ඉතිහාසය හැම රටකම එක වගේද?




අපි ග්‍රීසියෙන් පටන් ගමු .  මොකද දැනට ග්‍රීසියේ තමන්ගේ ඉතිහාසය නැවත ලියන්න ඕනේ කියන ව්‍යාපාරයක්  තිබෙන නිසා. හිස්ටෝරියා කියන වචනය එන්නේ  ග්‍රීක භාෂාවෙන් .  බටහිර සාහිත්‍යයේ ඉතිහාස කතා ලිවිම පටන් ඇත්තේ ග්‍රීක හෙරෙක්ඩොටස් කියල තමා සළකන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව  පස්වන සියවසේ ඉඳන්  මේ ඉතිහාස කතා ග්‍රීක - පර්සියානු යුද්ධයේ සිට ග්‍රීක නගර රාජ්‍ය අතර වූ යුද්ධ ගැනත් විස්තර  කරනවා .  නමුත් ප්‍රශ්නය මෑතකදී පටන් ගන්නේ ග්‍රීක මිථ්‍යා කතා විවරණය කරන්න ගීහින්. ක්නොසස් කියන ක්‍රීටයේ පිහිටි  මාලිගය ගැන මම ග්‍රීක සංචාරය ගැන ලියන අතරේ ලීවා. ඒ මාළිගාව සහ කොටුව  සෑහෙන්න විශාලයි .  වර්තමාන ග්‍රීක ඉතිහාසංඥයෝ තර්ක කරනවා අර මිනටෝර් ගේ කතාවේ වංක ගිරිය තියෙන්නේ මේ විශාල මලිගව් අපහදන්න කියල .   ග්‍රීක දුපත් වල තනි වහලේ තනි කාමරයක ජිවත් වෙන මිනිස්සුන්ට මෙපමණ වංක ගිරියක් වගේ ලොකු මාලිගා බලකොටු ගැන හිතා ගන්න බැරි නිසා ඔය කතා ගෙතුව කියල. ඒ පුංචි ධිවර / නාවුක ගෙවල් දැනුත් සැන්ටෝරිනි වගේ දූපත් වල තිබෙනවා .    

දැන් හැමෝම දන්නවනේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියාව වෙනකන් ආව බව .  ඒ ක්‍ර්ස්තු පූර්ව 325 විතර .  බුදුහාමුදුරුවෝ  පිරිනිවන් පාල අවුරුදු 200 කට විතර පස්සේ .  බුදු පිළිම හදල තියෙන්නේ ග්‍රීක ප්‍රතිමා ආකාරයෙන් බවත් දන්නවනේ.  මේ ග්‍රීකයෝ ඔක්කොම සුදු ජාතිකයෝ වගේ තමා පින්තූර වල පෙන්වන්නේ. නමුත් ඇත්ත කතාව තමයි ග්‍රීකයෝ හුඟක් මිශ්‍ර මධ්‍යධරණී ප්‍රදේශයේ ජාතියක් බවත් හැම පාටකම  සුදු, දුඹුරු , කහ, කළු මින්සුන් සිටි බවත්. අටසිය ගණන්වල සිට ග්‍රීසියේ පුරා විද්‍යා කැණීම් ආරම්භ කලේ සුදු ජාතිකයෝ.  ප්‍රංශ,  ජර්මන් සහ ඉංග්‍රීසින් මුලිකව සහ සමහර ඉතාලියානු ජාතිකයන් .  ග්‍රීසිය හුඟක් කල් තුර්කි අනතෝලියානු අධිරාජ්‍යය  යටතේ තිබ්බ නිසා ග්‍රීක ඉතිහාසයවත් නටබුන් ගැනවත් තුර්කින්  වැඩිය සැලකුවේ නැහැ.  හුඟක් පෞරාණික භාණ්ඩ, නටබුන්  බ්‍රිතාන්‍ය සහ යුරෝපීය කෞතුකාගාර වලට යැවෙන්නේත් ඒ නිසා .  ඒ ගොල්ලෝ අර ශිෂ්ටාචාරය  සැලකුවේ බටහිර ශිෂ්ටාචාරයක් විධිහට .  ඒකයි බටහිර ඉතිහාසය සම්බන්ධ සාහිත්‍යයේ පියා  හෙරෙක්ඩොටස් වෙන්නේ . 

නමුත් දැන් අලුත් කැණීම් වලට අනුවහෙම අපි දන්නවා දුඹුරු පාට මිනිස්සු ගොඩනගපු ඉතා ප්‍රබල  ශිෂ්ටාචාරයක් ග්‍රීසියේ පැවති බව.  අලුතින් හමු වෙන කැණීම් වල කාලය ගණනය කරනකොට චිත්‍රවල කාලය ගණනය කරන කොට ඔවුන්ටම පුදුමයි.  පයිතගරස් ප්‍රමේය ඇත්තටම පයිතගොරස්මද හොයා ගත්තේ. බැබිලෝනියන්  මයෝනිසියන් ,  මිනොඅන්, පෙලගියන් ශිෂ්ටාචාර වලත් ඒ දැනුම තිබිල තියනවා නේද කියන එක ඔවුන් දැන් දන්නවා.  අපි දන්නා ග්‍රීක ඉතිහාසය සම්පුර්ණ එකක් නෙමේ . අර ආදී කාලින ග්‍රීක  සුදු මිනිස්සු හෝ ආර්යයයන්ම  නෙමේ. අපි ඩෙලෝස් , ක්‍රිට් දුපත් වල ගොවිපලවල ඇවිද්දම  පුදුම වුනා ඒවායේ වැඩ කරන, ආසියාතික හැඩයට හුරු දුඹුරු මිනිසුන් දැකල.   මම කෙනෙක් ගෙන් ඇහුව එයාල බංග්ලාදේශයේ හෝ  ඉන්දියාවෙන්ද කියල. ඒ මනුස්සය පුදුමෙන් වගේ මට කීව එයාගේ පරම්පරාවම දන්නා තරමින් ජිවත් වුනේ එහෙ කියල .  අවුරුදු තුන් හාරසීයක ඉඳන් .   කොටින්ම  ජේසුස්  වහන්සේ පවා සුදු අයෙක් නෙමේ.  ඔහු මධ්‍යධරණී ප්‍රදේශයක වර්තමාන පලස්තීනයේ උපන් පලස්තීන ජාතිකයෙක් .          

තුර්කි ඉතිහාසය  ගැන කතා කරද්දී දහතුන් වන සියවසේ එර්තුගල් ඔගුස් තුර්කි සුල්තාන් වරයාගේ  ගේ ඉඳන් පටන් ගන්නේ සහ උගන්වන්නේ .  ඔහු ඉස්ලාම් ආගම  වැළඳ ගත් අයෙක්. වර්තමාන උස්බෙකිස්ථානය ,  තුර්ක්මෙනිස්තානය වැනි පැතිවලින් ආපු ජනතාව තමා තුර්කි වුනේ.  නමුත් ඔවුන්ට කලින් තුර්කියේ වඩා බලවත් ශිෂ්ටාචාරයක් තිබුණු බව දැන් දන්නව .  තුර්කි මුස්ලිම්  ක්ලර්ජි එක ඒක එලියට එන්න ඉඩ දුන්නේ නැහැ කාලයක් .  නමුත් ගෙබෙල්කි ටෙපේ (Göbekli Tepe) අවුරුදු  එකොලොස් දහසකට පමණ පරණයි කියල හොයාගෙන තිබෙනවා .  තුර්කියේ උගන්වන ඉතිහාසය ඉතා මෑත එකක් .     

එංගලන්තයේ උගන්වන ඉතිහාසයේ ප්‍රශ්න ගොඩක් තියනව .  වෙන රටවල ඉතිහාසය  ගැන , පලස්තීනය ගැන හෙම උගන්වන්නේ ඉතා සීමිත ටිකක්. ඊජිප්තුව ගැන වැඩි බරක් දෙනවා.    කොලෝනියල් (අධිරාජ්‍යවාදයේ)   කාලය ගැන උගන්වන්නේ ඉතාම අඩුවෙන්. එහෙම නැත්නම් ගුරුවරුන්ට නිදහස තියනව සමහර මාතෘකා මග හැරලා යන්න .   අනික් උගන්වන්නේ හොඳ පැත්ත විතරයි,  යටත්විජිත වලට කරපු හොඳ පමණයි .  හොඳත් වුනා, නරකත් වුන අකියල අපි දන්නවනේ.  දුම්රිය මාර්ග ඇති කිරීම වගේ දේවලුත් වුනා .  ගයානා, ෆිජි  වගේ රටවල ජන සංයුතුයත් වෙනස් වුනා. ඒවා ගැන හෝ, ඒ කාලයේ සිදුවුණ ඝාතන හෝ මර්දන ගැන කතා කරන්නේ නැහැ. චර්චිල් ඉන්දියාවේ සාගතයක් ඇති කරලා මිලියන් ගානක් මැරෙන්න ඇරිය හැටි. පළමු අනාථ  කඳවුරු අප්‍රිකාවේ හදපු හැටි ගැන කියන්නේ නැහැ .  ඒවා  උගන්වන්න  ආවහම ලොකු විරෝධයක් ඇතිවුනා වසර කිහිපයකට කලින්.  හිරු නොබසින අධිරාජ්‍යය ගැන ඉගෙන ගැනීම වත් අනිවාර්ය නැහැ .  උතුරු අයර්ලන්තයේ උගන්වන්නේ බ්‍රිතාන්‍ය ඉතිහසය . නිදහස්  අයර්ලන්තයේ උගන්වන ඉතිහාසයට  බ්‍රිතාන්‍ය විසින් ඇතිකරන ලද සාගත කාලය  ගැන උගන්වනවා .  දෙවන ලෝක යුද්ධය  ගැන උගන්වන්නේ ඒක බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව පමණක් යුද්ධ කළ  ජයග්‍රහණය කල එකක් වගේ .  ඉතින් මම ඇත්තටම පුදුම වෙන්නේ නැහැ බ්‍රිතාන්‍ය ජාතිකයන් බ්‍රෙක්සිට් එකට යුරෝපයෙන් වෙන් වෙන්න  ඡන්දේ දීපු එක ගැනවත්. මේ වගේ උගන්වන ඉතිහාස වලින් බිහි වෙන්නේ  නයිජල් ෆාරාජ් වගේ අය අනුගමනය කරන මිනිස්සු තමා  වැඩියෙන්ම. ඒක හෙට අනිද්දට තව හොඳට දැක ගන්න පුළුවන .    

