"ලිලිත්ලා" අපූර්වත්වය සමග ... ගයනිගේ ආත්මීය භාෂණය


 "එවිට අපට මහා ලොකු දේවල් පෙනෙන්නේම නැත. මහා විශාලයට පෙනෙන්නේ ඉතාම කුඩා දේවල්ය" දැන් ඉතින් ඉතිරි හරිය ඔබට කියන්නට මට ලොකු වෙහෙසක් ගන්නට සිදු නොවේ. මා කියන්නේ, මා එදා කුඩා මිනිසකු බවට පත් වූවාට පසු කතාවය. (මිනිසා යනු ජෙන්ඩ බේස්ඩ් වචනයක් ලෙස නොගෙන ගැහැණු පිරිමි කාටත් කියන පොදු නාමය ලෙස සැලකුව මනාය) මෙසේ වැඩුණු මිනිසෙක්ව හිඳ හදිසියේ කුරා කූඹියෙකු තරම් කුඩා වන්නටත්, ආපිට පෙර තරමට විශාල වන්නටත් බලපාන හේතු එක් එක් මිනිසාට වෙන වෙනස්ය.' හෙන වෙනස්' පවා ය. එබැවින් හේතු පැහැදිලි නොකරමි. වඩා වැදගත් වෙනුවෙන් එසේ කුඩා වෙමින් විශාල වෙමින් මේ යන ගමනේදී අපට හමුවන අප දැන කියාගන්නා දෑ ගැන වඩාත් සවිඥානික වීමය"

මේ " ලිලිත්ලාහි " ,"ක්ෂුද්ර " තුළ කුරා කුහුඹුවකු හරහා ගයනි අපට අප අභිමුඛ කරන ආකාරයයි. මිනිස් පැවැත්මේ එක් එක් නිමේෂයන්හි විවිධ වාස්තවික හේතු සාධක පදනම්ව ක්ෂුද්රත්වය හෝ විසල් බව නීර්ණය කෙරේ.
අපගේ අභ්යන්තර ප්රතික්රියාවන් සදහා බාහිර හේතු පදනම් වේ. ගයනි නිමවන" ක්ෂුද්ර" එය නිරූපණය කරනුයේ දුහුවිල්ලක් හා නාසයක් පමණක් කිඹුහුමක් නිපදවන්නේ නැත.දුහුවිල්ලක් දැකීමට දෑසක්ද ආලෝකයක්ද ආවැසිය. ආලෝකය පරාවර්තනව දෑස් දුහුවිල්ල ස්පර්ශ කිරීමෙන් වන සංඥාව හරහා කිඹුහුම නිර්මාණය වේ ..
ගයනි ගුරුගේ ලිලිත්ලා හරහා ගොඩ නංවන මේ අපූර්ව ආත්ම භාෂණය කියවන්නා තුළ තිගැස්මක්...
ආලෝකාත්මක අභ්යන්තරීය කිදා බැසීමක් සමග ස්වයං ගවේෂණයක් සදහා පොළඹවනු ලබයි.
"ලිලිත්ලා" අපූර්ව නිදහස්කාමී නිර්මාණ සංවාදයකි. සිය කථනය විකාශනය සදහා ගයනි භාෂාත්මක සම්ප්රදායන් අතික්රමණය කරමින් ඇයටම ආවේණික නව බසක් අත් හදා බලයි . කියවන්නා ඒ බස තුළ විටෙක නිරායාසයෙන් හා විටෙක ආයාසයෙන් කථනය හා බද්ධ වෙමින් ඛණ්ඩනය වෙමින් මග සොයමින් මං මුලාවෙමින් නිර්මාණය වින්දන අභ්යාසයක නිරත වීමට ගයනි භාෂාත්මක අවකාශයක් විවර කරයි.
ගයනිගේ භාෂාව මෙන්ම ඇය ගොඩනංවන කතිකාවද ගැඹුරු සංවාදයකි. අප අත් විදින ඵලයන්හි හේතු සෙවීම අසීරු කර්තව්යයකි.හේතු සොයමින් අප සැම ඉබා ගාතේ යන්නෝ වෙමු.නිසි ප්රවේශයන් හදුනා ගැනීමට නම් අප සමාජය තුළ සැරිසැරිය යුතුය. සැලැස්මකට අනුව සමාජීය ඥානනය ලැබගත නොහැක. අහඹුු සැරිසැරීමකින් අපට එය අභිමුඛ වනු ඇත.
