කළු කෙල්ලෙක්ව නැටුම් තරඟයට තෝරගන්න මට ඒ හැටි පිස්සුවක් නෑ තේමිය සර්. ලස්සනට නටන්නත් පුළුවන්,රූපෙනුත් අඩුවක් නැති සමාධිව තෝරගන්නෙ නැතුව හංසමාලිව තෝරගන්නෙ අහවල් එකකටද??ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න තේමිය සර් "
කේතකී තේමියට දොස් තැබුවේ තමන්ගේ කාර්යන් වලදි තේමියවත් වෙන අයෙක් දිහා පාසලේ විදුහල්පතිවරයාවත් ඇඟිලි නොගැසිය යුතු බව හේත්තු ගැන්වෙන පරිදිය.
" හංසමාලිගේ රූපේ මොන අඩුවක්ද? මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කනේ ඒ දරුවා අනිත් අයට වඩා ලස්සනට නටනවා.දක්ශතාවය තියෙන ලමයෙක්ට තැන නොදී පෞද්ගලික හිතවත්කම් නිසා සමාධිව තරගෙට දාලා මිස් ඇඟ බේරගන්න නේද හදන්නෙ?"
තේමිය උපහාසයට මෙන් කේතකීට කීවේ කට කොනින් සිනාසෙමිනි.
" හැම පාරම මන් මේ ඉස්කෝලෙන් ලමයින්ව සමස්ත ලංකා වෙනකන්ම අරන් ගිහින් තියෙනවා. එහෙව් එකේ මගේ තෝරාගැනීමේ වරදක් වෙන්නෙ නෑ කිසිම දවසක.නැටුමේ ලාලිත්ය උනත් වැඩි වෙන්නෙ ලස්සන කෙනෙක් නටද්දි , මන් මේ කිසිම ලමයෙක්ව පහත් කරලා කතා කරනවා නෙවෙයි තේමිය සර්! මේ සබ්ජෙක්ට් එක ඔයාට අදාල නැති නිසා ඔයාට මේ දේවල් තේරෙන්නෙ නෑ "
නැවතත් කේතකී කතාව පටන්ගත්තාය.කේතකීගේ පුරාජේරුවේ නම් අඩුවක් නැත.ඇය සියලු සත්වයෝට එක සේ සැලකිය යුතු බැව් පැවසුවත් ක්රියාවෙන් එය ඔප්පු නොකෙරුවේය.
" විද්යාවයි නර්තනයයි අතරේ ලොකු වෙනසක් තියෙනවා තමයි කේතකී මිස්. ඒත් අහලා තියෙනවද ඩාවින්චි ගැන? චිත්ර ශිල්පියෙක් වගේම විද්යාඥයෙක් විදිහට මිනිස්සු එයාව හඳුනගත්තා,ඒ අතීතයේ. වර්තමානයේ මිනිස්සු එක ක්ශේත්රයකට අවදානය යොමුකරාම අනිත් පැත්ත ගැන හොයන්නෙ නෑ.ඒකෙන් වෙන්නෙ මිනිස්සුන්ගේ දක්ශතා ටිකෙන් ටික ක්ශය වෙන එක..."
තේමිය දාර්ශනිකයෙන් මෙන් කතා කරනවිට කේතකී නළල රැළි ගන්වා ගනිමින් තේමිය දෙස බලා සිටියාය.ඔහු යන්නෙ කොහෙද මල්ලෙ පොල් මෙන් අදාලත්වයක් නැතිව කියවන බැවිනි.
" මට ඔය දර්ශනය අනම් මනම් තේරෙන්නෙ නා තේමිය සර්,ඒක මගේ සබ්ජෙක්ට් එක නෙවෙයිනේ."
" එහෙම නම් කේතකී මිස් තමන්ගේ සබ්ජෙක්ට් එක හරියට කරන්න එපැයි."
නැවතත් තේමියගේ මුවේ උපහාසාත්මක සිනහවක් රැඳෙනු දුටු කේතකී තේමියව ගොළු කරනු වස් යමක් කියන්නට විය.