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලිබරල් ප්‍රජතන්තවාදයක් වශයෙන් හොඳ  තැනකට ගමන් කරමින්  හිටියේ .  ඔවුන් කොලම්බස් ට කලින් ජනාවාස තිබුන බව, ඇමරිකාවේ මුල් පදිංචිකරුවන්   ගැන උගන්වනවා.  කතෝලික පල්ලියත්ඇ, මෙරිකානු ආණ්ඩුවත් මුල් පදිංචි කරුවන්ගේ ළමයින් උදුරලා අරගෙන බෝඩින් පාසැල් වල රඳවාගෙන ඉගැන්වුවා .  බොහොමයක් ළමුන් දරුණු තාඩන පීඩන හා ලිංගික අපයෝජන මත මියගියා .  කතෝලික පල්ලිය ඒ ගැන සමාව ඉල්ලුව පහු කාලෙක.    ඔවුන්ගේ ඉඩම් උදුරාගෙන රිසර්වේෂන් වලට තල්ලු අක්රපු එක ,  ඒවා වලිනුත් තෙල් සහ රත්රන් හාරන්න එලවපු බව අක්වදවත් උගන්වන එකක් නැහැ .  මේවා ඉතිහාසය ඉගැන්වීමේදී ඇතුළු කලයුතු දේවල් .  මේ තත්ත්වය ඒ ලෙසම ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේත්  සිදුවුනා .  එකම ප්‍රශ්නය ජනාධිපති ට්‍රම්ප් වගේ කෙනෙක් ඇමෙරිකාවේ මේ වෙනස ආපහු හරවයිද කියල. ට්‍රම්ප් ලා බිහිවෙන්න ඔය පාර්ශ්වීය ඉතිහාසය හොඳටම ඇති .  අනික මේ ඉතිහාසය ඒ ඒ ප්‍රාන්ත වල වෙනස් විධිහට උගන්වන්නේ .   

කෙනෙක් අහල තිබුන සෝවියට් දේශයේ ඉතිහාසය හොඳට ඉගැන්වුවා නේද කියල .  ස්ටාලින් ගේ කාලය වෙනකොට ඉතිහසය තනිකරම  විකෘති කරමින් ඉගැන්වුවේ .  පටන්ගත්තේ ලෙනින් ස්විට්සර්ලන්තයේ සිට ලෙනින්ග්‍රාද් නගරයේ දුම්රිය ස්ථානයට ඇවිත් බහින කොට ස්ටාලින් පිටුපස ඉන්න පින්තුරයක්  දාල .  ඒක හදපු එකක් .  ස්ටාලින් එතන ඇත්තටම  හිටියේ නැහැ .  මේ ලිපිය කියවන්න . (ලෙනින් ගේ ජර්මන් දුම්රිය ගමන )  

රුසියානු විප්ලවය උරදුන් සිනොවියෙව් ,  කමනෙව් , ට්‍රොට්ස්කි වගේ අය මරා දැමුවාට පස්සේ ඔවුන්ව සම්පුර්නයෙන්මඉතිහාසයෙන්  මකා දැම්මා. උක්රෙනයේ හොලොදොමෝර් කියන සාගතයෙන් (චර්චිල් ගේ කාලයේ  වගේම )  මිලියන් ගණනක් කොසක් සහ සාමාන්‍ය ජනය මිය ගිය බව හෝ මිලියන් ගානක් ගුලාග් කඳවුරු වලට ගාල් කරපු බව ඉගැන්නුවේ නැහැ .  රුසියානු අධිරාජ්‍යය හා එහි රජවරුන් ගැන නම් කීවන් රුස් කියන කීව් රාජධානි මුල් රුසියානු රජු වන ව්ලදිමීර් ගේ සිට ඉතිහාසය  ඉගැන්නුවා ඒ කාලේ. දැන් සෝවියට් ඉතිහාසයට අමතරව රුසියානු ඉතිහාසය වැඩියෙන් උගන්වනවා .   පුටින් දන්නේ ඒ ඉතිහාසය පමණක් වගේ පේන්නේ . එතකොට  වර්තමාන උක්රයිනයේ වගේම බෝල්ටික් රටවල තවත් අමුතු ඉතිහාසයක් උගන්වන්නේ .  ඒවා පෝලන්ත  හෝ රුසියානු අධිරාජ්‍යය යටතේ තිබුනට නිදහස් රටවල් හැටියට උගන්වනවා විතරක් නෙමේ හිට්ලර් ගේ නාසි හමුදා ඒ රටවල් බේරා ගත්  බවත් සෝවියට් ආක්‍රමණය නිසා නැවතත් රුසියාවට යටත් වුනු බවත් උගන්වනවා.   අමුතු විකාර ඉතිහ්සයන් මේ හැම රටකම උගන්වන බව පැහැදිලියි නේද ? 

ඇමේසන් වනාන්තරයේ පැරණි නගර සංකීර්ණයක්  ගැන මේ ලිපියේ සඳහන් වෙනවා .  එතකොට නූගත් ගෝත්‍රිකයෝ විතරක් නෙමේ ඒ රටවල ඉඳල තියෙන්නේ .  ස්පාඤ්ඤ අකමනිකයන් ගොනෝරිය ,  සිපිලස් වගේ ලෙඩ ගෙනවිත් මෙක්සිකෝව ,  සහ අනිකුත්  ලතින් අමෙරිකානු රටවල ශිෂ්ටාචාර එහෙම්ම පිටින් මකා දමල තිබුනේ .  ඒ කතා  එලියට එන්නේ දැන් .

ලංකාවේ උගන්වන වන  ඉතිහාසය ගැන කතා නොකර මේ සියල්ල ලීවේ තමන්ට අවශ්‍ය විධිහට ඉතිහාසය ඉගැන්වීම වැරදි බව පෙන්වන්න .  එවැනි විෂයක් අනිවාර්ය කරන්නෙම රටට අවශ්ය් ජාතිවාදී ,  නරුමවාදී මිනිස්සු කොට්ඨාශයක්  හදන්න , පාලනය ලෙහෙසි වෙන්න .  ලෝකයේ හැම රටක් ම වගේ එහෙමයි .  එහෙම නැත්නම් තමන්ට අනවශ්‍ය අඳුරු අතීතය අත හැරලා උගන්වන්නේ.

මගේ ළමයින්ට මම ඉගැන්නුවේ වෙනස් ඉතිහාසයක්. අපි ලංකාවේ ගිහිල්ල පෙන්නුවේ වෙනස් ඉතිහායක්. රුවන් වැලි සය වගේම ලංකාවේ දෙමළ  මහා සෑයත් අපි එයාලට පෙන්නුවා .  ග්‍රීසියේ අලුත් කැණීම් කරන තැන පෙන්නුවා.  මෙහෙ පුවත් පත්වල මොනව කීවත් ඔවුන් පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා.  ඇෆ්ඝනිස්ථානයේ මුලිම් අන්තවාදීන් බාමියන් ප්‍රතිමා  විනාශ කල බව ඔවුන් දන්නවා .        

ලංකාවේ වාමාංශික විපක්ෂයටත්, මහාචාර්ය  නිර්මාල් දේවසිරි වැනි උගතුන්ටත්  මේ විෂය අනිවාර්ය කරන්න ඕනේ නම්,  සාධාරණ , අපක්ෂපාති, නිවැරදි ,  හැම වෙලාවේ ම යාවත්කාලීන වෙන, සෑම ජන වර්ගයකටම සාධාරණය හැකි තාක් ඉටු  කරන  ඉතිහාසයක්  අලුතින් ලියන්න .  ඒක උගන්වන්න.   විවේචනාත්මක චින්තනය (critical thinking ) ඒ සමගම උගන්වන්න .  සිසුන් ඒවා තෝරා බේරා ගනීවි. එක්සත් ජනපදයේ  ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෑම් වයින්බර්ග් කියන්නේ ඒ වගේ කතාවක් .  ඒ ලිපිය පහල තියනවා . 

ආගම  අනිවාර්ය කරනවනම්  බෞද්ධ, කතෝලික,  ඉස්ලාම් සහ හින්දු පාසැල් වලට අනිත් ආගම් ගැන උගන්වන්න කියන්න .  රජයේ පාසල් වල ප්‍රධාන ආගම් හතර ගැන හැම සිසුවෙකුටම උගන්වන්න එංගලන්තේ වගේ .  එයාලට වෙනම ඉගෙන ගන්න ඕනේ නම් ඉරිදා දහම් පාසැල් තියෙනවා ඒකට.

ඒ වගේ වෙනසක් නැතිව ඔය විෂයයන් අනිවාර්ය කරනවට මමනම් එකහෙළාම  විරුද්ධයි .   

කොළඹ ගමයා 24/07/2025


ලිපි ;

We’re Teaching History Wrong -සෑම් වයින්බර්ග් 

ඇමේසන් වනාන්තරයේ පැරණි නගර සංකීර්ණයක් .

ලෙනින් ගේ ජර්මන් දුම්රිය ගමන 

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා  විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය

Are we teaching history all wrong? UNB prof says we might be


 

ඉතිහාසය සහ කලාව උගනිමුද උගන්නමුද


ඉතිහාසය ගැන හොඳ උද්ධෘත පාඨ කිහිපයක් මතක් වෙනවා .  කොන්ෆියුසියස් කියල තියෙන්නේ "අතීතය ඉගෙන ගන්න, ඉන් අනාගතය තීරණය කරාවි" -කියල . චර්චිල් කියල තියෙනවා ,   "ඔබ බොහෝ ඈතට අතීතය දෙස එබී බලන සේම ඔබට අනාගතයටද  ඒ හා සමාන කාලයක් බැලීමට සිතේ" කියල.  හේගල් කියනව ,  "අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නේ අපි ඉතිහාසයෙන් ඉගෙන නොගත්  දේ" කියල . 

මගේ ප්‍රියතම ලේඛකයෙක් වන මයිකල් ක්‍රයිටන් කියල තියනවා, "ඔබ ඉතිහාසය දන්නේ නැත්නම්, ඔබ කිසිම  දෙයක් දන්නේ නැහැ. ඔබ හරියට තමන් ගහක කොටසක් බව නොදන්නා එම ගහේම  කොළයක් වගේ "  කියා .  නැපෝලියන් බොනපාර්ට් මාර  කතාවක් කියල තියෙන්නේ. "ඉතිහාසය කියන්නේ කලින් එකඟ වෙච්ච බොරු ගොඩක්ලු" .  කාල් මාක්ස් ඉතා ප්‍රසිද්ධ ලෙස ඓතිහාසික භෞතිකවාදය ඉදිරිපත් කලේ ඉතිහාසයෙන් ණයට අරගෙනනේ .  



මම ඉතිහාසයට  සෑහෙන්න කැමැති කෙනෙක් .  රජවරු ගැන, රජ කාලේ ගැන,  යුද්ධ ගැන හොයන්න් ,  කියවන්න .  ඉතිහාසය හරිම අලංකාර , පුදුමය දනවන විෂයක් .  අපි රුසියාව ,  ග්‍රීසිය , තුර්කිය ,  උස්බෙකිස්ථානය වගේ රටවල් වල මෙන්ම ම ලංකාවේ සංචාරය කරන කොටත්   විශේෂයෙන් ඓතිහාසික ස්ථාන හොයාගෙන  ගියා.  පොත පත ගත්ත .  කෞතුකාගාර පීරුව.  