අනුභූතීන් අටක් ඔස්සේ "ලිලිත්ලා" ලාංකික සාහිත්ය තුළ පශ්චාත් නූතනවාදී ස්ත්රීමය සලකුණක් තබනුයේ අපූර්ව නිර්මාණාත්මක කතිකාවකට ඉඩ හසර සලසමිනි.
" ඉතින්,මේ ඒ පූසාය" අපගේ ජීවිතයෙහි නිරන්තරයෙන් දැවටෙන පූසා මවිල් ගහෙන් ගහට අලුතින් උපද්දවමින් පූසාගේ හැඩය,හැසිරීම,ශබ්ද විලාසය,සුරතලය සහ බොහෝ සියුම් දෑ නව්ය ආකාරයකින් විදහාලමින් ගයනි පඨකයාට වෙනස් හා අලුත් පූසකු මුණ ගස්වයි. ඇය ගැහැනියගේ සිත පූසාගේ සිතට ආසන්නව සංකේතවත් කරමින් එක අතගෑවිල්ලකින් සියලු වේදනා දරා සිටින්නියන් දෙස සෝපාහාසාත්මක බැල්ලමක් හෙලයි.
ගැහැනිය ගේ හැගීම් මනෝභාවයන් වටිනාකම් කියවා නොගන්නා සමාජ සංස්කෘතික දේශපාලනය ගයනි සියුම්ව විදහාලයි. කතා කියවන, ලියන හෝ වෙනත් කාර්යයකට වඩා ගැහැනියකට ගෘහමය සංස්කෘතියෙන් උරුම කරන්නාවූ කාර්යයන් මෙන්ම ආර්ථික දේශපාලන ක්රියාවලිය තුළ ජනතාව මුහුණ දෙන පීඩනය ට එරෙහිව ලේඛිකාවගේ සියුම් උත්ප්රාසාත්මක පෙනී සිටීම පූස් සංවාදය හා මිශ්රව ඇත. ගයනි උඩු පෙළ කථනය තුළ යටි පෙළේ කථනයන් රැසක් නිර්මාණය කරන්නීය.
"රොටි කන්නේ නෑ කියල බෑ ඉතින්. අදට කමු,මං මාගරින් ටිකක් ගාලා දෙන්නං, බත් කන්න බෑ කිට්සි තුන් වේලට. බලන්නකො ,හැම සැරේම වගේ මේ වතාවෙත් වුණේ මෝල් කාරයන්ගේ මිම්මට මැහුම් වාසිය ඇරලා පාරිභෝගිකයගෙ රෙද්ද කපපු එකනෙ"
"ඔයා දන්නවද කිට්සි හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ එකයි ග්රෑම් හයසීයයි යන්නේ. ඒ වී ටික හාල් කිලෝ එකක් කරන ප්රොසෙස් එකට, එතකොට වැඩ කරන මිනිහට ඕන නම් ටිප් එකකුත් දෙන්න තව රුපියල් විස්සක් යයි. ඇත්තටම එච්චර යන්නෙත් නෑ. ඒ සමීකරණයට දාලා හාල් මිල තීරණය කරන්න බැරි ඇයි..."
" මේගොල්ලෝ එක්කෝ අපේ කිරි අත්තලාට වී වලට හරි හමන් ගානක් ගෙවන්න ඕනේ. නැත්නම් අපේ හාල් වල මිල අඩු කරන්න ඕනේ."
" ඔයා දන්නවද කිට්සි සල්ලි වලට බලයත් යට වෙනවා. සීයා ආවත්, අප්පොච්චි ආවත්, පුතණ්ඩියා ආවත් ,අයියලා අක්කලා ආවත් මොන ජනාධිපතියාටවත් බෑ හාල් මෝල්කාරයාව නවත්තන්න. හිතන්නකෝ උන්දැ වී සේරම මිලට අරන් එයාගේ ගානට එන කල් හාල් විකුණන්නෙ නැතුව හිටියොත් රටක් බඩගින්නෙ ,හාමතේ.