"" නර්තනය කියන එක සමාධිගේ ලේවලම තියෙනවා. සීයලා මුත්තලා පරම්පරාවේ ඉඳන් සාම්ප්රදායික නැට්ටුක්කාරයොලු.ඒ නිසා සමාධි එක්ක ඔය හංසමාලි කියන දරුවට හැරෙන්නවත් බැරිවෙයි. මන් යනවා තේමිය සර්!"
කේතකී එසේ කතාවට අලගු තබමින් ගුරු විවේකාගාරයේ සිට නැටුම් කාමරය දෙසට පිය මනින්නට විය.
" සම්ප්රදායට බම්බු ගහන්න කියපන් මිස් කේතකී"
තේමියට එසේ කියන්නට සිත්වුණද එසේ නොකියා තමන්ට විතරක් ඇසෙන සේ මුමුණාගත්තාය.
කේතකී සමාධි ඇතුලුව සිසුන් කිහිපදෙනෙකු කිහිපවතාවක් තරඟවලට රැගෙන ගොස් තිබේ. හැමවරම එක් සිසුවියක හෝ සමස්ථ ලංකා තරගවලට පිවිසීමට වරම් ලැබ ගත්තද ඉන් ජයග්රහණය කරන්නට නොහැකි විය.මෙවරද අට වසරේ ඉගෙනුම ලබන සමාධි ඇතුලු නොයෙක් පන්තිවල සිසුන් තරඟවලට පුරුදු පුහුණු කරනුයේ ඔහුන්ට විවේකයක්වත් නොදී අනුකම්පා විරහිතව හැසිරෙමිනි. එක්තරා දිනක නැටුම් කාමරය අසලින් යනවිට අට ශ්රේණියේ දරු දැරියන් නර්තනයේ යෙදෙන අයුරු මද වෙලාවක් බලා සිටියාය.එහි හංසමාලි දක්ශ ලෙස නර්තනයේ යෙදෙනු දුටුවාය.
තරඟා සඳහා තෝරාගැනීම් වලින් අනතුරුව සෑම කාලච්ජේදයකම සමාධි නැටුම් කාමරයේ සිටීම තේමියගේ විශ්මයට කරුණකී.දක්ශතම දරුවා පන්තිකාමරයේ සිටින විට වෙනත් අයෙකු තරඟා සඳහා යැවීමට වෙහෙසවන කේතකී ඔල්මාදයකින් පෙලේදැයි කෙලින්ම විමසීමට තේමියට සිත්වුනද ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු බලා සිටියේය.කේතකී සහ තේමිය අතර සංවාදය ඇරඹුනේ ඉන් පසුවයි.
විද්යා කාලච්ඡේදය ඇරඹුනු විට තේමිය අට ශ්රේණිය පන්ති කාමරය දෙසට පියනගන්නට විය. දරුවන්ගේ කෑ කෝ ගැසීම් වල එදා මෙන්ම අදත් අඩුවක් නැතැයි තේමියට සිතුනි. නමුත්,
" අපි පොඩි කාලේ කරපු දාංගලේ හැටියට මේ මදි "
යැයි තේමියට සිතුනි. ඔහු එනු දුටු දරු දැරියන් මීයාට පිම්බාක් මෙන් නිහඬ විය.ඔහු පන්තිකාමරය සිසාරා නෙත් විහිදුවිය.
" සමාධි නෑ නේද?"
තේමිය කටහඬ අවදි කලේය.
" නෑ සර් එයා නැටුම් පුරුදු වෙන්න ගියා"
එක් දැරියක් කියද්දි තේමිය ඔලුව වනා එදින පාඩම ආරම්භ කලේය..
කේතකී උපරිම ප්රයත්නයක් දරා දරුවන් පුරුදු කරවා නැටුම් තරඟය සඳහා රැගෙන ගියේ,
" මේ සැරේ නම් සමස්ථ ලංකාත් දිනලම තමයි මන් පස්ස බලන්නෙ "
යැයි මහත් උජාරුවෙන් කියමිනි.කලාප තරඟ වලින් කිහිපදෙනෙකු ජයලබා ඇති බව දැනගත් විදුහල්පතිවරයා කේතකීව මුරුංගා අත්තේ තැබුවේ අනෙක් ගුරුවරුන් සමග ගුණ වර්ණනා කරමිනි. එනිසාවෙන්ම කේතකී උනන්දුවෙන් පුරුදු කිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන ගියේ පළාත් තරඟ සඳහා වඩාත් හොඳින් මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි. නමුත් කේතකීගේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් ගියවර සමස්ථ ලංකා තේරීපත්වූ දැරිය හෝ සමාධි සමස්ථ ලංකා තරඟ සඳහා වරම් ලබාගත්තේ නැත .කඩවූ බලාපොරොත්තු සහිතව කේතකී සති ගණනාවක් හිතේ අමාරුවෙන් සිටියත් පසුව ඇය සාමාන්ය පරිදි තම කටයුතු කරගෙන ගියේය .