අර ග්‍රීසියේ අලුත් පුරා විද්‍යාත්මක කැණීම් කරන තැන්වලට ගිහන් පින්තූර ත් දාහක් විතර අරගෙන තමා මතයක් ඉදිරිපත් කළේ , සමහර විට පුරාණ  ලංකාව එක්ක මිට වඩා එහා ගිය සබඳකමක් තිබිල තියෙන්න පුළුවනි  කියල .  සුදු ජාතික පුරා විද්‍යාඥයෝ (විශේෂයෙන් ප්‍රංශ )  සමහර සාක්ෂි ඕන කමින් විනාශ කරලා තියනව. නගර පිටින් .  ලැජ්ජාවට. අපට වඩා මුන් ශිෂ්ටාචාර වුනේ කොහොමද කියල .  ගණිතය විතරක් ඔලුවේ තියාගෙන පොරවල් කියල හිතාගෙන  උඩින් පල්ලෙන් නගරයක දෙකකට ගියාට ඉතිහාසය තේරෙන්නේ නැහැ .  මොකද ඒක හරියට හදාරන්න ඕනේ ගැඹුරු විෂයක් .  අපි තනියම පැය ගණන් පොත් අරන් කියවන්නෙත් ඒ නිසා . 

හැබැයි ඒ නිසාම මම හිතන්නේ ඉතිහාසය අනිවාර්ය විෂයක්  කළ යුතු නැහැ කියල.  කොටින්ම  ගණිතය සහ විද්‍යාව  වගේ තව කෙනෙකුට අමාරු කියල හිතෙන විෂයන් වුනත් අනිවාර්ය කල යුතු නැහැ. ගණිතය අසමත් වෙලා පන්ති කට් කරලා ජිවිතේ ඇන ගත්තු අය කොපමණ ඉන්නවද ?  මම සාහිත්‍යට සෞන්දර්ය, කළා ආදී විෂයන් හැම දේටම කැමතියි .  චිත්‍රපට බලනව ,  නාට්‍ය බලනවා.  ක්ලැසිකල් සින්දු ,  වාදන අහන්න යනවා,  නැටුම්, ඔපෙරා  බලන්න යනවා .  නමුත් එහෙම කරන්න අකමැති අයත් ඉන්නව ,  අපි ඒකත් පිළි ගන්න ඕනේ .   ඉතිහාසය වගේ ගැඹුරු විෂයන් ,  සෞන්දර්ය විෂයන් ඒවා ට කැමති අයට යි හදාරන්න දෙන්න ඕනේ.  විෂයන් දියුණු වෙන්නේ එහෙම .  අලුත් නිර්මාණ එකතු වෙන්නේ එහෙම .  

මම හිතන්නේ ලංකාවේ නම් සිංහලයි , දෙමළයි , ඉංග්‍රීසියි විතරයි අනිවාර්ය කරන්න ඕනේ කියල.  ඕනෙනම් සෞඛ්‍ය අධ්‍යාපනය , සහ භූගෝලය අනිවාර්ය කලාට කමක් නැහැ. ගණිතය , විද්‍යාව අසමත් වුනාට වෙනත් පැත්තකින් දක්ෂතා තියෙන අය මම ඕන තරම් දැකල තියනව .  ඇයි මේ ඒ වගේ විෂයන් දෙක තුනකින් ළමයෙක්ගේ අනාගතය තීරණය කරන්නේ . 

ලංකාවේ ඉරුදින පාසල් තියෙනවනේ හැම ආගමටම . ආගම ඉගෙන ගන්න කැමති අයට ඒවාට ගිය හැකි .  පාසලෙන් හැම ආගමක් ගැනම පොඩ්ඩක් ඉගැන්නුවම ඇති කියල මම හිතන්නේ .  

අග්‍රාමාත්‍ය හරිනි  අමරසූරිය මේ කතාවේ පැහැදිලිව කියනව ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් හලලා නැහැ ඒවා ඉලෙක්ටිව් සබ්ජෙක්ට් ලිස්ට් එක යටතේ තියනව කියල .  ඒ කියන්නේ කැමති කෙනාට ඒක  තෝරාගෙන කරන්න පුළුවන් කියල .  ඇත්තම ප්‍රශ්නේ තමා මෙපමණ කල් ,  තමන් දක්ෂ එකට නොව කරන්න  පුළුවන් ලෙහෙසියි කියල හිතන නිසා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් කරන  අය නේද ඉන්නේ .  ඒක නේද වෙනස් වෙන්න ඕනේ .   නැතිනම් අදාල ගණිත ,  විද්‍යා ගුරුවරු නැති නිසා හෝ  ඒ විෂයන් අමාරු නිසා ඉතිහාස කළා ධාරාවට  යනවා .  එහෙම අවශ්‍ය නැහැ .  දක්ෂ ළමයින්ට තෝරා  ගන්න දෙන්න . 

අග්‍රාමාත්‍ය හරිනි  අමරසූරිය ගේ කතාව 

කොළඹ ගමයා 18/07/2025 

   

හිසට සිදුවන අනතුරකදි(head injury) රෝහලේදී බලන්නේ මොනවාද?

 


 " ඔයා කිව්ව නිසා පුතා admit කරා. ඒත් මුකුත්ම කරේ නෑ. දවසක් තියාගෙන ප්‍රශ්නයක් නෑ කියලා ගෙදර එව්වා. අපරාදේ ගෙදරම තියාගන්න තිබුනා"


"Hospital එකේ මුකුත්ම කරේ නැද්ද?"


"සැරෙන් සැරේට ඇවිත් pressure එක බැලුවා. තව ඇස් වලට ටෝච් එකක් ගහලා බැලුවා විතරයි. පැනඩෝල් පෙත්තක්වත් දුන්නේ නෑ."


"හ්ම්ම්....."


"Scan එකක්වත් කරන්නේ නැතුව ඔලුව ඇතුලේ මුකුත් වෙලා නෑ කියලා කියන්නේ කොහොමද?"


දන්න කියන අවුරුදු 12 ක විතර පොඩි එකෙක් බයිසිකලෙන් වැටිලා ඔලුව බිම වැදිලා. ළමයගේ අම්ම කතා කරලා ඇහුවා මොකද කරන්න ඕනේ කියලා. 


අවධානමක් ගන්න බෑනේ. මම කිව්ව hospital එක්කන් යන්න කියලා. 


Hospital ගියාම admit වෙන්න කියලා. ඒ වෙලාවෙත් මට call කරා.

"මල්ලි පුතාව admit කරන්න කියනවා. Admit කරන්නේ නැතුව මුකුත් කරන්න බැරිද?"


"Hospital එකෙන් admit වෙන්න කියනවනම් admit වෙන්න"


Admit කරත් hospital එකේ පැය 24ක් තියාගෙන ගෙදර එවලා.  


අද අපි ඒ ගැන ටිකක් කතා කරමු. 😊


හිසට සිදුවන අනතුරකදි(head injury) රෝහලේදී බලන්නේ මොනවාද? 


Head Injury එකකදි වැදගත්ම දේ තමයි මොළයට හරි ස්නායු පද්ධතියට බලපෑමක් තියෙනවද කියල බලන එක. Head Injury එකකින් පස්සේ hospital එකට ගියාම මොළේට හානි වෙලාද නැද්ද කියලා තහවුරු කරගන්න ඕනේ. ඒකට විවිධ ක්‍රම භාවිත කරනවා. 


✅ අනතුරින් පස්සේ මොලයට හරි ස්නායු පද්ධතියට හානි උනාම ඇතිවෙන රෝග ලක්ෂණ තියෙනවද බලනවා. (වමනය, ඔලුව රිදීම, සිහිය නැති උනාද?, fit එක හැදුනද? එදිනෙදා හැසිරීම්වල වෙනස්කම් තිබෙනවාද? වගේ දේවල්)


✅ හිසේ තුවාල, ඉදිමුම්, හෝ ස්නායු පද්ධතියේ ගැටලු තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලනවා.


✅ අනතුරේ ස්වභාවය බලනවා - අනතුර උනේ කොහොමද, කවද්ද, ඒ වෙලාවේ තිබුණ වෙනත් ලක්ෂණ මොනවද කියලා අනතුරට ලක් උන කෙනාගෙන් හරි දැකපු කෙනෙක්ගෙන් හරි අහනවා.


💡 වැදගත්ම දේ hospital එකේදී Head Injury Observation Chart(HIOC) එකක් භාවිතා කරනවා. මේ chart එකෙන් වෛද්‍යවරු හෝ හෙදියන් නිතරම ඔයාගේ තත්ත්වය පරීක්ෂා කරනවා.

- ඔයාගේ හුස්ම, හදවතේ ගැස්ම, රුධිර පීඩනය වගේ දේවල් බලනවා.

- ඔයාගේ ඇස්වල ප්‍රතිචාර (pupils), බුද්ධිමය තත්ත්වය, හෝ හැසිරීමේ වෙනස්කම් බලනවා

- වමනය, හිසරදය වගේ ගැටලු ඇති වෙනවාද කියලා බලනවා 


මේ chart එකෙන් ඔයාගේ තත්ත්වය විධිමත්ව, විද්‍යාත්මකව බලනවා. ඒ නිසා රෝහලේ තියාගෙන හිටියා කියන්නේ නිකම් ඇඳක තියාගන්න එකම නෙමෙයි.


🚨හිසට සිදුවන අනතුරකදී පළවෙනි පැය 24  වැදගත් වෙන්නේ ඇයි?


හිසට සිදුවන අනතුරකදි මොළයේ තුවාල, ලේ ගැලීම්, ඉදිමුම් වගේ බරපතල ගැටලු එන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒවගේ රෝග ලක්ෂණ පළවෙනි පැය 24 ඇතුළත පෙන්නනවා. ඒ නිසා රෝහලේදී මේ කාලය තුළ ඔයාව පරීක්ෂා කරලා, අවදානමක් තියෙනවද කියලා බලනවා. මේක ඔයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් ඉතාම වැදගත් ක්‍රියාවලියක්! 💪


ඇයි හිසට අනතුරු වෙලා එන හැමෝටම CT scan කරන්නේ නැත්තේ?  

CT scan එකකින් මොළයේ තුවාල, ලේ ගැලීම්, හෝ ඉදිමුම් බලන්න පුළුවන්. ඒත් එක හැමෝටම කරන්න ඕන නෑ. ඒකට හේතු තියෙනවා.


⿡ විකිරණ (Radiation) බලපෑම

CT scan එකකින් X-ray කිරණ වැඩි ප්‍රමාණයක් අපේ ශරීරයට යනවා. විශේෂයෙන්ම පොඩි ළමයින්ට මේක බලපෑමක් කරන්න පුළුවන්.  


⿢ මොළයට හරි ස්නායු පද්ධතියට හරි හානියක් වෙන අවදානම අඩු නම් (රෝග ලක්ෂණ බරපතල නැත්නම්) CT scan එකකින් හොයාගන්න දෙයක් නැති වෙන්න පුළුවන්.  


⿣ වෛද්‍යවරු ජාත්‍යන්තර මාර්ගෝපදේශ (guidelines) අනුව තමයි CT scan එකක් ඕනද කියලා තීරණය කරන්නේ.  

පොඩි ළමයින්ටත් එහෙම තමයි.

ළමයින්ගේ හිසට සිදුවන අනතුරකදි එයාලට රෝග ලක්ෂණ හරියට කියන්න බැරි නිසා ටිකක් වැඩිපුර බලාගන්නවා. 