ඔයාට තේරුණාද.. ඒ නිසා රටේ වගකිව යුතු පුරවැසියෝ හැටියට අපිට වුණත් වගකීමක් තියෙනවා අල බතල තම්බන් කන්න පුරුදු වෙන්න. ඒකයි අද අපි රොටියට බැස්සේ. හෙමිට අල බතල වලට හුරුවෙන්න ඕන. "
"ඉතිං හේ හිත හදාගෙන මාගරින් තැවරූ රොටී කයි."
ධනේශ්වර ආර්ථික දේශපාලන සූරා කෑම අභියස එය ඉවසා දරාගෙන එයට අනුගතව දුක්ඛිත ජීවිතයකට අනුගතව සිටින පීඩිත පංතියේ චර්යාත්මක පිළිඹිබුවක අංශු මාත්රයක් හා ගැහැනිය හුදකලා පීඩනයක සිරගත කරලන සංස්කෘතික ගොඩ නැංවීම මෙන්ම එයට අනුගතව ආත්මීය පීඩනයක ගිලී සිටින ස්ත්රීත්වය සියුම් ලෙස ප්රශ්න කරන්නටද ගයනි "ඉතින් ඒ පූසාය" නිර්මාණාත්මක අවකාශයක් කර ගනී.
"ලිලිත්ලා "නිර්මාණය අපූර්ව ප්රහසනාත්මක සංවාදයක් වන අතර ගයනි සවිඥානිකව හෝ අවිඥානිකව ඒ හරහා සියුම් දාර්ශනික පසුතලයක්ද ගොඩ නංවා ඇත.ක්රිස්තියානි ආගමෙහි සදහන් ස්ත්රී පුරුෂ උත්පත්ති කතාව හා ලාංකික දේශපාලන ඉතිහාසයේ ගැහැනිය පිළිබද නිරූපිත සාවද්ය පුරාවෘත්තමය ප්රතිරූපයට එරෙහිව නව කතිකාවක් ගොඩ නංවන "ලිලිත්ලා" සමාජ දේශපාලනය මතවාද ආකල්ප මෙන්ම මාධ්ය දේශපාලන ක්රියාවලියද සෝපාහාසාත්මකව තියුණු ඓතිහාසික අභියෝගයකට ලක් කරයි.
"ලිලිත්ලා" තුළ භාෂාව...දේශපාලනිකය..ඓතිහාසික පුරාවෘත, හැඟවුම්කරණයන් සංජානනයන් සියල්ල පුපුරවා හරින්නට ගයනි මේ තුළ වෑයම් කරනුයේ නව හැගවුම්කරණයන්,රූපකථාර්ථයන් සහ සිතා බැලීමේ නිමේෂයන් උත්පාදනය කරමිනි.
ලිලිත්ලා හා කුවේණිය ඓතිහාසිකව අසාධාරණයට ලක් වූ තමන්ගේ ස්ත්රීත්වයේ අයිතීන් අහිමි කරන ලද සමාජ කියවීම් තුළ මිත්යාකරණයට ගොදුරු වූ අපරදිග හා පෙරදිග චරිත දෙකකි.
ලිලිත්ලා ගැහැනියක් ලෙස පිළි ගැනීමට අසමත් සමාජයක් ඉදිරියේ තමා වග උත්තර බදින්නේ මන්දැයි ලිලිත්ලා කුවේණිගෙන් විමසයි.
මෙහිදී ඉතාම සියුම් ලෙස ගැහැනියට එරෙහි සංස්කෘතික ගොඩ නැංවීම් පවත්වාගෙන යාමට සමාජගත කිරීමට ගැහැනියව භාවිතා කරන සමාජ දේශපාලන භාවිතාවද ගම්ය වේ.
ගැහැනියට වඩා පුරුෂත්වය වටිනාකම් ආරෝපණය කරන සමාජ ආර්ථික දෘෂ්ටිය ගයනි සුණු විසුණු කරන්නේ බෙහෙවින් හාස්යෝත්පාදක රූපකාර්ථයක් හරහාය.
