ඉරාන යුද්ධය තීරණාත්මක සන්ධිස්ථානයකි. ඒ ඇයිද ?

 


ජාත්‍යන්තර සබඳතා 'රුසියානු රුලට්' (Russian roulette) ක්‍රීඩාවේ යුගයකට අවතීර්ණ වෙයි.

-ෆියෝඩර් ලුකියානොව් විසිනි.

(ෆියෝඩර් ලුකියානොව් යනු ‘Russia in Global Affairs’ සඟරාවේ ප්‍රධාන කර්තෘ, විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ වල්ඩායි ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ පර්යේෂණ අධ්‍යක්ෂවරයා වේ.)

ජාත්‍යන්තර සබඳතාවල පදනම වූ සීමාකාරී අංගයන් අද වන විට බිඳ දමමින් පවතී. ඉරානයට එරෙහි යුද්ධය මෙම ක්‍රියාවලිය වේගවත් කරන අතර දැනටමත් ගෝලීය දේශපාලනය තුළ නිර්මාණය වෙමින් පවතින අවුල් සහගත තත්ත්වය තවදුරටත් ගැඹුරු කරනු ඇත. වත්මන් අර්බුදයේ ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාරයේ ප්‍රතිවිපාක ඉස්ලාමීය ජනරජයේ ඉරණමට පමණක් සීමා නොවනු ඇත. මෙහිදී ඇත්ත වශයෙන්ම අවදානමට ලක්ව ඇත්තේ ජාත්‍යන්තර සබඳතා තුළ "කළ හැකි සහ පිළිගත හැකි දේ" පිළිබඳව පවතින සංකල්පයයි. එම සංකල්පය වෙනස් වෙමින් පවතී, එය යහපත් අතකට නම් නොවේ.

පළමුවෙන්ම, රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ පදනම වන ජාත්‍යන්තර නීතිය පිළිබඳ ඕනෑම ආයාචනයක සංකේතාත්මක අර්ථය පවා අහිමි වී ඇත. 2002-03 වසරවලදී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට සූදානම් වන විට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් ලබා ගැනීම අවශ්‍ය බව ඔවුන් තවමත් විශ්වාස කළහ. එදා කොලින් පවෙල් ඉරාකයේ සමූහ නාශක අවි පවතින බව පෙන්වීමට පරීක්ෂණ නලයක් අතැතිව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පෙනී සිටියේ ඉතා සැලසුම් සහගත වාග් මාලාවක් ද සමඟිනි. එම තර්කය අසාර්ථක වූ නමුත්, එවැනි උත්සාහයක් දැරීම වැදගත් විය. ඉන් පිළිබිඹු වූයේ කිසියම් ආකාරයක සාධාරණීකරණයක් තවමත් අවශ්‍ය බවට වූ විශ්වාසයයි.

අද වන විට එම අවම ප්‍රතිචාරය පවා අතුරුදහන් වී ඇත. පසුගිය වසරේ ජූනි මාසයේ ඇති වූ ගැටුම්වලදී හෝ වත්මන් උත්සන්න වීමේදී ජාත්‍යන්තර ආයතනවල අනුමැතිය ලබා ගැනීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැත. වොෂින්ටනයේ විවාදය දැන් අභ්‍යන්තරයට යොමු වී ඇත. කොන්ග්‍රස් අනුමැතියකින් තොරව යුද්ධයක් ආරම්භ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බව විවේචකයෝ තර්ක කරති. නමුත් මෙය ඇමරිකාවේ අභ්‍යන්තර ආරවුලකි. බාහිර නීත්‍යානුකූලභාවය (External legitimacy) තවදුරටත් අදාළ කරුණක් ලෙස නොසැලකේ.

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියම උඩුයටිකුරු වී ඇත. පසුගිය වසරේ ජූනි මාසයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ දින 12 ක යුද්ධයට සහ වත්මන් ආක්‍රමණයට පෙර දැඩි සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. මෙම සාකච්ඡා හුදු රංගනයන් පමණක් නොවීය. න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳීම පිළිබඳ බර  යෝජනා එහිදී සාකච්ඡා විය. එහෙත් අවස්ථා දෙකේදීම, සාකච්ඡා නිල වශයෙන් බිඳ වැටීමකින් තොරව සෘජුවම මිලිටරි ක්‍රියාමාර්ග දක්වා ගලා ගියේය.