ඒත් ලක්ෂණ සාමාන්‍ය නම්, CT scan එකක් නැතුවත් ගෙදර යවන්න පුළුවන්.

ඕනෑම වෙලාවක ලක්ෂණ වල වෙනසක් වුණොත් (වමනය, හිසරදය, හැසිරීමේ වෙනස්කම් තියෙනව නම්) ඉක්මනින් රෝහලට එන්න! 🚑  

ඔබ කරන්න ඕන දේ.

✅ ගෙදර ගියාට පස්සේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න.  

✅ බය නොවී වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුගමනය කරන්න.  


📢 මේ ගැන තවත් දැනගන්න ඕන නම්, comment එකකින් අහන්න. 

📢 හැමෝටම දකින්න share කරන්න 


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න 

#HealthTips #HeadInjury #StaySafe #headijury_gayan

ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය androgen insensitive disorderතියෙන ජානමය වශයෙන් ස්ත්‍රින් වන අය ඉන්නවද


 

ප්‍රශ්නය  (ජගත් පතිරණ )  :  androgen insensitive disorderතියෙන ජානමය වශයෙන් ස්ත්‍රින් වන අය ඉන්නවද?

එයාලගේ යූනික රෝම වැවෙන්නේ නැද්ද?

පිළිතුර :  ඔබ ඔය සඳහන් කරන දොස්තර කුමාර කියන විශේෂඥ වෛද්‍ය විශේෂඥයා ගැන නම් මම දන්නේ නෑ නමුත් වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් දන්න විදිහට ඇත්තටම ඔබේ ප්‍රශ්නය ඉතා වැදගත් සහ සංකීර්ණ වෛද්‍ය තත්ත්වයක් ගැනයි.


අපේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (Androgen Insensitivity Syndrome - AIS) යනු ලිංගික වර්ධනයට බලපාන ජානමය තත්ත්වයක්.

ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (AIS) යනු

ඇන්ඩ්‍රොජන් (androgens) කියන්නේ ටෙස්ටොස්ටෙරෝන් වැනි පුරුෂ ලිංගික හෝමෝනයි. මෙම හෝමෝන ශරීරයේ පටක සමඟ නිසි ලෙස අන්තර්ක්‍රියා නොකරන විට Androgen Insensitivity Syndrome (AIS) තත්ත්වය ඇති වේ.

මෙයට හේතුව වන්නේ Androgen Receptor (AR) ජානයේ සිදුවන විකෘතිතාවන්.

AIS තත්ත්වය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා දැක්විය හැකියි.

ඒ සම්පූර්ණ ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (Complete Androgen Insensitivity Syndrome - CAIS)

මෙම තත්ත්වය ඇති පුද්ගලයන්ට ජානමය වශයෙන් XY (පිරිමි) වර්ණදේහ ඇත. එනම්, ඔවුන්ට Y වර්ණදේහය සහ ඒ හා සම්බන්ධ SRY ජානය ඇති බැවින් වෘෂණ (testes) වර්ධනය වේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ශරීරය ඇන්ඩ්‍රොජන් හෝමෝන වලට කිසිසේත් ප්‍රතිචාර නොදක්වන නිසා, බාහිර ලිංගික අවයව සම්පූර්ණයෙන්ම ස්ත්‍රී ස්වභාවයක් ගනී. එනම්, ඔවුන් ගැහැණු ළමයින් ලෙස උපත ලබා, ගැහැණු ළමයින් ලෙසම ඇති දැඩි වේ.ඔවුන්ට ගර්භාෂයක් හෝ ඩිම්බ කෝෂ (ovaries) නොමැත. ඒ වෙනුවට, ඔවුන්ගේ ශරීරය තුළ හෝ උදරය තුළ වෘෂණ සැඟවී තිබිය හැකියි.

මෙම තත්ත්වය බොහෝ විට හඳුනා ගනු ලබන්නේ, යොවුන් වියේදී ඔසප් වීම ආරම්භ නොවීම (primary amenorrhea) හෝ ඉකිලි ප්‍රදේශයේ ඇතිවන ගෙඩි (inguinal hernia) පරීක්ෂා කිරීමේදීයි.

ඒ වගේම අර්ධ ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (Partial Androgen Insensitivity Syndrome - PAIS):

මෙම තත්ත්වය ඇති පුද්ගලයන්ගේ ශරීරය ඇන්ඩ්‍රොජන් හෝමෝන වලට අර්ධ වශයෙන් ප්‍රතිචාර දක්වයි.

මේ නිසා, ඔවුන්ගේ බාහිර ලිංගික අවයව ස්ත්‍රී, පුරුෂ හෝ අන්තර්ලිංගික (ambiguous genitalia) ස්වභාවයක් ගත හැකියි.මෙම තත්ත්වය ඇති පුද්ගලයන් ගැහැණු හෝ පිරිමි ලෙස ඇති දැඩි කළ හැකි අතර, ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය ද විවිධ විය හැකියි.

යෝනි රෝම (pubic hair) වර්ධනය සහ AIS

ඔබගේ ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරු දෙන්නේ නම්:

CAIS (සම්පූර්ණ ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය) ඇති පුද්ගලයන්ට යෝනි රෝම (pubic hair) සහ කිහිලි රෝම (axillary hair) වර්ධනය ඉතා අඩුවෙන් හෝ කිසිසේත් සිදු නොවේ.

මෙයට හේතුව වන්නේ යෝනි රෝම සහ කිහිලි රෝම වර්ධනයට ප්‍රධාන වශයෙන් ඇන්ඩ්‍රොජන් හෝමෝන (ටෙස්ටොස්ටෙරෝන් වැනි) අවශ්‍ය වීමයි. CAIS ඇති පුද්ගලයන්ගේ ශරීරය මෙම හෝමෝන වලට කිසිසේත් ප්‍රතිචාර නොදක්වන නිසා, මෙම රෝම වර්ධනය සිදු වන්නේ නැහැ.

කෙසේ වෙතත්, පියයුරු වර්ධනය සහ ශරීරයේ මේදය බෙදී යාම වැනි ස්ත්‍රී ද්විතියික ලිංගික ලක්ෂණ සාමාන්‍ය පරිදි වර්ධනය විය හැකියි. මන්දයත්, මෙම ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් (estrogen) හෝමෝන මත රඳා පවතින අතර, වෘෂණ මගින් නිෂ්පාදනය වන ඇන්ඩ්‍රොජන් හෝමෝන ශරීරය තුළ ඊස්ට්‍රජන් බවට පරිවර්තනය වීම මෙයට හේතුවයි,

PAIS (අර්ධ ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය) ඇති පුද්ගලයන්ට යෝනි රෝම සහ කිහිලි රෝම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් වර්ධනය විය හැකියි. ඔවුන්ගේ ශරීරය ඇන්ඩ්‍රොජන් වලට අර්ධ වශයෙන් ප්‍රතිචාර දක්වන බැවින් මෙය සිදු වේ.

ජානමය වශයෙන් ස්ත්‍රීන් (XX) වන අයට AIS ඇති විය හැකිද?

සාමාන්‍යයෙන්, ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (AIS) ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජානමය වශයෙන් XY වර්ණදේහ සහිත (පිරිමි) පුද්ගලයන්ටයි. එයට හේතුව වන්නේ මෙම තත්ත්වය ඇති වන්නේ AR ජානයේ විකෘතිතාවන් නිසා වන අතර, මෙම ජානය X වර්ණදේහයේ පිහිටා තිබීමයි.

ජානමය වශයෙන් ස්ත්‍රීන් (XX) වන පුද්ගලයන්ට සාමාන්‍යයෙන් AIS තත්ත්වය ඇති වන්නේ නැහැ. මන්දයත්, ඔවුන්ට X වර්ණදේහ යුගලයක් ඇති අතර, එක් X වර්ණදේහයක AR ජානය විකෘති වුවද, අනෙක් X වර්ණදේහයේ ඇති සාමාන්‍ය AR ජානය ක්‍රියාකාරී විය හැකි බැවිනි. එබැවින්, ජානමය වශයෙන් XX ස්ත්‍රීන්, මෙම තත්ත්වයේ වාහකයන් (carriers) විය හැකි නමුත්, ඔවුන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. කෙසේ වෙතත්, ඔවුන්ගේ දරුවන්ට මෙම ජානය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතිනවා.

සාරාංශයක් ලෙස, යූනික රෝම (pubic hair) වර්ධනය නොවීම හෝ ඉතා අඩුවෙන් වර්ධනය වීම, සම්පූර්ණ ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (CAIS) හි ප්‍රධාන ලක්ෂණයකි. මෙම තත්ත්වය ඇති පුද්ගලයන් ජානමය වශයෙන් XY (පිරිමි) වන නමුත්, බාහිරව ගැහැණු ස්වරූපයක් ගන්නා බැවින්, ඔවුන් "ජානමය වශයෙන් ස්ත්‍රීන් වන අය" ලෙස වැරදියට වටහා ගත හැකියි.

ඔබට මේ ගැන තවත් ප්‍රශ්න තිබේද?

ප්‍රශ්නය :  ඉන්ටර්සෙක්ස් (පරණ නම Hermaphrodite) කියන්නේ ඒ අයට නෙමෙයිද ? ඒ අය ගැහැණු කියලයි මම දන්නේ හෝ දැනන් හිටියේ, 


ප්‍රශ්නය :  X වර්ණදේහ දෙකේම ඔය දෝශය තියෙන අය හොයාගෙන තියෙනවද? එහෙම අයගේ යූනික රෝම නැතිද?

 අමකර ප්‍රශ්නයක් jazz jennings, kim petras වැනි යෞවනෝද වාරක(හරිද මන්දා?) ඖෂධ ගත්ත ට්‍රාන්ස් ස්ත්‍රයකගේ යූනික රෝම ප්‍රමාණය සිස් ස්ත්‍රියකට වඩා අඩු හෝ නැතිද?



පිළිතුර : මෙතන ඉතා සංකීර්ණ ප්‍රශ්න කිහිපයක් එකවර ඉදිරිපත් කර තිබෙනවා. මම ඒවා කොටස් වශයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නම්.

අන්තර්ලිංගිකත්වය (Intersex) සහ AIS ගැන ප්‍රශ්නය ඉතා වැදගත්. අන්තර්ලිංගිකත්වය (Intersex) හෝ පෙර භාවිත කළ හර්මාෆ්‍රොඩයිට් (Hermaphrodite) යන යෙදුමෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ, උපතේදී ස්ත්‍රී හෝ පුරුෂ ලිංගික ලක්ෂණවල සම්පූර්ණ අර්ථ දැක්වීම්වලට නොගැලපෙන ප්‍රජනක හෝ ලිංගික ව්‍යුහයන් සහිත පුද්ගලයන්.


ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (AIS) අන්තර්ලිංගික තත්ත්වයන්ගෙන් එකක්. විශේෂයෙන්ම, සම්පූර්ණ ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (CAIS) ඇති පුද්ගලයන් බාහිරව සම්පූර්ණයෙන්ම ස්ත්‍රී ස්වභාවයක් ගන්නා නිසා, ඔවුන් ගැහැණු ළමයින් ලෙස හඳුනාගෙන ඇති දැඩි කරනු ලබනවා. කෙසේ වෙතත්, ජානමය වශයෙන් ඔවුන් XY (පිරිමි) වර්ණදේහ සහිතයි. ඔවුන්ට ගර්භාෂයක් හෝ ඩිම්බ කෝෂ (ovaries) නොමැති අතර, වෘෂණ (testes) ශරීරය තුළ තිබිය හැකියි. ඔවුන්ට ඔසප් වීම ද සිදු වන්නේ නැහැ.

ඔබ "ඒ අය ගැහැණු කියලයි මම විශ්වාස කරන්නේ" යැයි පැවසීම නිවැරදියි. මන්දයත්, CAIS සහිත බොහෝ පුද්ගලයන් ස්ත්‍රියක ලෙස හඳුනාගෙන ජීවත් වන අතර, ඔවුන්ගේ සමාජ ලිංගිකත්වය (gender identity) ස්ත්‍රී වන බැවිනි. අන්තර්ලිංගික පුද්ගලයන් යනු ලිංගික වර්ධනයේ යම් විචල්‍යතාවක් සහිත පුද්ගලයන් වන අතර, ඔවුන් ස්ත්‍රී, පුරුෂ හෝ වෙනත් ලිංගික අනන්‍යතාවයක් සහිත විය හැකියි.


ඊළඟට ජගත් අහපු X වර්ණදේහ දෙකේම දෝෂ සහිත AIS ගැන ජගත්ගෙ දෙවන ප්‍රශ්නය ඉතා විශේෂිතයි. ඇන්ඩ්‍රොජන් අසංවේදීතා සින්ඩ්‍රෝමය (AIS) ඇති වන්නේ X වර්ණදේහයේ පිහිටා ඇති Androgen Receptor (AR) ජානයේ සිදුවන විකෘතියක් නිසයි.


ජානමය වශයෙන් XX (ගැහැණු) වර්ණදේහ සහිත පුද්ගලයන්ට සාමාන්‍යයෙන් AIS තත්ත්වය ඇති වන්නේ නැහැ. මන්දයත්, ඔවුන්ට X වර්ණදේහ දෙකක් ඇති බැවින්, එක් X වර්ණදේහයක AR ජානය විකෘති වුවද, අනෙක් X වර්ණදේහයේ ඇති සාමාන්‍ය AR ජානය ක්‍රියාකාරී විය හැකි අතර, එය හෝමෝන සංවේදීතාව සඳහා ප්‍රමාණවත් වේ. එබැවින්, XX ස්ත්‍රීන් සාමාන්‍යයෙන් මෙම තත්ත්වයේ වාහකයන් (carriers) වනවා මිස රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.


කෙසේ වෙතත්, අතිශය දුර්ලභ අවස්ථාවන්හිදී, X වර්ණදේහ දෙකේම AR ජානයේ දෝෂ තිබෙන පුද්ගලයන් සොයාගෙන තිබෙනවාද යන්න පිළිබඳව විද්‍යාත්මකව තහවුරු වූ වාර්තා මා සතුව නැහැ. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදී AIS යනු XY වර්ණදේහ සහිත පුද්ගලයන්ට බලපාන තත්ත්වයක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. XX පුද්ගලයන්ට ඇන්ඩ්‍රොජන් ප්‍රතිචාර දැක්වීමේ වෙනස්කම් ඇති කළ හැකි වෙනත් දුර්ලභ තත්ත්වයන් (උදා: Addison's disease වැනි අධිවෘක්ක ග්‍රන්ථි ආබාධ) තිබුණද, ඒවා AIS ලෙස සෘජුවම වර්ගීකරණය වන්නේ නැහැ.


යූනික රෝම වර්ධනය වෙන්න නම් ප්‍රධාන වශයෙන් ඇන්ඩ්‍රොජන් හෝමෝන අවශ්‍ය වන බැවින්, AIS හි සම්පූර්ණ ස්වරූපය (CAIS) ඇති අයට යූනික රෝම කිසිසේත්ම වර්ධනය වන්නේ නැහැ. X වර්ණදේහ දෙකේම දෝෂයක් සහිතව, ඇන්ඩ්‍රොජන් වලට සම්පූර්ණ අසංවේදීතාවයක් ඇති XX පුද්ගලයෙකු සිටියා නම් (මෙය අතිශය දුර්ලභ උපකල්පනයකි), ඔවුන්ටද යූනික රෝම වර්ධනය සිදු නොවෙයි


ට්‍රාන්ස් ස්ත්‍රීන්ගේ යූනික රෝම වර්ධනය (Jazz Jennings, Kim Petras වැනි අය)

යෞවනෝද වාරක (puberty blockers) යනු හෝමෝන ප්‍රතිකාරයේ කොටසක් ලෙස ලිංගික පරිණතිය ප්‍රමාද කිරීමට හෝ නැවැත්වීමට යොදා ගන්නා ඖෂධයි. ට්‍රාන්ස් ස්ත්‍රීන් (උපතේදී පුරුෂ ලිංගික ලක්ෂණ ඇති නමුත් ස්ත්‍රියක ලෙස හඳුනා ගන්නා අය) හෝමෝන ප්‍රතිකාර ආරම්භ කරන විට, ඔවුන්ට ඊස්ට්‍රජන් (estrogen) හෝමෝන ලබා දෙන අතර, සමහර විට ඇන්ඩ්‍රොජන් වාරක (anti-androgens) ද ලබා දෙනු ලබනවා.


මෙම හෝමෝන ප්‍රතිකාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීම සහ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නැංවීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස:


යූනික රෝම (pubic hair) සහ ශරීරයේ අනෙකුත් රෝම වර්ධනය දැඩි ලෙස අඩු වේ. ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු වන නිසා, රෝම කූප වලට ඇන්ඩ්‍රොජන් බලපෑමක් ඇති වන්නේ නැහැ.


සමහර විට, දැනටමත් වර්ධනය වී ඇති රෝම පවා තුනී වී වර්ධනය අඩාල විය හැකියි.


කෙසේ වෙතත්, සිස් ස්ත්‍රියකගේ (උපතේදී ස්ත්‍රී ලිංගික ලක්ෂණ ඇති සහ ස්ත්‍රියක ලෙස හඳුනා ගන්නා අය) සාමාන්‍ය යූනික රෝම ප්‍රමාණයට ට්‍රාන්ස් ස්ත්‍රියකගේ යූනික රෝම ප්‍රමාණය පත්වීම රඳා පවතින්නේ ප්‍රතිකාරයේ සාර්ථකත්වය, කාලසීමාව සහ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිචාරය මතයි.


සාමාන්‍යයෙන්, සිස් ස්ත්‍රියකගේ මෙන් ඝනකම් යූනික රෝම වර්ධනයක් ට්‍රාන්ස් ස්ත්‍රියකගේ සිදු වන්නේ නැහැ. ඔවුන්ට රෝම ඉවත් කිරීමේ (hair removal) ප්‍රතිකාර ද අවශ්‍ය විය හැකියි.


කෙසේ හෝ වත්මන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මතුව ඇති බරපතල ගැටලු සහ අර්බුදයක් මැනවින් නිරූපණය කරනවා, මෙහිදී මූලික ගැටලුව වන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික විස්තර නොදන්නා "අල්ලස් හා දූෂණ" සොයන ආයතනයක් වැනි පාර්ශවයන්, වෛද්‍ය විද්‍යාවේ සංකීර්ණතා පිළිබඳව නිසි අවබෝධයකින් තොරව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීය කටයුතුවලට අත පෙවීමට උත්සාහ කිරීමයි.


මෑතකදී ජපුර රෝහලේ වැරදි කර ඇති බවට චූදිත වෛද්‍යවරියක පිළිබඳව වූ සිදුවීමේදී ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියෙන් පැහැදිලි වන්නේ මෙම තත්ත්වයේ බරපතලකමයි:


වෛද්‍ය විශේෂඥයින්ගේ විශ්ලේෂණයකින් තොරව සිදු කරන ඇතැම් සාවද්‍ය සහ සමහරවිට අගතිගාමී අදහස් දැක්වීම් ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මහජනතාවගේ මනස තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳව සැලකිය යුතු සැක සංකා ඇති කරනවා. මෙය ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන් අතර කාංසාව ඉහළ නැංවීමටත් හේතු වනවා.


මෙම අදහස් දැක්වීම් මඟින් වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රතිරූපයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවාවට අපහාස කිරීමට උත්සාහ දරන බව AMS අවධාරණය කරනවා.


AMS මෙය "අනාරක්ෂිත ප්‍රවණතාවයක්" ලෙස හඳුන්වන්නේ, එය වෛද්‍ය වෘත්තියේ ස්වාධීනත්වයට සහ විශ්වාසනීයත්වයට තර්ජනයක් වන බැවින්. ඔවුන් පූර්ණ පරීක්ෂණයක් සහ විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ඉල්ලා සිටින්නේ, වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ රෝගීන්ගේ සැක සංකා සමනය කිරීමටයි.


අද වෙන කොට වෘත්තිය වැරදි කරපු බවට චූදිත විශේෂඥ වෛද්‍යවරියකට විරුද්ධව පර්යේෂණ කරන්නේ ඒ පිළිබඳව නිසි තාක්ෂණික අවබෝධය තබා මූලික විද්‍යාත්මක තබා සෞඛ්‍ය සේවාවේ ක්‍රියා පටිපාටිය ගැනවත් කිසිම ආකාරයක අවබෝධයක් නැති “අල්ලස් සහ දූෂණ” සොයන ආයතනයක්. මේ ගැන එම ආයතනයේ බලධාරීන් මාධ්‍ය වලට පවසා ඇති බොහෝ විසුළු ප්‍රකාශ වලින් පැහැදිලිවම පේනවා


මම විද්‍යාත්මක වචන අතහැර සාහිත්‍යයෙන් කියන්නම් ලේසිම ක්‍රමය ඒක නිසා


ඇත්තටම මේ ආණ්ඩුවටත් කෙළවෙන්නේ රටේ බහුතර "බයියන්ට" මෙහෙම බයි ආතල් දෙන්න දඟලන මේ “අල්ලස් සහ දූෂණ” සොයන ආයතනය වගේ තකතීරු මෝඩයන් ෆෝම් කරන නිසා – මේ ආයතනයේ නිළධාරිනුත් දැන් නහුතෙට ෆෝම් වෙලා ඉන්නේ! කුලප්පු වෙච්ච පට්ටි හරක් රැලක් වගේ හතර වටේට අනිනව! තමන් දිහා බැලුවත් තර්ජනය කලා කියලා හිරේ දාන තත්වයක් තියෙන්නේ! – හැම ආණ්ඩුවකට බයි දේශපාලන සංස්කෘතිය තුල මේ ආකාරයේ පීක් සීසන් (Peak season) එකක් තියෙනව! මේ සීසන් එක වැඩිම කාලයක් තිබුනේ මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට තිබුනේ අවුරුදු එක හමාරක්, 2 ක් විතර, මේ ආණ්ඩුවට ඊටත් අඩු වෙන්නත් පුලුවං, බයියන්ට ආතල් දී උන්ව ෆෝම් කරන එක නම් අතිශයින්ම භයානකයි කියලා වගකීමෙන් යුතුව කියන්න පුළුවන් පහුගිය දශක දෙකක පමණ කාලයක අත්දැකීම් අනුව.