පාසලේ උත්සව සඳහා නටන සෑම විටකදීම කලු කෙල්ලන් පසු පෙලත් සුදු කෙල්ලන් ඉදිරිපෙළත් සිටින සේ නර්තනාංග සකස් කිරීම සුපුරුදු පරිදි විය .පසුපෙල දැරියන් කොතරම් හොඳට නර්තනයේ යෙදුනත් පසුපෙළ බැවින් එහි සුන්දරත්වය නෙත ගැටුනේ කිහිපදෙනෙකුගේ පමණි.තේමියද ඉන් එක් අයෙකි.
කේතකීගේ වයස හතලිහට ආසන්න වුවද තවමත් හිරිමල් යෞවනයේ සිටින ගැටිස්සියක් මෙනී. පැහැපත් හමක් හිමි ඇයට දුප්පත් දරුවන් කෙරෙහි එතරම් ප්රියතාවයක් නොමැත.
මාස හත අටක් ගතවිය. ඒත් සමඟම කේතකීගේ වෘත්තීය කාල සීමාව අහවර වී වෙනත් පාසලකට මාරුවීමක් ලැබුනි. ඇය පාසලෙන් අස්ව යෑමේ නිමිත්තෙන් පාසල් සිසුන් සහ ගුරුවරු එක්ව උත්සවයක්ද සූදානම් කර තිබුණි.එදින බොහෝ දැරියෝ අඬා වැලපුනේ වැලහින්නියන් මෙනී.
" අලුත් ඉස්කෝලෙකට යන නිසා මිස්ට මගෙන් සුබ පැතුම්"
අනෙක් අයව අනුකරණය කරමින් තේමියද ඇයට සමුදුන්නේ සුබ පතමිනි.
" සර්ට නම් සතුටුයි වගේ "
කේතකී මදක් රවා බලමින් කීවේ නුරුස්නා ස්වරයකිනි.අනෙක් ගුරුවරුන් "අනේ මිස් මට හරිම දුකයි,මිස්ගේ අඩුව පුරවන්න වෙන කාටවත් බෑ,ආයේ අපිව බලන්න එන්න යැයි"
කීවද තේමිය එසේ නොකීම කේතකීගේ සිත් තැවුලටත් කෝපයටත් හේතුවිය.
" එහෙම විශේෂයෙන් සතුටක් නෑ මිස් .හමුවුනොත් අනිවාර්යයෙන් සමු දෙන්නම වෙනවා ඒකයි ලෝක ධර්මතාව.කොහොමත් අලුතෙන් නැටුම් වලට ගුරුවරයෙක් එනවා නේ ඒ නිසා සතුටුයි"
" සර්ගෙ සබ්ජෙක්ට් එක සයන්ස්ද නැත්තන් බුද්ධ ධර්මයද?? මන් නම් කියන්නෙ සර් ඔය දෙකම නැතුව නැටුම් ඉගැන්නුවනම් හරි. සර් කොහොමත් මන් ලමයින්ව තරඟ වලට අරන් යන එක ගැනයි තෝරගන්න ළමයි ගැනයි ගොඩක් උනන්දුයි නේ "
කේතකී ඇසුවේ තේමිය දෙස බල සිනාසෙමිනි.එය මිත්රශීලී සිනහවක් නම් නොවේ .එය උපහාසාත්මක සිනහවකි. මෙම කතාව තව දුර ගියහොතින් කේතකී යකින්නක් වී තමන්ට බැන වැදීමටද ඉඩ ප්රස්තාව ඇති බැවින් සංවාදයට අලගු තැබුවේය.
