මේ දවස් වල ජනප්රිය ජීව විද්යා ගුරුවරයෙකුගේ ක්රියා කලාපයන් ගැන විවේචනය වෙනව මම දැක්කා. මම මුලින්ම රසායන විද්යාවට ටියුෂන් ගත්තේ කුරුණෑගල නගරයේ ඒ කාලයේ ජනප්රිය ගුරුවරයෙක්ගෙන් ! මම එයාගේ නම කියන්නේ නෑ. ඒ මනුස්සයා දැන් සේවයෙන් විශ්රාම අරගෙන බව මට ආරංචියි.
අපි අලුත්ම ඒ ලෙවල් බැච් එකේ, ඒ ගුරුවරයාගේ පළවෙනි තියරි ක්ලාස් එකේ ළමයි. අපි හැමෝම අලුත් ! ඒත් එදා මම මාරම අකමැති වැඩක් වුණා. එයා අපිට තියරි උගන්වමින් ඉඳලා අහඹුවෙන් වගේ ළමයින්ව නැගිට්ටවලා ප්රශ්න ඇහුවා.
මට මතකයි ගෑණු ළමයෙක්ව එයා නැගිට්ටවනව. රසායන විද්යාව සම්බන්ධව තියෙන සරල ප්රශ්නයක් අහනව. ඒ ප්රශ්නයට අර ළමයට උත්තර දෙන්න බැරි වෙනව. මේ ගුරුවරයා අර ළමයාට ඉඳගන්න දෙන්නේ නෑ. විනාඩි දහයක් පහළවක් විතර අර දාහකට විතර කිට්ටු වෙන්න ඉන්න ළමයි ගොඩ මැද අර ළමයාව තියාගෙන මේ ගුරුවරයා බැන්නා. ඉගෙන ගන්න එකේ අගයයි, බුද්ධාගමයි, අර ළමයාට ඒ ප්රශ්නයට උත්තර දෙන්න බැරි වුණේ ඒ ළමයා ඕ ලෙවල් සබ්ජට් වලදි වැඩ නොකරපු නිසාය කියන එකයි, කිව යුතු නොකිව යුතු කතා හුඟක් කියලා බුලි කළා. හැම එකෙක්ම වගේ අර ළමයාට හිනා වුණා. ඒ ළමයා බිම බලාගෙන කඳුළු පිහ දදා හිටියා.
ඒ කෙල්ලගේ වැරද්ද මොකක්ද ! මිනිස්සු ඉගෙන ගන්න එන්නේ දන්නේ නැති නිසයි. ටියුෂන් එකක් වගේ ගන්නේම ඉස්කෝලෙන් දෙන තියරි වල මදිපාඩුකම් තියෙන නිසයි. නොදැන ඉගෙන ගන්න එනව මිසක්, දැනගෙන ඉගෙන ගන්න එන මිනිස්සු නැහැ.
ඉතිං මට හරිම තරහයි. ඒත් මට ඒකට විරුද්ධ වෙන්න තරම් මාව ශක්තිමත් නෑ. මම ඉන්ටර්වල් එකේම මගේ බෑග් එක අරගෙන එන්න ආව. ආයේ මම ඒ ගුරුවරයා ගාවට ටියුෂන් ගන්න ගියේ නෑ. මට ඒ ගුරුවරයාගේ නම ඇහෙද්දිත් ඒ කාලයේදි තරහා ආව.
ඉතිං මේ ගුරුවරයා තමයි, ටියුෂන් ක්ලාස් ඇතුළේ උගන්වනකොට ත්රිපිටකය උගන්වන ගුරුවරයා වුණේ ! එයා ඒක කළේ මාකටින් එකක් කරනව වගේ. එයා ඒකෙන් හොඳ ගුරුවරයෙක් විදියට ප්රචලිත වුණා. ඒත් එයා ඇත්තටම හොඳ ගුරුවරයෙක් නෙමෙයි කියන එකට එයාගේ ටියුෂන් එකේ පළවෙනි දවසේම මම සාක්ෂිකරුවෙක් විදියට ඉන්නව.
මේ ගුරුවරයා නිසා මෙඩිසින් සිලෙක්ට් වෙච්ච කොල්ලෝ කෙල්ලෝ මහණ වුණා. මහමෙව්නා රැල්ලත් ඒකට හේතුවක් වුණා. හැබැයි මහා කාලයක් ඒ අය සිවුරේ හිටියේ නෑ. තමන්ව සිවුරට නොගැළපෙනවාය කියන එකත්, තමන් සංවේදි මයින්ඩ් ගේම් එකක් ඇතුළේ ප්ලේ වුණාය කියලා දැනගත්ත ගමන් ඒ අය සිවුරෙන් එළියට ආව. අවසානයේ ඒ අය හීරළුවන් විදියට සමාජයේ ජීවත් වෙන්න ගත්තා. මනුස්සයෙක්ගේ ජීවිතයට ඒක කොච්චර දුක්ඛිත තත්ත්වයක් ද කියලා හිතන්න.