"මං ඒ නංගිලා එක්ක ඒ ගොල්ලො හදපු කූඩු බලන්න ගියා. හරි ලස්සනයි, පිළිවෙලයි. බිත්තර දාන්නේ වෙනම කේජ් එකක් හදලා. කිකිළියන්ට නිදියන්න කරන්න වෙනම තැනක්. බිත්තරේ කහ මදයට වැඩිපුර පාට වට්ටන්න ඕන නිසා වවපු පොඩි තණ තිල්ලක්. හරිම ලස්සනයි. එතන ඒ අතර හතර වටේ කුකුළු දැල් ගහලා වට කරපු ටිකක් සැප කේජ් එකක් තිබුණා. මං ඇහුවා ඒක ලෙඩ වෙච්ච කිකිළියන්ව දාන්නද කියලා. අනේ නෑ, ඒ කුකුලන්ට ලු .වැඩි පරිස්සම උන් ගණන් වැඩි නිසා. කිකිළි පැටියෙක් රුපියල් තුන්සිය පනහයි,කුකුළු පැටියෙක් හත්සිය පනහක්. කිකිළියො දාහකට කුකුළු පැටව් හැත්ත පහක්! හිතන්න, කුකුළා හිටිය නැතා කිකිළි බිත්තරේ දාන රටක ඒ කුකුළට එච්චර ගාණක්. ඒ සියලු සැපත් සමඟ දැක්කනේ කුකුළට තියෙන තැන!"
සමස්ත ලෝක ආර්ථික නිෂ්පාදිතයෙන් ගැහැනියට හිමිවන්නේ අඩු ප්රතිශතයකි.ලොව පුරා ස්ත්රීන් හා ගැහැනු ළමුන් අඩු වේතනයට ශ්රමය වගුරන අතර ඒ සදහා නිසි මිලක් ගෙවන්නේ නම් ගෝලීය ආදායමෙන් 10%-40%පමණ ප්රතිශතයක් වෙන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ කාන්තා කමිටුව හා ජාත්යන්තර කම්කරු සංවිධාන දත්ත හෙළි කරයි.
ගයනි ගුරුගේ මේ කුකුළා සහ කිකිළිය සංකේතවත් කරමින් වර්තමානය දක්වා ගෝලීය දේශපාලනය හා ආර්ථිකය තුළ ඓතිහාසික වශයෙන් අඛණ්ඩව බලපවත්වාගෙන එන ස්ත්රී පුරුෂ අසමානතාවය හා එයට පදනම් වන මතවාදීමය සංස්කෘතික පදනම් ලිලිත්මා හරහා නිරූපණය කරනු ලබන්නේ පාඨක මනස් පුලුල් සිතීමේ සංදර්භයකට රැගෙන යමිනි.
එසේම ස්ත්රීත්වයේ ලිංගිකාශාවේ යථා ස්වරූපය දෙස මානුෂිය දෘෂ්ටියක් හෙලන්නටද ලිලිත්ලා අමතක නොකරයි.
"අවකාශගත වීමි"..ද ගයනිගේ අපූර්ව පරිකල්පනය මනාව විදහා ලන නිර්මාණයක් මෙන්ම මානව අභ්යන්තරික හුදකලාව ආත්මීය භාෂණයක් කරමින් මුදා හරින නිර්මාණාත්මක වෑයමක් සේ හැදින්විය හැකිය.
ස්වයං අවදි වීමක් හරහා යථාව ස්පර්ශ කරමින් සවිඥානකත්වයට පත්වීමේ අපූර්ව අභ්යාසයකට කතුවරිය "ආකාශගත වීමි" හරහා පාඨක මනස රැගෙන යයි.
අවසානයේ, අපි අපේම ආත්මීය ගවේෂණයෙන් අපේ ආත්මීය ආශාවෙන් වෙන් වන්නෙමු. අප අපේ සැබෑව අතැර සමාජ කඩතුරාවක පැවැත්ම අතුරා ගන්නෙමු.
"ටිකක් ඉන්න !එතන ඉබ්බෙකි, මා මෙතනය! අනේ ,ඒ හුරතල් ඉබ්බා එතනය.
