනව. වටේට බල්බ් වැල පත්තු වෙනව. හදුන්කූරු සුවඳ පැතිරෙනව.
ඒ අම්ම මට කිව්ව පුත්තු තුන් දෙනාම තවමත් එයත් එක්ක ඒ ගෙදර ඉන්නව. එයාට විතරයි පේන්නේ. අනික් කාටවත් පෙන්නේ නෑ. තරුණ කාලේ වගේ මුරණ්ඩු නෑ. එයා හොඳට බලා ගන්න බව.
අපිත් එක්ක ඒ අම්ම හමුවෙන්න ගිය ගමේ මඟපෙන්වන්නා නම් කීවේ එයාගේ මොළේ හොඳ නෑ බව. මම ඒක විස්වාස කලෙත් නෑ. විස්වාස කරන්නේත් නෑ. ඒ අම්ම හිටියේ එයාගේ හීනයේ. ඉතින් හීනෙන් ඇහැ ඇරවල ඇති ප්‍රයෝජනය මොකක් ද?
මේ වගේ ගම්මාන 20 – 30 මම ගියා. මුළින් විශේෂාංග රාවයට ලිව්ව, ‘භීෂනයෙන් අතුරුදහන් වූ කුල පීඩිතයෝ’යන හිසින්. බීබීසියේ සංදේශයට බැදුනට පස්සේ ‘යුද්ධයේ දරුවෝ’ නමින් රේඩියෝ වැඩසටහන් පෙළක් කරා, සිංහල - දෙමළ සමුහ ඝාතන ගම්මානවලට ගිහින්. පස්සෙ කාලේ වාර්තා චිත්‍රපටිත් හැදුව ඇතැම් ගම්මාන ගැන.
මේව සොයන්න රට පුරා ඇවිදින මට හුඟාක් වෙලාවට බිණූ නාගාර්ජුන මඟ ඇරුණ. ඒක වලක්වා ගන්න මම කොළඹ කිට්ටුවට ආවා පදිංචියට. ඒත්, එයා පත්තර, රේඩියෝ හා රූපවාහිණි කර්මාන්තය පැත්තෙවත් නොඑන්න හේතුව ඒක වෙන්න ඇති.
නන්දන වීරරත්න
17/04/26
මතු සම්බන්ධයි
No comments:
Post a Comment
ප්‍රතිචාරයට ස්තූතියි