" ම්ම්ම් ඒක ගැන කතා කරන එක අත්හැරලා දාමු .අද වගේ දවසක නිකන් බොරුවට හිත් අමනාපකම් ඇති කරගන්න ඕන නෑ කේතකී මිස් ,වැරදි දෙයක් කියවුනා නම් සමාවෙන්න."
" මන් මගේ සබ්ජෙක්ට් එක හරියට කරා තේමිය සර්.මන් නම් හිතන්නෙ නෑ අලුතෙන් එන අයටවත් මෙච්චර කැපකිරීමක් කරන්න පුලුවන් වෙයි කියලා.. මන් ආසම නැත්තෙ මගේ සබ්ජෙක්ට් එක ගැන අබමල් රේණුවක් තරම්වත් අවබෝධයක් නැති අය මට උපදෙස් දෙන්න එනවට"
කේතකී තේමියගේ මුහුණ හරහා යන සේ පහරක් ගැසුවේ තම වචන වලිනි.නමුත් එය තේමිය කිසිත්ම සිතට ගත්තේ නැත.
" කේතකී මිස් අහලා තියෙද කඳුගොඩ ගුරුන්නාන්සේ ගැන"
" ඔව් මොකද නැත්තේ එයා ගොඩක් ප්රසිද්ධයි නේ. එයා තරන් නැට්ටුවෙක් අහල ගම් හතකවත් නෑ කියලයි අපේ අම්මා නම් කියන්නෙ. ඇයි එයා ගැන අහන්නෙ"
කේතකීගේ මුවේ ප්රශ්නාර්තය මුසු බැල්මකි.කේතකීගේ මව කෙල්ල කාලේ කඳුගොඩ ගුරුන්නාන්සේ හැබැහින්ම කිහිපවරක් දැක තිබෙන බවත් ඔහුගේ තේජාන්විත නර්තනයට කාටවත්ම ලංවිය නොහැකි බව ඇය වරක් පවසා ඇති බව කේතකීට සිහිවිය.
" ඒ මගේ සීයා , දවසක ඇවිත් යන්න මිස් අපේ ගෙවල් පැත්තේ "..
තේමිය එසේ පවසා එතැනින් පිටත්ව ගියේ කේතකීව පුදුමයෙනුත් පුදුමයට පත් කරමිනි.
" මේ මනුස්සයා මේ කිව්ව කතාව ඇත්තක්ද ? වෙන්න බෑ"
කේතකී තමාටම කියාගත්තේ වික්ශිප්ත දෑසින් යුතුව ඔහු නොපෙනී යන තෙක්ම බලාසිටිමිනි.
ඔහු මෙම පාසලට විත් අවුරුද්දකට ආසන්න කාලයක් වේ.විසිඅට හැවිරිදි තේමිය ගුප්ත පුද්ගලයෙකු බැවින් වැඩි විස්තර දැනගැනීමට කා හටවත් නොහැකි විය. අවසානයේ පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් කේතකීට දැනගන්නට ලැබුනේ තේමිය කියූ දෙය සත්යක් බවත් ඔහු වෙස් තැබූ නැට්ටුවෙක් බවත්ය.
කේතකී පාසලෙන් ගිය විට නර්තන විශයේ පුරප්පාඩුව පිරවීමට අයෙකු නැති විය.එය මහත් ගැටලුවක් බවට පත්විය.
" කේතකී මිස් නැති පාඩුව තදින්ම දැනෙනවා. ඒ පුරප්පාඩුව පුරවන්න කෙනෙක් එන්න ටික දවසක් යයි.මේ වගේ අති දුශ්කර පළාත්වලට පත්වීම් අරන් එන්න කවුද තමයි ඉතින් කැමති"
විදුහල්පතිවරයා එලෙස ආපනශාලාවේ හිඳ වසන්ත ගුරුගේ නොහොත් ගුරුගේ සර් යැයි සියල්ලෝම ආමන්ත්රණය කරන පාසලේ උප විදුහල්පතිවරයාට පවසන්නට විය. එසේ පවසන විට තේමිය සහ ඉතිහාසය ගුරුවරයා වූ සුසන්තද අසල විය.
" ඔව් නේද සර් , මිස් හිටියා නම් කොහොමහරි ළමයි ටික පුරුදු කරලා නැටුම් තරඟ වලට අරන් යනවා .මේ පාර ඒකත් බැරිවෙයි වගේ"
ගුරුගේ පැවසුවේ ඇය නැති පාඩුව ගැන සිතමිනි.