ඊශ්‍රායලයේ පාර්ශවයෙන් ගත් කල, මෙම ප්‍රවේශය අවම වශයෙන් ස්ථාවරය. ඉරාන පාලනය විනාශ කිරීමේ අරමුණ ඊශ්‍රායල නායකයන් කිසිදා සඟවා නැති අතර රාජ්‍ය තාන්ත්‍රිකභාවය පලක් නැති දෙයක් ලෙස ඔවුන් විවෘතව ප්‍රතික්ෂේප කර ඇත. ඊට වෙනස්ව, ඇමරිකාව මෙම සංවාද භාවිතා කළේ ඉතා කූට ලෙසය. එනම් සම්මුතියකට මාවතක් ලෙස නොව, ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර ඉරානයේ අවධානය වෙනතකට යොමු කිරීමේ උපක්‍රමයක් ලෙසය.

දැනට ඇමරිකාව සමඟ සාකච්ඡා කරන රටවල් මෙයින් උකහා ගන්නා පාඩම් මොනවාද? එය පැහැදිලිය. ඔබට මෙම ක්‍රියාවලිය විශ්වාස කළ නොහැක. ඔබට විශ්වාසය තැබිය හැක්කේ ඔබ සහ ඔබේම ශක්තිය මත පමණි. අවම වශයෙන්, ඔබේ ප්‍රතිවාදියාට නොසලකා හැරිය නොහැකි ආකාරයේ බලපෑම් සහගත බලයක් (leverage) ඔබ සතු විය යුතුය. ඉන් ඔබ්බට ගිය විට, තර්කනය වඩාත් අඳුරු වේ.

මුඅම්මර් ගඩාෆි ඝාතනයෙන් පසු ප්‍රථම වතාවට ස්වෛරී රාජ්‍යයක නායකයෙකු ඉලක්කගත ප්‍රහාරයකින් ඉවත් කර ඇත. එපමණක් නොව, මෙය සාමයට දායක වූ ධනාත්මක ජයග්‍රහණයක් ලෙස ප්‍රසිද්ධියේ ඉදිරිපත් කර ඇත. අලි කමේනි යනු එක්සත් ජාතීන්ගේ සාමාජික රටක නීත්‍යානුකූල නායකයා වූ අතර, මුළු ජාත්‍යන්තර ප්‍රජාවම පාහේ ඔහුව පිළිගෙන තිබූ අතර ඔහු ජාත්‍යන්තර සබඳතාවල පූර්ණ ලෙස නිරතව සිටියේය. ප්‍රහාරය සංවිධානය කළ පාර්ශවයන් සමඟම පැවති සාකච්ඡා ද ඊට ඇතුළත් වූ අතර, එම සාකච්ඡා බලය භාවිතා කරන මොහොත දක්වාම පැවතිණි.

ත්‍රස්තවාදීන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් භාවිතා කරන ආකෘතියම අනුගමනය කරමින්, වෙනත් රාජ්‍යයක හමුදාවක් විසින් රාජ්‍ය නායකයෙකු හිතාමතාම ඝාතනය කිරීම ලෝක දේශපාලනයේ නව අදියරක් සනිටුහන් කරයි. පෙර පැවති පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ (regime change) අවස්ථා සමඟ මෙහි ඇති වෙනස කැපී පෙනේ. ගඩාෆි මිය ගියේ අභ්‍යන්තර බිඳවැටීමක් මධ්‍යයේ ලිබියානුවන් අතිනි. සදාම් හුසේන් මරා දැමුවේ ඉරාක අධිකරණයක් මගින් පවත්වන ලද නඩු විභාගයකින් පසුවය. ඉරානයේ තත්ත්වය වෙනස් ය. මෙය හිස්බුල්ලා සහ හමාස් නායකයින්ට එරෙහිව ඊශ්‍රායලය භාවිතා කළ ක්‍රමයම අනුගමනය කිරීමක් වන අතර, වොෂින්ටනය එය පූර්ණ ලෙස අනුමත කර ඇත.

බිඳ දමමින් පවතින්නේ පෙර යුගවලින් උරුම වූ අවසන් සීමාවන්ය. රාජ්‍යයක නීත්‍යානුකූලභාවය තවදුරටත් නිල පිළිගැනීම හෝ නෛතික තත්ත්වය මත නොව, අවස්ථාව සහ පුද්ගල රුචිකත්වය මත පදනම් වේ. ජාත්‍යන්තර සබඳතා දැන් 'රුසියානු රුලට්' ක්‍රීඩාවකට සමාන වීමට පටන් ගෙන ඇත. අතීතයේදී ද සම්මතයන් උල්ලංඝනය විය, සදාචාරය විවිධ සංස්කෘතීන් තුළ විවිධ ලෙස අර්ථකථනය විය. නමුත් යම් රාමුවක් තිබුණි. දැන් එම රාමු ඉවත දමමින් පවතී.

මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදු වූවක් බැවින්, බොහෝ දේශපාලන ප්‍රභූන් මෙම සිදුවීම් හුදෙක් භූ-දේශපාලනික එදිරිවාදිකම්වල තවත් එක් තියුණු අවස්ථාවක් ලෙස සලකති. ඔවුන් වැරදිය. ඇමරිකාවේ ප්‍රතිවාදීන්ට මෙයින් එළඹිය හැකි නිගමන මග හැරිය නොහැක:

පළමුවැන්න, වොෂින්ටනය සමඟ සාකච්ඡා කිරීම පලක් නැති දෙයකි. ඉතිරිව ඇති එකම විකල්පය වන්නේ යටත් වීම හෝ බලය මත පදනම් වූ ප්‍රතිඵලයකට සූදානම් වීමයි.

දෙවැන්න, පසුබැසීමට තැනක් හෝ අහිමි වීමට කිසිවක් ඉතිරිව නැති බවට හැඟීමක් වර්ධනය වීමයි. එවැනි තත්ත්වයකදී, වචනාර්ථයෙන් හෝ රූපක වශයෙන් 'අවසාන බොත්තම' (red button - න්‍යෂ්ටික අවි) එබීම ඇතුළු ඕනෑම තර්කයක් නීත්‍යානුකූල වේ.

ඉරානයේ සිදුවීම් දිගහැරෙන ආකාරය කුමක් වුවත් මෙම නිගමන එලෙසම පවතී. වෙනිසියුලාවේ මෙන් බාහිර පාර්ශවයන් තෘප්තිමත් කිරීම සඳහා තිරය පිටුපස බල හුවමාරුවක් සිදු වුවද, සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කළ නොහැක. බලහත්කාරයෙන් ආණ්ඩු වෙනස් කිරීමේ යාන්ත්‍රණය ප්‍රදර්ශනය කර ඇති අතර, එය 2000 දශකයේ පැවති ‘වර්ණ විප්ලවවලට’ (color revolutions) වඩා බෙහෙවින් කෲර ය. ඒ සඳහා වන ප්‍රතිරෝධය දැඩි වනු මිස ලිහිල් නොවනු ඇත. ඇතැම් අවස්ථාවලදී මෙහි ප්‍රතිවිපාක විනාශකාරී විය හැක.

මෙහි පුළුල් කලාපීය මානයක් ද ඇත. 2003 ඉරාක ආක්‍රමණය තවමත් ප්‍රධාන යොමු ලක්ෂ්‍යය ලෙස පවතී. එම යුද්ධය පශ්චාත් යුධ මැදපෙරදිග පර්යාය බිඳ දැමීය. සදාම් හුසේන්ගේ හමුදාව ඉක්මනින් පරාජය කිරීම වොෂින්ටනය තුළ උද්දාමයක් ඇති කළ අතර ඇමරිකානු අභිමතය පරිදි කලාපය ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇති කළේය. නමුත් සිදු වූයේ එහි අනෙක් පැත්තයි. පාලනය දුර්වල විය, අනපේක්ෂිත බලවේග බලයට පත් විය, අස්ථාවරත්වය පැතිර ගියේය. උත්ප්‍රාසාත්මක කරුණ නම්, කලාපීය බලවතෙකු ලෙස ඉරානය නැගී සිටීම ද ඉරාකය විනාශ කිරීමේ ප්‍රතිඵලයක් වීමයි.

දැන් මිලිටරි බලය මගින් ඉරානය වෙනස් කළහොත්, කලාපය නැවතත් නව සහ අනපේක්ෂිත අදියරකට පිවිසෙනු ඇත. මැදපෙරදිග පිළිබඳ ට්‍රම්ප්ගේ දැක්ම සරල ය. ඊශ්‍රායලය ප්‍රමුඛතම මිලිටරි බලවතා විය යුතු අතර, ගල්ෆ් රාජ්‍යයන් සමඟ ආර්ථික ඒකාබද්ධතාවය ඇමරිකාවේ අවශ්‍යතා වෙනුවෙන් ගැඹුරු කළ යුතුය. ඉරානය මෙයට බාධාවකි – එය අසල්වැසියන්ගේ බියට හේතුවක් මෙන්ම තමන්ගේම අවශ්‍යතා සහ සබඳතා සහිත ස්වෛරී රාජ්‍යයකි. එය ඉවත් කළහොත් හෝ අකර්මණ්‍ය කළහොත්, මෙම මිලිටරි-වාණිජ ව්‍යුහය සාර්ථක වනු ඇතැයි පෙනේ.