"භීතිකා" භාෂාව රිද්මීය හා හාස්යජනක අයුරින් හසුරුවමින් ජීවිතයේ පැවැත්ම හා නැවැත්ම අතර අපගේ අනේක විද නිසරු ගලායෑම් ,හමුවීම්, තිගැස්මන් ,විදීම් සිතුවම් කරයි.
"කවුරු කටට ආවට ආදරෙයි කියලම ඒ වචනේ බල්ලට ගිහින් තියෙන්නෙ කියලා ඔයාට තේරෙන්නේ නැත්තේ ඇයි? මං ඔයාට ආදරේ නැත්තේ ඒකයි. ඔයා මං වෙනුවෙන් කරන තරමක් දේවල් නිසා මට ඔයා ගැන තියෙන්නේ ගෞරවනීය හැඟීමක්, ලොකු පැහැදීමක් ,ලොකු කැමැත්තක්,. ඒකට ආදරේ කියලා කියන්න මට බෑ."
" මම විලි ලැජ්ජාවේ ආපිට දූවිලි කුණාටුවට මුහුණ පෑවෙමි. ඔය හැටි මොකක්ද තියෙන උද්ධච්ජ කම අප්පා! ඇයි ඉතින් ඒකට ආදරේ කියලා කියන්න බැරි? යි මට සිතේ."
අපි ඇවැසි විට ඇවැසි පරිදි විවිධ භාෂාත්මක සංඥා ගොඩනංවමු.එය පසුව පොදු සංකේතයක් හා සංවාදයක් මෙන්ම විශ්වාසයක් පිළිගැනීමක් බවටද පත්වේ..
"භීතිකා " යෙහෙළියන් සිව් දෙනෙකු කේන්ද්ර කර ගනිමින් අභ්යන්තරිකව තමා තුළ ගිලී ඇති භීතිකාවන් හි විවිධ ස්වරූපයන් එකිනෙකා සමග හුවමාරු කර ගනිමින් හාස්යෝත්පාදක ලෙසින් එළි දක්වයි.
මෙහිදී එක් යෙහෙළියක් අන් අය සමග එක්ව රූපවාහිනිය නැරඹීමට බිය වනුයේ එහි කාන්තා සනීපාරක්ෂක තුවා පිළිබද වෙළද දැන්වීම් ප්රචාරණය පවුලේ අය සමග නැරඹීමට ඇති භීතිය කරණකොටගෙනය. තවත් යෙහෙළියකට පාරේ අයිනෙන් ඇවිද ගන්න භීතිකාවක් ඇත්තේ පාර පැත්තෙන් යන කෙනාව අල්ලා වාහනයට යන විට පාරට තල්ලු කරන්නට වේය යන බිය නිසාවෙනි.
මිනිස් සිතීම්හි ගැඹුරු ගූඪ මනෝභාවයන් සියුම්ව ගවේෂණය කරමින් පුද්ගල අභ්යන්තරික මුල් බැස ගත් භීතිකාවන් හි සිතුවමක් අපූර්ව අනුභූතියක් ඔස්සේ ගයනි චිත්රණය කරන්නීය.
ගයනිගේ "භීතිකා" සමග ආත්මීය සංවාදයක සැරිසරද්දී මා මුහුණ දුන් එවන් භීතිකාමය අනුභූතීන් කිහිපයක් ස්මරණය විය.