" ඔව් තව මාස දෙකකටත් අඩු කාලයයි තියෙන්නෙ තරඟ වලට.මටනම් ඔය සම්බන්ධයෙන් ලොකු අදහසක් නෑ. ඒක නෙවෙයි ගුරුගේ සර් අපිට බැරිද ස්ටාෆ් එකෙන් කවුරුහරි අලුත් මිස් එනකන් මේ වැඩේට දාන්න.නැටුම් කරපු කවුරුමහරි ඇතිනේ."
විදුහල්පතිවරයා එසේ කියමින් කල්පනා කරන්නට විය.තේමියා හාවක් හූවක් නැතිව තේ එක බොන්නට වූයේ තමා විද්යා ගුරුවරයෙක් වූ නිසා තමන්ගේ දිහාවට කාගෙවත් නෙත යොමු වන්නෙ නැති බව දන්නා නිසායි.
" එහෙම කෙනෙක්නම් නෑ සර්.නැටුම් ගැන දන්නෙ නැතුව ගුරු අත්පොත බලාගෙනවත් කියලා දෙන්න පුළුවන් විශයක් නෙවෙයිනේ මේක.එහෙම එකේ තරඟ වලට යවන්න පුරුදු කරන්නත් කෙනෙක් හොයාගන්න බැරිවෙයි."
ගුරුගේ එසේ පවසා සුසන්තගේ මුහුණ දෙස බැලීය.
"අපොයි මම නම් දන්නෙ නෑ ඕවා, සිංහල වගේ සබ්ජෙක්ට් එකක් උනත් උගන්නන්න පුළුවන් නැටුම් කොහොමද??"
සුසන්ත ගැලවෙන්නට මෙන් කතා කරද්දි ගුරුගේට සිනහා පහළ විය.
" මන් නිකන් බැලුවේ සුසන්ත සර් "
" හා ඒක මිසක්"
සුසන්ත සිනාසුනේ කවටයෙක් මෙනී.ඔහු සිනාසෙනු දුටු විදුහල්පතිවරයා හැරුනේ තේමිය දෙසයි.තේමිය තේ උගුරු කිහිපය එක හුස්මට බී දැම්මේ කලබලයෙනි.
" තේමියට පුළුවන් නේ ළමයින්ව තරඟ වලට අරන් යන්න පුරුදු කරවන්න.වෙස් පැළඳපු නැට්ටුවෙක් තියාගෙන අපි මොකටද වෙන අයව හොයන්නෙ"
විදුහල්පතිවරයා එසේ පැවසුවද විද්යාව උගන්වන අතරතුර නැටුම් පුරුදු කරවීම මහත් ගැටලුවක් විය.දවසට එක් කාලච්ජේදයක් හෝ දෙකක් හිස්වුනද මේ කාර්යය සඳහා එය ප්රමාණවත් නොවෙනු ඇත.
" ඒත් මන් හිතන්නෙ නෑ සර් මේක කරන්න පුළුවන් වෙයි කියලා.මගේ සබ්ජෙක්ට් එකත් උගන්නන ගමන් මේ වැඩෙත් කරන්නෙ කොහොමද??අනික ෆ්රී පීරියඩ් එහෙමත් මට වැඩියේ නෑනේ"
" හා ඒක ගැන වැඩියේ හිතන්න එපා තේමිය සර්..අපි මෙහෙම කරමු හවසට පැයක් වගේ දාගෙන ළමයින්ට නැටුම් පුරුදු කරමු. කොහොමත් බෙර ගහන්න එහෙම පිරිමි දරුවෝ ඉන්නවනේ ඒ නිසා ගැහැනු දරුවෝ හවස නවත්තගන්න එකේ ප්රශ්නයක් වෙන එකක් නෑ.එහෙම දෙමව්පියන්ට ප්රශ්නයක් නම් කාගේ හරි දරුවෙක්ගේ අම්මෙක්ට මාරුවෙන් මාරුවට ඇවිත් ඉන්න කියනෙකයි තියෙන්නෙ "
මෙය විදුහල්පතිවරයා ක්ශනිකව ගත් තීරණයක් නොවන බව තේමියට තේරෙන්නට විය.ඔහුට එම ඉල්ලීම ප්රතික්ශේප කරන්නට නොහැකි විය. තේමිය සෑම පන්තියකින්ම තරඟ වලට තෝරාගත්තේ සාම්ප්රදායික ලෙස හැම පාරම තෝරගන්නා ළමයාව නොවේ. සෑම පන්තියකම නැටුම් කරන ළමුන් අතරින් දක්ශ සිසුන් තෝරාගෙන එහිනුත් දක්ශතමයා තෝරාගැනීම ඔහුගේ වැඩපිළිවෙළ විය. එහිදී සමාධිව පරයා හංසමාලි දක්ශ ලෙස නර්තනයේ යෙදුන බැවින් තරඟ සඳහා තේරිපත් වූයේ හංසමාලියි.