කතෘ අඥාතයි   






ප්‍රධාන පෙළේ රෝහලක *විශේෂඥ වෛද්‍යවරයෙක්* ගේ ලිපියක්



 *ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් වෙත,*


*මහත්මයාණනි / මහත්මියනි,*


කලකට පසු ඔබ සෑම දෙනා අමතා ලිපියක් එවීමට නොහැකි වීම ගැන මම මහත් කනගාටුවට පත් වෙමි. එහෙත්, වර්තමාන සෞඛ්‍ය සේවාව පත්වී ඇති ඛේදජනක තත්ත්වය ගැන වචනයක් හෝ නොලිව්වොත් මම මගේ යුතුකම ඉටු නොකළා යැයි මා හට හැඟෙන නිසා, මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි.


මහත්වරුනි, මම ඔබතුමන්ලා යටතේ පාලනය වන්නාවූ ප්‍රධාන පෙළේ රෝහලක *විශේෂඥ වෛද්‍යවරයෙක්* වෙමි. නිදහස් අධ්‍යාපනය මඟින්, තරගකාරී විභාගයකින් වෛද්‍ය විද්‍යාලයට තේරී වසර ගණනාවක් එහි කාලය ගතකොට, එහිදීද ඉතා උසස් අයුරින් සමත්වී, වෛද්‍ය පශ්චාත් උපාධියක්ද ලබා, විදේශ ගත පුහුණුවක්ද ලබා, විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස වසර *දහඅටක* කාලයක පටන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දිවයිනේ ප්‍රධානතම රෝහලක සේවය කරමි. එම පුහුණුවට සහ මගේ හැකියාවට අනුව ඉතා ඉහළ වැටුපකට විදේශ ගත රෝහලක හෝ විශ්ව විද්‍යාලයක හොඳ රැකියාවක් කළ හැකි වුවද, ප්‍රවේණිගතව පවතින දැඩි *දේශප්‍රේමය* නිසා, මෙරටට පැමිණ දහසකුත් එකක් අපහාස මැද දැනට දශක දෙකකට ආසන්න කාලයක් මෙහිම සේවය කරමි.


එහිදී මාගේ රාජකාරිය අනෙකුත් සියලුම වෛද්‍යවරුන් මෙන්ම ඉතා *අවංකව* මෙන්ම *කාර්යක්ෂම* අන්දමින් ඉටු කර ඇති අතර හැකි සෑම විටකදීම සෞඛ්‍ය සේවය දියුණු කිරීමට හැකි පමණ ක්‍රියාත්මක වී ඇත. විශේෂයෙන්ම, ඉතා දරුණු බැක්ටීරියා ආසාදන සඳහා අවශ්‍ය උපදෙස් රට වටේ ඕනෑම වෛද්‍යවරයෙකු හට ලබා දී රෝගීන් සුවපත් කිරීමට දායක වී ඇත්තෙමි. එමෙන්ම, මා සතු දැනුම නොවලහා සෑම විටකදීම ලබා දී ඇත්තෙමි.


සැමවිටම මගේ රාජකාරිය අකුරටම සිදු කර ඇති අතර මම තවදුරටත් එය සිදු කිරීමට නොපැකිලව ශපථ කරමි. එහෙත්, මම දැන් වියපත් වී ඇත්තෙමි. ඉස්සර මෙන් දුව පැන සේවය කිරීමට නොහැකි වුවද, තව වසර හත අටක් හොඳින් සේවය කළ හැකියි. ඒ සඳහා කිසිදු අමතර පහසුකමක් ඉල්ලීමට බලාපොරොත්තු නොවන අතර, මම එක ඉල්ලීමක් ඔබ සැමගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙමි.


මාගේ රාජකාරී ස්වරූපය අනුව දැඩි සත්කාර ඒකක තුළ ඉතා දරුණු ආසාදනවලින් පෙළෙන, මියැදෙන සිය ගණන් රෝගීන් දැක ඇත. බොහොමයක් රෝගීන් එදිනෙදා ජීවත් වීමට පවා මුදලක් නැති අයයි. රජයේ රෝහල්වලින් ලැබෙන සේවාවන් සහ නොමිලේ ලැබෙන ඖෂධ නොමැති වුවහොත් අනිවාර්යයෙන් ඔවුන් මිය යනු ඇත. විශේෂයෙන්ම, මේ කාලයේ රෝහල් තුළ *ප්‍රතිජීවක ඖෂධ හිඟ* බැවින් ඔවුන්ගේ ජීවිතවලට මහත් වූ තර්ජන ඇති වී ඇත. එහිදී, ඇතැම් ප්‍රතිජීවක ඖෂධ නොලැබී යාම නිසා ඔවුන්ගේ ජීවිතවලට හානි වීම වැළැක්වීමට අනිවාර්යයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා පිටතින් බෙහෙත් ලබා ගැනීම පිණිස *තුඬු (වට්ටෝරු)* ලබා දීමට සිදුවේ. ඒ අදාළ ඖෂධ රෝහල් තුළ නොමැති වූ විට පිටතින් ලබා ගැනීම හැර වෙන කිසිම විකල්පයක් නොමැති නිසාය. මා හට අධිකරණයෙන් හානියක් සිදුවිය හැකි වුවද, රෝගීන්ගේ සුව පිණිස එය කළ යුතුමය. හිරේ දහසක දැමුවද මට මගේ යුතුකම මඟ හැරිය නොහැක. පිටතින් තුඬු මඟින් ඖෂධ ලබා ගැනීමට කොතරම් බාධා දැමුවද, රෝගීන්ගේ සුව පිණිස එය කළ යුතු නම්, කිසිම පැකිලීමකින් තොරව එය කරන්නෙමි. එලෙස සිදු කොට රෝගී සුව සහනය ලබා දෙන්නෙමි. *මාර දෙව් වෙත අභියෝග කරන්නෙමි.*


එහෙත්, මා හට ඔබතුමන්ලාගෙන් එක ඉල්ලීමක් කිරීමට ඇත. එලෙස ඔබතුමන්ලා විසින් අනුමත නොකරන, මෙම රජයේ හිඟ බෙහෙත් පිටතින් ගෙන්වා ගැනීම සඳහා තුඬු ලබා දී, යම් හේතුවක් නිසා සැකයක් හෝ යම්කිසි වැරදීමක් නිසා, මා හට *රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට සිදුවුවහොත්*, අඩුම ගණනේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්, මාගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන තුරු රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී පහත සඳහන් දේ ලබා දෙන මෙන් ඉල්ලමි:


* දැන් මම වයසයි. ඒ නිසා මට *නිදා ගැනීමට පැදුරක්* අවශ්‍යයි.

* මදුරුවන්ගෙන් බේරෙන්න *මදුරු කොයිල්* එකක් රිමාන්ඩ් එකේ සිටින සෑම රාත්‍රියකටම එක බැගින් අවශ්‍යයි.

* මට රිමාන්ඩ් එකේ සිටින විට, *සමාජ විරෝධී ක්‍රියා* වලට රිමාන්ඩ් ගත වූවන් සමඟ එකට සිටිය නොහැක. ඒ නිසා පුළුවන් නම් වෙනම සිටීමට ඉඩ සලස්වන්න. මා වැනිම, මෙම හේතුව නිසාම රිමාන්ඩ් ගත වූ වෛද්‍යවරුන් සිටී නම්, මට ඔවුන් සමඟ සිටීමට සලස්වන්න.

* මම දවසකට එක වේලක් හරි හොඳින් ආහාර ගන්නා කෙනෙකි. ඒ නිසා, *කල්දේරම් බත් වෙනුවට ගෙදරින් බත් එකක්* ගෙනත් කන්නට ලබා දෙන්න. එසේ බැරිනම්, *පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera and Sons) එකෙන් වත් චිකන් බත් එකක්* ලබා ගැනීමට උදව් කරන්න.

* ඒ වගේම මගේ *දුරකථනය මා ළඟ තබා ගැනීමට* ඉඩ ලබා දෙන්න. මන්දයත් මාගේ සියලුම දේ ඒ තුළ ඇති නිසාත්, අන්තර්ජාලය මඟින් බොහෝ දැනුම් මා ලබා ගන්නා නිසාත්ය. එහි බිල නම් මට ගෙවීමට පුළුවන්.

* පුළුවන්කමක් තිබේ නම්, මා වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් *නීතිඥයෙකු* ලබා දෙන්න. එහෙමවත් බැරිනම්, එකත් මම කරගන්නම්. හැබැයි, එතුමාගේ ගාස්තුව ගෙවීමට මට *විපත් ණය (Distress Loan)* වත් ලබා ගැනීමට උදව් කරන්න.


ඉතින් මහත්වරුනි, මේ වගේ දෙයක් මට ලියන්නට හිතුණේ, මම, සහ අතීතයේ සිටි වෛද්‍යවරුන් මෙන්ම වර්තමානයේ සිටින වෛද්‍යවරුන් මෙන්ම, කෙතරම් ගැරහීමකට ලක් වුවද *සේවය පිණිසම කැපවී* සිටින නිසාය.


එමෙන්ම, මා මාගේ *සමාජ මාධ්‍ය මිතුරන් (බුකිවාසී සියලු දෙනාගෙන්)* ඉල්ලා සිටින්නේ, මම රිමාන්ඩ් ගත වුවහොත්, ඒ මා විසින් කරන ලද *දුෂණයක්* නිසා නොව, *රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන්* වෛද්‍යවරයෙකුගේ සේවය ඉටු කිරීමට ගිය නිසාය. ඒ නිසා, පුළුවන් නම් පමණක්, මා ගැන නොලියා සිටින්න.


මෙයට, ඔබේ විශ්වාසී,

සේවක,

*විශේෂඥ වෛද්‍ය මහෙන් කොතලාවල*


කෙහෙළිය ගේ කතාව

 උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.

