අපි 2004 සුනාමියෙන් පස්සේ ළමා නිවාස වලට උදව් කරන්න පටන් ගත්ත . පස්සේ වැටහුනා ඒවල ළමයින්ට දෙන තෑගී අරව මේවා කිසිවක් ලැබෙන්නේ නැහැ . වැඩ කරන අය ගෙවල් වලට උස්සන් යනව . නැත්නම් විකුනනවා කඩවලට කියල . ඊළඟට ඒ ළමයිව අපචාර වලට යොදා ගන්නවා . ඒ වුනාට අන්තිමට ගම්වල මිනිස්සු බනින්නෙත් ඒ ළමයින්ට මයි . අනික තමන්ගේ ළමයිගේ උපන්දින උත්සව එවල හියලා කේක් ක කපනවා . සමහර ළමයි අකමැතියි ඒවාට සහභාගී වෙන්න . මොකද එයාලගේ උපන්දින එහෙම සමරන්නේ නැති නිසා . එයාලට දුකයි. මට කියල තියනව . මම සියමා කෙටි නවකතාවේ සඳහන් කල සිද්ධියක් දෙකක් ලංකාවේ සිද්ධ වෙච්චි ඒවා . ඔය ළමයින්ට චොකලට් කවද හම්බ වෙන්නද ? ඒ ළමයින්ට දඬුවම් කරනවනම් ඒ ළමයින්ට ඒ විධිහට සලකන ඔහෙලා ඉස්සරලා දඬුවම් කර ගන්නවල.
මේ ලිපිය ලියා ඇත්තේ චූලානන්ද සමරනායක ලේඛක මහතාය.
අපේ පොලිසිය ඉතා වේගයෙන් ඉන්දීය දමිල සිනමාපටයක් බවට පත් වෙමින් තිබේ. වේගවත් ජවනිකා මවමින් ඒවා මාධ්ය ඔස්සේ සංසරණය වන්නට සලස්වමින් සහ තවත් අවස්ථාවල කැමරාකරුවන් සහ රංගනවේදීන් බවට පත් වෙමින් එය ජනතාවගේ වින්දනය උදෙසා ජවනිකා ඉදිරිපත් කරන්නන් බවට පත්ව තිබේ.
ඉදින් අපට වෙන ස්වර්ගයක් කුමටද?
විටෙක අප දකින්නේ වැලි ලොරි හඹා යමින් ඒ හඹා යාම වීඩියෝ කර අපට බෙදා දෙන පොලිසියකි. විටෙක එය පාතාලයන් කුදලාගෙන එන යුක්තියේ මුරදෙටු හමුදාවක ජවනිකා ඉදිරිපත් කරයි. තවත් විටෙක සදාචාර ලෝකය හෙල්ලුම් කන ස්පා මැල්ලුමක ලිංගික පහස දෙන පාපී කතුන්ගේ නිරුවත අපට ගෙනහැර පායි. තවත් ජවනිකාවක බස් රථවල සුදු යකඩ ගලවන මගී ආරක්ෂක බලකායකි.
ඒ අතර පාතාල වෙඩි පහරින් අයෙක් මැරී වැටෙයි. මිනියෙහි රස්නය යන්නටත් කලින් ඒ මිනීමැරුමට හේතුව, කළ අය සහ පසුබිම ආදී වශයෙන් අපට සියළු විස්තර පොලිසියෙන් අසන්නට ලැබේ. අපරාධය වන්නට පෙර එය අනාවරණය කරගන්න බැරිවූවාට කිම? වූ සැණින් අපට තොරතුරු ලැබේ නම් මලගියවුන්ට පවා එය සතුටට කරුණක්මය.
මේ ජවනිකාවන්හී උත්කර්ෂවත්ම අවස්ථාව දැන් එළඹ තිබේ. ඒ අතිශය දරුණු අපරාධයක් හෙලිදරවු කරමිනි. එය ලොවට හඬගා කියනුයේ ජාතික මට්ටමේ පුවත් පතක් කියනා ලංකාදීපයයි.
පුවත මෙයයි. ළමා නිවාසයක යෞවනියන් කිහිප දෙනෙක් අවන්හලක් කඩා ටොපි පැහැර ගනී.
මහාපරාධයකි, මහාපරාධයකි, මහාපරාධයකි.
දෙමවුපියන් නැති ළමානිවාසගත පිරිසක් වීම තත්වය තවත් දරුණු කරයි.