නමුත් ඉරාකය අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ඉරානය මැදපෙරදිග දේශපාලන, සංස්කෘතික හා ඓතිහාසික පදනමට කෙතරම් බද්ධ වී ඇත්ද යත්, එවැනි කිසිදු සැලසුමක් සුමටව ක්‍රියාත්මක විය නොහැක. වාර්තා වන පරිදි, ප්‍රහාරයට අවසර දීමට පෙර ට්‍රම්ප් දෙගිඩියාවෙන් පසු විය. විශාල වාසි පිළිබඳ පොරොන්දු මගින් ඔහුව පොළඹවන ලදී: ගල්ෆ් කලාපයේ පාලනය, කොකේසස් සිට මධ්‍යම ආසියාව දක්වා විහිදෙන ප්‍රදේශ කෙරෙහි බලපෑම සහ ඔහුගේ ලෝක දැක්මට අනුකූල නව වාණිජ අවස්ථා එම පොරොන්දු අතර විය. කඩදාසි මත මෙම තර්කනය ආකර්ශනීය වුවත්, ප්‍රායෝගිකව මෙවැනි ව්‍යාපෘති සැලසුම් කළ පරිදිම සිදු වන්නේ කලාතුරකිනි.

අවසාන නිගමනය අලුත් දෙයක් නොවේ. ගෝලීය දේශපාලනයේ කේන්ද්‍රය බවට බලහත්කාරය සහ අමු හමුදා බලය පත්වෙමින් තිබේ. අනෙක් සියල්ල ද්විතීයික ය. සදාචාරාත්මක හෝ මතවාදී සාධාරණීකරණයක මවාපෑම පවා දැන් අවශ්‍ය නොවේ. රාජ්‍යයන් මෙම යථාර්ථයට ප්‍රතිචාර දක්වන ආකාරය ඔවුන්ගේ තේරීමකි. නමුත් එවැනි යථාර්ථයක් නොමැති බව ඇඟවීම තවදුරටත් විකල්පයක් නොවේ.

මෙම ලිපිය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ Rossiyskaya Gazeta පුවත්පත මගිනි.



3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හැමෝම මේවා අර්ථකතනය කරන්නෙ තමන්ගෙ පැත්තෙන් බලල. ගේම් එකේ කාසියෙ වාසිය ලැබුනෙ පුටියට. තෙල් ටික වික්කෑකි. ඉරානෙට මිලිටරි ඉන්ටෙලිජන්ස් සපයලා, ඇමරිකන් යුධ බලය සහ ප්‍රසාදය දෙකම මොට කරනවා.

    මට හිතෙන්නෙ, ලෝක තීරණාත්මක සන්ධිස්ථානය වුනේ ට්‍රම්පුවගෙ දෙවන පත්වීම සහ ඇමරිකන් විරුද්ධ පක්සෙ ඔතෑනි කම. ඉරානය, "කොලැටරල් ඩැමේජ" එකක් විතරයි.

    සුප්‍රීම් ලීඩ්ර් අයතුල්ලා ඩොමේනිගේ දෑත් සවිමත් කරමු

    ReplyDelete
  3. බලය තියෙන ඇත්තන්ගේ වාසියට
    කරන- කෙරෙන දේ සිදු වෙයි අදත් හෙට
    තෝරු මෝරු හැප්පෙනකොට එක දිගට
    මොනවා වෙයිද මිහිකත් අම්මේ ඔබට?

    ReplyDelete

ප්‍රතිචාරයට ස්තූතියි

ඉරාන යුද්ධය තීරණාත්මක සන්ධිස්ථානයකි. ඒ ඇයිද ?

  ජාත්‍යන්තර සබඳතා 'රුසියානු රුලට්' (Russian roulette) ක්‍රීඩාවේ යුගයකට අවතීර්ණ වෙයි. -ෆියෝඩර් ලුකියානොව් විසිනි. (ෆියෝඩර් ලුකියානොව...