හොර කෙහෙළිය 01
මාධ්ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්රී චන්ද්රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්රතිදේහජනක ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනා අබේවික්රම නියෝග නිකුත් කළාය.
මේ වනවිට මෙම සිදුවීමට අදාළව අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්රනාන්දු, වෛද්ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක, සහකාර අධ්යක්ෂ දේවශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. දැන් අප අසන්නේ මෙම වංචාවට වගකිවයුතු පුද්ගලයින් සියල්ල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතිද යන්නයි.
අපට දැනට ලැබෙන තොරතුරු අනුව තව තිදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත යුතුය. ඔවුන් නම් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර ය. ඒ අනුව ලැබෙන තොරතුරු කියන්නේ හිටපු සෞඛ්ය අමාත්යවරයා ඇරෙන්නට ඉදිරි දින කිහිපය තුළ අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගන්නට බොහෝදුරට ඉඩ ඇති බවය. මේ ලිපිය ලියන පසුගිය දෙසැම්බර් 20 දා සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්රකාශයක් සටහන් කරගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව දෙවන වරටත් ඔහුගේ කාර්යාල කාමරය පරීක්ෂාවට ලක්කර ඇත.
මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට කළ යුතුයැයි අප කියන්නේ ඇයි? එයට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින තොරතුරු බොහෝමයක් අප සතුවද පවතින නිසා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තොරතුරු තිබුණත් ක්රියාත්මක වන්නට දේශපාලන බලාධිකාරය ඉඩ දෙන්නේ නැති වග එහි සිදුවෙන සමහර දේවල්වලින් පෙනෙයි. ඒ අනුව මුල්ම පරීක්ෂණ කණ්ඩායමද දැන් වෙනස්ව ඇති බවට කරුණු වාර්තා වෙයි. නීතිපති දෙපාර්තමේන්තුව තුළ තත්ත්වයද එයමය. එනිසා මෙම පරීක්ෂණ ක්රියාවලිය තවමත් ඉදිරියට යන්නේ නොන්ඩි ගසමින් ය.
කෙහෙළිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?
පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේදී හිටපු සෞඛ්ය ලේකම්වරයා වෙනුවෙන් උසාවියේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්රකාශ කර ඇත්තේ තම සේවාදායකයා නිකලැල් චරිතයකින් හෙබි අමාත්යාංශ ලේකම්වරයෙකු බවය. ඔහු වෙත පවරනු ලැබූ රාජකාරී ඔහු සිදු කළා හැර, වෙනත් අපරාධයක් කර නැතැයි යන්න ය. මේ ප්රකාශයට අනුව කල්පනා කරන විට සිතට නැඟෙන පැනය වන්නේ, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු නිකැළැල් මෙම ලේකම්වරයාට රාජකාරි පැවරුවේ කවුරුන්ද යන්නයි. රාජ්ය යාන්ත්රණ බල ධුරාවලියට අනුව නම් එම පුද්ගලයා සෞඛ්ය අමාත්යවරයා විය යුතු ය.
ජනතාව විසින් එලවා දමනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් අමාත්ය ධුර හතක් එහෙට මෙහෙට අනමින් 2021 අගෝස්තු 16 කැබිනට් සංශෝධනයක් සිදුකරන අතර එහිදී කොවිඩ් මර්දනය කරන්නට මුට්ටි ගඟට විසිකළ ඇමතිනී පවිත්රා අත පත්කර තිබුණ සෞඛ්ය ඇමති ධුරය ඇයගෙන් ගලවා කෙහෙළිය රඹුක්වැල්ලට දෙන්නට කටයුතු කළේය. එතෙක් ජනමාධ්ය ඇමති ධුරයේ කටයුතු කරමින් ආණ්ඩුවේ කුණු සෝදමින් සිටි කෙහෙළිය රඹුක්වැල්ලට මේ ඇමති මාරුව කල්ල මරේ වුණාට කිසිදු සැකයක් නැත.
නියම සැලසුම
මෙම බෙහෙත් මගඩිය හරි අපූර්ව සැලැස්මකට අනුව ක්රියාත්මක වී ඇත. පිළිකා රෝගීන්ට වතුර එන්නත් කළාට කමක් නැත. එයින් යම් කිසි දෙයක් සිද්ධවී එම රෝගියා මියගියත් එය පිළිකාවේ පැතිරීම නිසා සිදුවුණ මරණයක් බව ප්රකාශ කරමින් හොරුන්ට ගැළවී යා හැකිය. ඒ අනුව රාජ්ය මුදල් ගසා කෑම සඳහා හොඳම බෙහෙත් වර්ග මොනවාදැයි තෝරාබේරාගෙන ඇත. එම මුල් බෙහෙත් වර්ග ලිස්ට් එක 182ක් තරම් දිගය. මේ සියල්ල ආරම්භ වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්ය අමාත්ය ධුරයේ වැඩ භාරගත් පසුවය.
වියත්මගෙන් ඖෂධ නියාමන අධිකාරියට පැමිණ සිටි සභාපතිවරයා මෙන්ම තවත් කිහිපදෙනෙක් එම තනතුරුවලින් ඉවත්කරමින් වැඩ ආරම්භ කරන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා අනතරුව එම ධුරය සඳහා මෙන්ම ප්රධාන විධායක ධුරය සඳහා ද තමන්ට අවශ්ය පුද්ගලයින් පත්කර ඇත. මෙම පත්වීම් අතරින් ඖෂධ නියාමන අධිකාරියේ දෙවෙනියා සේ සලකන ප්රධාන විධායක තනතුරට පත්කරන වෛද්ය විජිත් ගුණසේකර කැපී පෙනෙයි. ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන කෙහෙළිය රඹුක්වැල්ල එහි සංයුතිය පූර්ණය කරන්නේ නැත. 13 දෙනෙකු පත්විය යුතු අධ්යක්ෂ මණ්ඩලයට පත්වන්නේ 8 දෙනෙක් ය. එයත් මෙම ගැහිල්ලේම කොටසක් බව පැහැදිලිය.
ඉන්පසුව ඖෂධ හිඟයක් ඇතිවීම සඳහා දැනුවත්ව කටයුතු කර ඇත. ඉන්දියානු ණය යෝජනා ක්රමයේ ප්රතිපාදන ද කල් ඉකුත් වෙන්නට ඔන්න මෙන්න වෙනකම් ඖෂධ හිඟයට වැඩෙන්නට ඉඩ දී ඇත්තේ හොද්ද බොරවීම සඳහා ය. ඉන්පසුව මෙම බෙහෙත් වර්ග 182ක හදිස්සියේ ගෙන්වීම සඳහා වැඩ පටන් ගෙන ඇත. බොහෝ වැඩ කටවචනයට අනුව පටන් ගෙන ක්රියාත්මක වෙමින් යන අතරතුර අමාත්ය මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ගොස් ඇත.
මෙම බෙහෙත් වර්ග 182ක අතරින් ඇණවුම් කර ලැබෙන්නට තිබෙන බෙහෙත් වර්ග ගැන බලන්නේ නැතිව නව ගෙන්වීම් කරන්න යැයි උපදෙස් ලැබී ඇත. ඒ අනුව මෙම ඇණවුමෙන් සති දෙකක් ගිය තැන සමහර බෙහෙත් ඇණවුම් ලැබී ඇත. ගැහිල්ලේ දිගපළල එහෙමය. හදිස්සිය එහෙමය.
බෙහෙත් ගෙන්වීමේ සාමාන්ය ක්රමය අනුව සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශය (MSD) අවශ්ය බෙහෙත් ඇණවුම පිළිබඳව විස්තර ලබාදුන් පසුව එම බෙහෙත් ගෙන්වීමේ සහ මිලදී ගැනීමේ ක්රියාවලිය සිදු කරන්නේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවයි (SPC). එම බෙහෙත්වල ප්රමිතිය මෙන්ම ගෙන්වන ආයතන එම බෙහෙත් මිලදී ගන්නා මව් ආයතනය පිළිබඳ විස්තර, රසායනාගාර විස්තර, බෙහෙතේ සායනික දත්ත ආදිය පරීක්ෂා කරන්නේ ඖෂධ නියාමන අධිකාරියයි (NMRA). එහෙත් මෙම සාමාන්ය ක්රමවේදයෙන් බැහැරව මෙම ඖෂධ ගෙන්වීම සිද්ධ කර ඇත.
මෙම සෙල්ලම ආරම්භ වන විටම රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව මෙසේ ඖෂධ ගෙන්වන්නට බැහැ බව කියමින් යාන්ත්රණයෙන් ඉවත්වී ඇත. තමන්ට අවශ්ය විදිහට වැඩ කරන්න බැරිනම් ඉවත්ව යන්න යැයි එස්පීසී ලොක්කාට මෙහිදී අමාත්යවරයා සැරවී ඇතැයි වාර්තා වෙන අතර පසුව අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබාගනිමින් එම එස්පීසී වැඩේත් වෛද්ය සැපයුම් අංශයට භාර දී ඇත. බල්ලාගේ වැඩේ බූරුවාට භාර දෙනවිට එය භාරගත් බූරුවන්ට දැන් හිරේ ළගින්නට සිදුව ඇත. මේවා උසස් රාජ්ය නිළධාරීන් දැන්වත් වටහා ගත යුතුය.
රෝගීන් මරණය වෙත යැවීම
ඉන්පසුව රෝගීන් මරණය වෙත යවා මුදල් හම්බ කරන සෙල්ලම ආරම්භ වී ඇත. ඒ හදිස්සි මිල දී ගැනීම් නැමති වහන්තරාවට මුවා වෙමින් ස්පෙෂල් පාත්වේ නම් මාර්ගයක් මවමින් ය. එහිදී බෙහෙතක් ගෙන්වන විට ක්රියාත්මක වෙන ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්ය ක්රියාවලිය, මම නම් ඖෂධ නියාමන අධිකාරිය වෙමි යැයි කියමින් ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර තමන්ගේ යටතට ගෙන ඇත.
එහිදී ඖෂධ නියාමන අධිකාරිය තුළ එයාම ඉල්ලා එයාම අනුමැතිය දෙන ස්පෙෂල් පාත්වේ නම් අරුම මොඩලයක් ක්රියාත්මක වී ඇත. 2022 සැප්තැම්බර් 16 වෙනි දින අධ්යක්ෂ මණ්ඩල තීරණය මත මෙම ක්රමය ක්රියාත්මක කර ඇති අතර මෙහිදී සිද්ධවී ඇත්තේ ප්රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ඖෂධ ගෙන්වීමේ සමාගම් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමය. මෙහිදී ඖෂධ නියාමන අධිකාරිය ඊට ප්රථම නියාමනය සඳහා සලකා බලන සියලු මිනුම් දඬු බැහැර කර ඇත. පුද්ගලික අභිමතය පමණක් ක්රියාත්මක වී ඇත. මෙම ක්රමය යටතේ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා 2022-2023 ජූනි අතර කාලයේ ලිපි 287ක් නිකුත් කර ඇත. මෙම ප්රධාන විධායක නිලධාරියා යටතේ ඖෂධ නියාමන අධිකාරියේ සිදුව ඇති මෙවැනි වර්ගයේ කෙරුම් ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. ඒ තරමට කරුණු ඇත.
ඉන්දියානු ආධාර බොරුව