දැනට කලකට ඉහත නිර්මාණාත්මක කටයුත්තක් සදහා විදෙස් සංචාරයක නිරතව සිටියදී මැදියම් රාත්රියේ මා මුත්රා කිරීමට නාන කාමරයට ගොස් සිටියදී මා සමග කුටියේ සිටි යෙහෙළිය "හොරු ඇවිත්" යනුවෙන් මහ හඩින් කෑගැසුවාය.මම නාන කුටියෙන් වහා පිටතට ඒමට තැත් කළද එය පිටතින් අගුලු ලා තිබූ නිසා මට එළියට ඒමට නොහැකි විය.මා නාන කුටියේ සිටද යෙහෙළිය නිදන කුටියේ සිටද විනාඩි කිහිපයක් අපගේ ආරක්ෂාව උදෙසා මහ හඩින් කෑ ගැසූ අතර නින්දෙන් නැගිට ඇය සිතා ඇත්තේ හොරකු නාන කාමරයට ඇතුල්ව ඇති නිසා අප ආරක්ෂාවීමට දොරගුලු දමා හොරාගෙන් බේරිය යුතු බවය.මා සිතා සිටියේ හොරා නාන කාමරයේ දොර අගුලු ලා කුටිය තුළ සිට යෙහෙළියට අතවර කළ හැකි බවයි.විනාඩි කිහිපයකින් නවතා ගත නොහැකි සිනාවකින් අපේ භීතිය තුනීව ගියේ යෙහෙළිය විසින් අගුලු දැමූ නාන කාමරයේ දොර ඇය විසින්ම විවර කිරීමෙන් අනතුරුවයි.
තවත් වරක් නිර්මාණ කාර්යයකට ගොස් නිදා ගැනීමට සැරසීමේදී මා සමග කුටියේ නවාතැන් ගත් තැනැත්තිය තමාට කිසිවකු ලං වුවහොත් නින්දෙන් පා පහර එල්ල කරන බව කියා සිටියාය. ඇගේ ප්රකාශයෙන් වික්ෂිප්තව නොසන්සුන් වූ මම රැය නොනිදා පහන් කළේ ඇය මට පා පහරක් එල්ල කරතැයි යන සිතුවිල්ල මා නොසන්සුන් කළ නිසාද.. ඇය එසේ කීවේ ඇයගේ මනසෙහි තැන්පත් අවිඥානික භීතියක් ප්රකාශ කිරීමටද...
මා ලද මෙම අනුභූතීන් මෙහි සටහන් කරනුයේ ගයනි ගුරුගේ අප ජීවිතය තුළ අත් විදින හා


ගොඩ නංවා ගත් විවිධ හැගුම්කාරකයන් හරහා අප පෙළන්නාවූ පීඩාකාරී මනෝභාවයන් පිළිබද අප නග්නත්වයට පත් කරවමින් අපූර්ව මානවීය පුළුල් අභ්යන්තරික සංවාද තලයකට "භීතිකා" සමඟ අප අභිමුඛ කරන බව ප්රකාශ කිරීමටය.
පසුව දීර්ඝව සංවාදයට ලක් කරන තෙක් මා මෙහි සංවාදයට ලක් නොකළ "චක්ර", "බුද්ධි මැඩම්" හා විපල්ලාස " ද අපූර්ව අනුභූතින් පාදක කර ගත් නිර්මාණයන් වේ.
යොවුන් සාහිත්ය පරිවර්තිකාවක ලෙස ලාංකික සාහිත්යය කේෂ්ත්රයට එක්ව "පලායමි එන්න එළියට" නවකථාවෙන් හා "වැගබොන්ඩියක් " කාව්ය නිර්මාණයෙන් අපගේ පාඨකයන් අතරට ස්වීය නවමු නිර්මාණ ශෛලියක් හා නිර්මාණාත්මක දෘෂ්ටියක් හදුන්වා දුන් ගයනි ගුරුගේ සහෝදරියගේ "ලිලිත්මා" මායාව හා යථාව අතර දෝලනය වන අපූර්ව නිර්මාණාත්මක සම්භාෂණයකි.ඒ අපූර්ව අනුභූතීන් විදින්නට එක්වන්න ඔබ සැමට ඇරයුම් කරමි.
-----තිලිනා වීරසිංහ-----
---2026 පෙබරවාරි 12----

No comments:

Post a Comment

ප්‍රතිචාරයට ස්තූතියි

"ලිලිත්ලා" අපූර්වත්වය සමග ... ගයනිගේ ආත්මීය භාෂණය

  "එවිට අපට මහා ලොකු දේවල් පෙනෙන්නේම නැත. මහා විශාලයට පෙනෙන්නේ ඉතාම කුඩා දේවල්ය" දැන් ඉතින් ඉතිරි හරිය ඔබට කියන්නට මට ලොකු වෙහෙසක්...