වහා නීතිය ක්රියාත්මක විය යුතුය.
මේ මහාපරාධකාරියන් නීතිය හමුවට පමුණුවා උපරිම දඬුවම් දිය යුතුය.
මෙහිදී මනුතාපයේ ජනවර්ජන පසුපස හඹනා ජන්තු මෙන් ජින්තු ගෙවෙන තුරු පොලිසිය දිවිය යුත්තේය.
අපි කුමක් කරමුද? නටමු? ගයමු? වයමු?
මගේ මතකය කලුතරම මීට පෙර සිදුවූ සිදුවීමක් වෙත දිව යයි. ඒ දැනට දශකයකටත් ඉහත පුවතකි. පුවත මෙයයි.
ළමා නිවාසයකින් බාලිකාවන් දෙදෙනකු පැන යයි.
පොලිසිය ඔවුන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කරයි.
ඉන්පසුව වන්නේ අපූරු දෙයකි. විනිසුරු තමන් පලා යාමට හේතුව අර බාලිකාවන් ගෙන් අසයි.
අසිස්ක්රීම් කන්න ආසා හිතුණා.
මේ දැරියන්ට අයිස්ක්රීම් අරන් දී නගරයද පෙන්වා යළි ළමා නිවාසයට බාර දෙන්න. මගේ මතකය නිවැරදි නම් අයිස්ක්රීම් ගෙන දීමට විනිසුරුම මුදල්ද දුන්නේය.
වරක් මම මගේ බිරිඳගේ පවුලේ අයද සමග කලුතරම ළමා නිවාසයකට ගියෙමි. ඒ එහි ළමුන්ට දිවා ආහාර වේලක් දීම සඳහා ඉඩක් ලබා ගැනීමටය. අප එහි පාලිකාව සමග කතා කල විට ඇය කීවා මෙයයි.
'මහත්තයලට පිස්සුද මුන්ට කන්න දෙන්න? කිසිම විනයක් නෑ. මුං ඊයෙ තාප්පෙ උඩ නැගලා වර්ජනයක්තු කළා. කාලා තෙල.'
මේ පාලිකාවගේ දියුණු දැක්මයි. සමාජයේ පිහිටක් නැති දැරියන්ගේ තෙල!
මම කාලයක් මානසික නිරවුල්භාවය අහිමි දරුවන් සිටිනා නිවාසයකට ආහාර ලබා දුන්නෙමි. ඒ ගිය අවස්ථාවලදී ළමුන්ට ආහාර බෙදූ පසු පාලකයන් ළමුන් ළවා අපට පින් දෙන පාඨ කියවති. ඒ මහම අප්රසන්න අත්දැකීමකි. මම අපට පින් අවශ්ය නැති බවත් ළමුන්ට නිදහසේ කෑම කන්නට ඉඩදීම සෑහෙන බවත් සෑම වරකම කීවෙමි. අන්තිමෙ දැඩිව කීවෙමි.
මට ඒ ළමුන්ට ආහාර දීමේ අවස්ථාව නැතිවිණි. විමසූ විට කීවේ වෙනත් කෙනකුට ‘දාන වේල' දුන් බවකි. මා දුන්නේ දානයක් නොවේ. ලමුනට ඇවැසි දෙයකි. එය මගේ වගකීමකි. එපමණි.
ආදරය ඇවැසි අර බාලිකාවන් පිරිස නීතියෙන් මට්ටු කිරීමෙන් සියල්ල විසඳේයයි සිතනා පොලිසිය මෙන්ම ඒ පුවත පලකරනා පත්තරද ශිෂ්ට සම්පන්නය. ළමුන්ට ආදරය දිය යුතුයයි සිතනා අය අශිෂ්ටය. අප සිටිනුයේ තව්තිසාව පේනමානයේය. නිකම් නොව සීතාම්බර පටද ඇඳගෙනය.
එම ප්‍රවෘත්තිය
කාලෝචිත ලිපියක් අජිත්. අනාථ නිවාස වල අපි නොදුටු පැත්තක්. ඔය වගේම කතන්දර මානසික රෝහල් ගැනත් අසා තියෙනවා.
ReplyDelete//අප සිටිනුයේ තව්තිසාව පේනමානයේය. නිකම් නොව සීතාම්බර පටද ඇඳගෙනය//
+++++++++++++++++++++++👌🙏💐