මිනිස්සුන්ට දේවල් පෙන්නලා ඒ අයගේ ජීවිතයේ සංතෝෂය හින්දවලා, ඒ අයගේ ඔළුවට අයිඩියාලොජි එකක් ඔබලා, ඒ අයට දේවල් පෙන්වමින් ජීවිතය කළකිරවලා ඒ අයව මහණ කරනව. ඒත් ඇත්තටම මිනිස්සු සිවුරකට යන්නේ තමන් විසින් දේවල් දැකලා තමන්ගේම අවබෝධයෙන් වෙන්න ඕන නැත්ද ! හැබැයි ඔය ටියුෂන් ක්ලාස් එකේදිනම් සිද්ධ වුණේ බුරුතු පිටින් ළමයින්ගේ ඔළුව හෝදපු එක විතරමයි.
මම හැම වෙලාවකම මූලික කරගත්තු ප්රායෝගික දර්ශනයක් තියෙනව. හයියෙන් සාදු කියන හැම එකෙක්ම පව්කාරයෙක් කියන එක මම දන්නව.
ඒ ලෙවල් වයස කියන්නේ මිනිහෙක් සමාජයට අවතීර්ණ වෙන කාලය. සමාජයට බහින කොල්ලෙක් කෙල්ලෙක් ඒකේ වෙන්නේ මොකක්ද කියලා අදහසක්වත් ඔය වයසේදි නෑ. තමන්ට වඩා විශාලව පේන ඕනම මිනිහෙක්ව විශ්වාස කරනව. නැත්නම් විශ්වාස කරන්න සිද්ධ වෙනව.
බුඩිස්ට් ෆිලෝසොපි එක කියන්නේ ජීවිතය දකින්න උගන්වන දර්ශනයක් ! නැතුව ෆිලෝසොපියේ කොහේවත් තැනක ජීවිතය ගැන ආශාවන් මකලා දාන්නේ නෑ. ඒක ජීවිතය දිහා අවබෝධයෙන් බලන්න කියා දෙනව. මායාවන් පිරිච්ච ජීවිතයට සත්යය ළඟා කරලා දෙනව. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න කියා දෙනව. ඒක හරි අපූර්වත්වයක් ඇතුළේ ගොඩ නැගිලා තියෙන දැනුම් පද්ධතියක් !
ඒත් මිනිස්සු මහා ලොකු ඕඩියන්ස් වලදි සන්නිවේදනය කරන්නේ ඒ දෙය නෙමෙයි. තමන්ගේ මනෝභාවයන් වල ප්රතිබිම්බ තවත් ඔළුවක හදන්න ඒ ෆිලෝසොපිය පාවිච්චි කරනව. ඒක හරිම නරක ඛේදවාචකයක් !
මම කියන්නේ මෙච්චරයි, පුංචි පුංචි ඔළු ගෙඩි ඇතුළේ සෙල්ලං කරනකොට පරෙස්සමට ඒ දේ කරන්න ඕන. මොකද ඔය තියෙන්නේ මේ රටේත් ලෝකයේත් අනාගතය මිසක්, තමන්ගේ බීජ පැළ කරන තවානක් නෙමෙයි.
ජයසේන ජයකොඩිගේ මනුස්සාත්ම කියලා පොතක් තියෙනව. ඒකේදි බීජ වැපිරීම ගැන සමාජ විද්යාත්මක කතාවක් කියනව.
දැන් ඔය ගොවියෝ ඉන්නවනේ, වී ගොවිතැන් කරන ගොවියෝ නියර මඩ තියලා, හී දෙකක් විතර හාල, වල් කුණු වෙන්න ඇරලා, කැට පාගලා ගොවිජන සේවා වලින් හොඳම බීජ ගෙනැවිත් ඉහිනව. ඒ වී පැල වෙනව. ඒත් ඒ එක්කම ගොජිරි බජිරි තුනැස්ස බටදල්ල වගේ වල් පැළත් එනව. ඒත් ගොයියා වපුරන්නේ වී විතරයි. හැබැයි වල් පැළත් තියෙනව.
ඒකට හේතුව තමයි, ගොවියා වී වපුරන්න හදපු පසේ අර කොහේදෝ ඉඳන් ආපු වල් බීජත් පැළවෙන්න ඕන කරන තත්ත්වය නිර්මාණය වෙලා තියෙනව. ඒවා ගලවලා දැම්මොත් ගොයම හොඳයි. අස්වැන්නත් හොඳයි. ඒත් ගලවාගන්න බැරි වුණොත් ගොයම වල් වලට වැහෙනව.
ඉතිං ගොවියෝ වගේ ඉන්න ඔය සමහර බීජ වපුරන ගුරුවරු, එක පාරක් නෙමෙයි සිය දහස් වතාවක් ඒ වපුරන බීජ ගැන හිතන්න වෙනව. ඒත් එක්කම ඒ අය බීජ වපුරමින් ඉන්නවානම් කුඹුරු ගැන අවදානයෙන් ඉන්නත් වෙනව. අස්වැන්න ගැන හිතන්නත් වෙනව.
No comments:
Post a Comment
ප්‍රතිචාරයට ස්තූතියි