හැට පිරුණු පක්ෂය
*****************************************
මට හැටක් පිරුණේ අප්‍රියලයේය
පක්ෂයට හැට පිරුණේ මැයි වලය
මා පක්ෂයට වඩා මාසයක් වැඩිමල් ය
මගේ අප්‍රියෙල් උපන් දිනයට
අමතක නොවන දිනයක්ද එකතුව ඇත්තේ ය .
ඒ අප්‍රියෙල් පස් වනදාය
වෙල්ලස්සේ කැරැල්ලට උරදුන්
අසාධාරණ බදු වලට එරෙහිව ගිය වුන්
ලෙයින් යකඩින් මර්දනය කළෝ
රැජිනගේ ලංකා ආණ්ඩුවයි
හැත්තෑ එකේ තිබුනෙත් එම
ආණ්ඩුව මය , වෙනස තිබුනේ සාරියේ පමණය
ඒ බව දත් තරුණ කොලු කෙල්ලන් සමූහයක්
අවි අතට ගත්තෝ අසාධාරණයට විරුද්ධව ය
ඒ ඉපදී වසර හයකින්ය
උන්ගේ හඬ ජනතාවට නො ඇසුනි
ඒ නොඇසුණු කතාව ලෙයෙහි රුවාගෙන
අදිටන හිස තබාගෙන
ගොඩ නැගුනේ ඒ විශ්මිත පක්ෂයමය
එහි උරුමය ඇත්තේ හැලූ ලේ වලය
ඒ උරුමය මා දුටුවේද භද්‍ර යෞවන වියේදී මය
දෙවන වරටද පක්ෂය බිඳ දමනු රිසියෝ
තරුණ සමුහයේ ගෙල සිඳුහ
එහෙත් එය නැගී සිටියේ
ෆීනික්ස් පක්ෂියා මෙනි
ඒ පක්ෂය යනු පුද්ගලයා නොවන හෙයිනි
මගේ හැට වැදගත් නැත
හැට විය පිරුණේ දහසකුත් එකක්
සාමාජික සාමාජිකාවන්ගේ
ලේ කඳුළු හා දහිරිය සමගිනි
එය සාමූහික චින්තනයක් පමණක්ම විය
එය මරා දැමිය නොහැකිය
එය ඉවත් කල නොහැකිය
වරෙක මහා මේඝයක් මෙන්ම
තව කලෙක කුඩා සුළගක්ව වුව පක්ෂයේ ජිවය නොනැසී
සාමූහික කර මතින් නැගී සිටියාය
අද හැට වසර සමරන්නේ
ඒ වීර චින්තනයයි
ඒ සාමූහිකත්වයේ හඬයි-
- ලන්ඩනයේ 31/05/2025 පැවැත්වු 60 වැනි සමරුව වෙනුවෙන්
Comments