පුරුදු කිරීම් වැඩ කටයුතු දෛනිකව සිදුවුනි.නමුත් එක්දිනක් හංසමාලි නොපැමිණි නිසාවෙන් තේමිය ඇගේ මිතුරිය වන කවීශාගෙන් හේතු විමසා සිටියේය.
" පුතේ ඇයි අද හංසමාලි ආවේ නැත්තෙ, ඔයා එයාලගේ ගෙවල් ළඟද??"
දැරිය උඩබිම බලන්නට වූයේ මදක් පැකිලෙමිනි.
" නෑ සර් අපේ ගෙවල් ගාව නම් නෙවෙයි එයාලා ඉන්නෙ.එයා ඊයේ කිව්වා අද එන්න වෙන්නෙ නෑ කියලා"
" ඒ ඇයි"
තේමිය එක හෙල්ලේ බලාසිටියෙන් කවීශා හේතුව පවසන්නට විය..
" එයාගේ ජීන්ස් එක ඉරිලා තිබ්බෙ සර්.අලුත් එකක් ගන්න ඕන අම්මා වැඩ කරන තැනින් පඩි ලැබුනම කිව්වා. කේතකී මිස් නම් ළමයි ජීන්ස් ගෙනාපු නැති දවසට නැටුම් කාමරේ ඉස්සරහා දණ ගස්සනවා ඒකයි එයා අද එන්නෙ නෑ කිව්වෙ"
කවීශා පවසද්දි තේමියගේ පපුවට අමුතු දුකක් දැනුනි.ගම්බද ප්රදේශවල යමක් කමක් ඇති පුද්ගලයක් සිටින්නෙ අතලොස්සකි.අන් සියල්ලෝම එදිනෙදා කෑම වේල සරි කරගන්නට අව් වැසි නොබලා වැඩ කරන දුගී ජනයාය.
පාසල නිමාවී හංසමාලිගේ නිවසට යන මාර්ගය දන්නා පිරිමි ලමයෙක්වද කැටුව ටවුමට ගොස් තේමිය අලුත් ජීන්ස් එකක් මිලදී ගත්තේ හුදෙක්ම හිතේ උපන් දුක නැති කරගැනීම පිණිසයි.
" අර තියෙන්නෙ සර් ඒක තමයි හංසමාලි නංගිලාගේ ගෙදර"..
පොල් වත්තක් මැද තිබූ කුඩා නිවසක හංසමාලි සහ මව පියා පදිංචි වී සිටියෝය. තමන්ට බිම් අඟලකවත් ඉඩම් ප්රමාණයක් නොමැති බැවින් ඔහුන් එහි නතර වී සිටියේ පොල්වත්තද රැකබලාගනිමිනි.
මෝටර් සයිකලයේ ශබ්දය ඇසෙත්ම හංසමාලි දොරෙන් එබී බැලුවේ කරුන්දැයි කියායි.තේමියව අඳුරගත් හංසමාලි මිදුලට බැස්සේ සිනාසෙමිනි .
" හංසමාලි අද ඉස්කෝලේ නාවේ ඇයි කියලා බලන්න ආවේ"
" එන්න බැරිවුනා සර්!".
ඇය ඒ හැරෙන්න වෙන හේතුවක් පැවසුවේ නැත.ඒ සමඟම කුස්සියට වී උයමින් සිටි ඇගේ අම්මා ඇය ඇඳගෙන සිටි චීත්ත පොටෙන් අතද පිසදමමින් එලියට ආවේ ඇවිත් සිටින්නේ කවුරුදැයි බැලීමටයි. තේමියව අඳුනන බැවින් ඇය දත් පෙන්වා අහිංසක ලෙස සිනාසීය.
" සර් මොකද මේ හිටගෙන .දුවේ පුටුවක් ගේන්න සර්ට"
ඇය පවසත්ම
" නෑ ඕන නෑ හංසමාලිගේ අම්මේ දැන් අපි යන්න ඕන.මන් මේක හංසමාලිට දීලා යන්න ආවේ . හෙට ඉස්කෝලේ එන්න"
තේමිය හංසමාලි අතේ තැබූ පාර්සලය දිග හැර බැලුවේය.
" සර් මොනවට කරදර උනාද මන්දා? මම කොහොමත් හෙට දිහාවට ටවුමට ගිහින් එන්න හිටියේ දුවට මේ කලිසම ගන්න"
හංසමාලිගේ මව පැවසුවේ පැකිලෙමිනි.
" මොන දේ උනත් මනුස්සකම්වලට මැරෙන්න දෙන්න බෑනේ අම්මේ.හංසමාලි නටන්න දක්ශයි.ඉගෙන ගන්නත් දක්ශයි.කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යන්න හොඳ නෑ "
තේමිය පිටත්වීමට සැරසෙද්දි හංසමාලි දණ නමා වැඳ ස්තූති කලේ ගෞරවපූර්වකවයි.
කෙසේ හෝ අනෙක් දරුවන් පලාත් තරඟ වලින්ම කැපී ඉවත්වුවද හංසමාලි සමස්ථ ලංකා තරඟ සඳහා තේරීපත්වුනි ඒ වනවිටත් අලුත් ගුරුවරියක් නැටුම් විශය සඳහා පාසලට විත් තිබුණි.කේතකී මෙන් නොව ඇය කාරුණික හදවතක් ඇති අයෙක් නිසාවෙන් තේමිය සහ දෙදෙනාම එක්ව පුරුදු පුහුණු කිරීම් කටයුතුවල යෙදුනෝය. සමස්ථ ලංකා තරඟාවලියේ දක්ශ ලෙස තරඟ වැදි හංසමාලි ප්රථම ස්ථානය දිනාගත්තේ පාසලේ නම අනෙක් පාසල් අතර ඔසවා තබමිනි.
දිනක් හංසමාලි බ්රවුන් පේපර් එකක දැවටූ කිතුල් පැණි බෝතලයක් ගෙනත් තේමිය අතේ තැබුවේ
" සර්ට අම්මා දෙන්න කිව්වා.
යැයි පවසමිනි .
" මොකටද දුවේ මේවා"
තේමිය එය දෙස බලා හංසමාලි දෙසද බලා ඇසීය
" මම කවදාවත්ම නැටුම් තරඟ වලට ගිහින් නෑ සර් . මම කලුයි කියලා ගොඩක් යාලුවෝ විහිලුත් කරලා තියෙනවා.මන් හිතුවෙත් නෑ තරඟ වලට ගිහින් දිනන්න පුළුවන් වෙයි කියලා.මන් හිතුවේ සුදු අයට විතරයි දිනන්න පුළුවන් කියලා ."
ඇය අඬන්නට ආසන්නව සිටියේය.
" සිංහලයා කොහොමත් කලුයි දරුවෝ. අනිත් අය සුදුවට ඉඳලා ඔයා කලුවුනාට ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි. අනික සුදුවට ඉන්න හැමෝම අභ්යන්තරයෙනුත් බාහිරයෙනුත් ලස්සන නෑ.ලස්සන හිතක් තියෙන මනුස්සයෙක් වෙන්න.මේ ලෝකේ තියෙන හැම පාටම තවත් පාටක් එක්ක මිශ්ර වුනාම පාට වෙනස් වෙනවා.ඒත් කලුපාටට වෙන පාටක් එකතු කරාම වෙනස් වෙනවා දැකලා නෑ නේද? ඒක තමයි කාල වර්ණයේ තියෙන පවර් එක.

No comments:
Post a Comment
ප්‍රතිචාරයට ස්තූතියි