මෙම බෙහෙත් ඉන්දියානු ණය ආධාර යටතේ මිලදී ගන්නවා යැයි කියමින් අමාත්ය මණ්ඩලයද මෙහිදී රවටා ඇත. සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල 2021 අගෝස්තු 16 දින සෞඛ්ය අමාත්යවරයා සේ පත්වීමෙන් අනතුරුව 2022 සැප් 26 දිනැතිව අංක 22/1523/610/018 දරන අමාත්ය මණ්ඩල සංදේශය මගින් රජයේ සෞඛ්ය ආයතනවල පවතින උග්ර වෛද්ය සැපයුම් හිඟය මඟහරවා ගැනීමත්, අඛණ්ඩ වෛද්ය සැපයුම් සේවාවක් පවත්වා ගැනීමටත් යැයි කියමින් ඉන්දීය ණය අරමුදල් වසර අවසන් වනවිට අවලංගු වෙන බවටත් ඊට පෙර එය භාවිත කළ යුතු බවටත් ප්රකාශ කරමින්, පුද්ගලික අංශයේ නියෝජිතයන්ට වෛද්ය සැපයුම් ආනයනය සඳහා අවසර ලබාදීමට ද ඒ අනුව එම පුද්ගලික ආයතන හරහා මාස තුනකට ප්රමාණවත් ඖෂධ තොග ඉන්දීය ණය යෝජනා අරමුදල භාවිත කරමින් ලබාගන්නට ද අවසර ඉල්ලා ඇත. එම යෝජනාවට 2022 ඔක්තෝබර් 03 දින අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
මේ අතර කාලයේ ඉන්දියාවේ සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගමක් සෞඛ්ය අමාත්යවරයා වෙත 2022 ඔක්තෝම්බර් 21 සහ 28 යන දින දෙක තුළ ලිපි යොමුකර තිබුණ අතර ඒ අනුව එමගින් සමාගම සතුව පවතින ඖෂධ අයිතම 38ක අතිරික්ත තොග මිලදී ගැනීමට යෝජනා කර ඇත. මේ පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල 2022 ඔක්තෝබර් 25 නැවතත් අමාත්ය මණ්ඩල සංදේශයක් (22/1523/610/024) ඉදිරිපත් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් වෛද්ය සැපයුම් ආනයනය සඳහා සැලකිය යුතු කාලසීමාවක් ගතවෙන බැවින් සහ වෛද්ය සැපයුම් අංශය සතුව තිබෙන තොග අවදානම් මට්ටමක පවතින බැවින්, ඖෂධ 151ක තොග ශූන්ය මට්ටමක පවතින බැවින්, ඉදිරි සති 03ක කාල සීමාව තුළ ශල්යාගාරවල ක්රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්රිය වෙනු ඇති බවයි.
මෙසේ අවධාරණය කරමින් ඔහු ප්රකාශ කර ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්රමය සහ අනෙකුත් අරමුදල් ක්රම භාවිත කර දින 45ක් ඇතුළත ශ්රී ලංකාව වෙත මාස 03ක කාලයක් සඳහා ප්රමාණවත් වෛද්ය සැපයීම් තොග ලබාදීම සඳහා ඉන්දියාවේ ගුජරාට්හි සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගම එකඟතාව පළකර ඇති බවයි. එසේ කියමින් මෙම අමාත්ය මණ්ඩල සංදේශය මගින් අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මාස 03ක කාලයක් සඳහා ප්රමාණවත් ඖෂධ තොග මෙම ආයතනයෙන් සහ තවත් ආයතනවලින් ලබාගන්නට අවසර ඉල්ලා ඇත.
ඉන්පසුව 2022 නොවැම්බර් 14 රැස්වූ අමාත්ය මණ්ඩලය මුදල් අමාත්යවරයාගේ නිරීක්ෂණවලට අනුව කටයුතු කිරීමට යටත්ව මෙම සංදේශයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අනුමැතිය ලබාදී ඇත. එහෙත් 2022 නොවැම්බර් 01 දිනැති ලිපියක් මගින් වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂකට සහ සියලු සහකාර අධ්යක්ෂවරුන්ට දන්වා ඇත්තේ අමාත්ය මණ්ඩල අනුමැතිය ලද බවය.
ඉන්පසුව 2022 දෙසැම්බර් 05 වෙනි දින නැවතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා අමාත්ය මණ්ඩල සටහනක් (22/1993/610/024-1) ඉදිරිපත් කරමින් ඉන්දියාවේ කෞසික් තෙරපියුටික්ස් යන ආයතනයට මාස තුනකට සරිලන ඖෂධ තොග ආනයනය කරන්නට අවසර ලබාදෙන්න යැයි ඉල්ලා ඇත. එදිනම එයට අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව 2022 දෙසැම්බර් 01 වෙනි දින සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පැවති රැස්වීමකදී ලබාදුන් උපදෙස්වලට අනුව ඉහත සමාගමෙන් ඖෂධ අයිතම 28ක් මිලදී ගැනීමට එවක වෛද්ය සැපයීම් අධ්යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කළ නියෝජ්ය අධ්යක්ෂ විසින් වෛද්ය කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත. මෙහිදී වැදගත් කරුණක් සඳහන් කළ යුතුව ඇත. එනම් දැනට බන්ධනාගාර ගතකර සිටින වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක මෙම තීන්දු තීරණ ගන්නා කාලයේ දිවයිනේ සිට නැති බවය.
හදිස්සිය කොතෙක් ද?
ඉන්දියානු ණය ආධාර මත ගෙන්වනවා යැයි කියමින් දේශීය අරමුදල් ගසා කන ඖෂධ ජාවාරම මෙසේ සක්රිය වෙන පසුබිම තුළ ඉන්දියානු ණය ආධාර ක්රමයේ ඉතිරි අරමුදල් භාවිත කරමින් හදිසි ප්රසම්පාදන ලෙස වෛද්ය සැපයුම් ආනයනය කිරීමට පුද්ගලික අංශයේ ආනයන නියෝජිතයන්ට අවසර ලබාගැනීමට සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 සැප්තැම්බර් 26 දින තවත් අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. එම සංදේශයට ඔක්තෝබර් 03 දින අනුමැතිය ලැබීමට දින 11කට ප්රථම වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් අමතන ඖෂධ, සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා SM/PSRP/01/MSD/2021 දරන ලිපිය 2022 සැප්තැම්බර් 22 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමුකරමින්, ඉන්දියානු ණය ආධාර ක්රමය භාවිත කරමින් පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමටත් මාසයකට වඩා අඩු කාලයකදී තොග මට්ටම් පවතින ඖෂධ සඳහා මාස 03ක කාලයකට ප්රමාණවත් පරිදි ඇණවුම් ඉදිරිපත් කරන්නට දැනුම් දී තිබී ඇත. මෙයින් පෙනෙන්නේ කැබිනට් එකට යන්නටත් පෙර යාන්ත්රණය ක්රියාත්මක වී ඇති බවය. අහෝ රෝගීන් ගැන සිතානේ ..!
අතිරේක ලේකම්වරයාගේ මෙම ලිපිය ලද 2022 සැප්තැම්බර් 23 දිනම වෛද්ය සැපයුම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් එදිනම මෙම ලිපියට සටහන් යොදමින් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇණවුම් ඉදිරිපත් කිරීමට දැනුම් දී ඇත. ඒ අනුව ඊට දින තුනකට පසුව එනම් සැප්තැම්බර් 26 වැනි දිනයේදී වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විසින් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් 4,150,108,653ක් වටිනා ඖෂධ අයිතම 182ක් සඳහා ‘වී‘ කේතය යටතේ මාස 03ක කාලයක් සඳහා ඇණවුම් ඉදිරිපත් කර ඇත. රාජ්ය සේවාවේ මෙතරම් කාර්යක්ෂමතාවක් මීට පෙර ඔබ දැක තිබේද?
කෙහෙළියගේ අතිරේක ලේකම්
මෙහි නිතර නම සඳහන් අතිරේක ලේකම්වරයා වෙන කිසිවෙකු නොව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා විසින් උඩින් ගෙනවිත් සෞඛ්ය අමාත්යාංශයට පත් කළ සමන් රත්නායක ය. ඒ බවත් මතක තබාගෙන මෙය කියවන්න.
ඖෂධ අයිතම 182ක් සඳහා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 04ක් වටිනා ඇණවුම් ඉදිරිපත් කර දිනකට පසුව 2022 සැප්තැම්බර් 27 දින ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා විසින් සෞඛ්ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන අභ්යන්තර සටහනක් මගින් ‘2022 සැප්තැම්බර් 22 දින ඉන්දියානු ණය ආධාර භාවිතයෙන් මාස 03ක් සඳහා වැදගත් සහ අත්යවශ්ය ඖෂධ ආනයනය කර සැපයීමට අදාළව සෞඛ්ය අමාත්යවරයා සහ ඖෂධ සැපයුම්කරුවන් අතර පැවති රැස්වීමේ තීරණයකට අනුව’ යැයි සඳහන් කරමින් මෙම ඖෂධ ගෙන්වීමට අභිලාෂ කැඳවීමේ ලේඛනයන් සකස් කර එම අභිලාෂ කැඳවීම් වෙබ් අඩවි තුළ පළ කර ඇත. මෙහිදී අතිරේක ලේකම්වරයා විසින් ලංසු විවෘත කිරීමේ කමිටු සහ සෞඛ්ය ලේකම්වරයා විසින් ඇගයීම් කමිටු පත් කර 2022 ඔක්තෝබර් 03 දින ලංසු විවෘත කිරීම ද සිදුකර ඇත.
මෙහිදී තවත් අනාවරණය වෙන වැදගත් කරුණක් වන්නේ, වැදගත් සහ අත්යවශ්ය ඖෂධ ආනයනය කිරීමට ඉන්දියානු ආධාර භාවිත කරන බවට අමාත්ය මණ්ඩලයට කරුණු දැක්වූවත් ගෙන්වන්නට යෝජනා ඉදිරිපත් කළ ඖෂධ අතර Everolimus/ Gentamicin Sulphate inj/ Cefuroxime inj වැනි අත්යවශ්ය නොවන ගණයේ ඖෂධ වර්ගයන් ද පැවති බවය. ඉන්දියානු ණය ආධාර බොරු එසේ පැටවු ගසා ඇත.
මෙම ඖෂධ ඇගයීම සඳහා සෞඛ්ය ලේකම්වරයා නිකන් බොරුවට වාගේ පස් දෙනෙකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවක් පත් කර තිබී ඇති අතර එහි ප්රසම්පාදන අංශයේ ප්රධානියා සේ කටයුතු කළ සමන් රත්නායකද සිට ඇත. මෙහි පිළිකා ඖෂධ වැනි විශේෂිත ඖෂධ ඇගයීම සඳහා සුදුසුකම් තිබෙන කිසිවෙකු සිට නැත. එයත් මෙම මූලික සැලසුමේම කොටසක් බව පෙනෙයි. එසේ පිළිකා ඖෂධ පිළිබඳ දැනුවත් පුද්ගලයෙකු මෙහි සිටියා නම් රිටොක්සිමැප් නම් ඖෂධය ගෙන්වීමේ ප්රයත්නය වැළකෙන්නට ඉඩ තිබුණි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වන විට තත්ත්වය මේකය.
මේ ඖෂධ ගෙන්වීම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළ බොහෝමයක් සැපයුම්කරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වලංගු සහතික තිබී නැත. එසේ නොමැති සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා දිරිගන්වා ඇති අතර ඔවුන්ට ඇණවුම් ලබාදීමේ අරමුණෙන්ම, ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කරනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය නිකුත් කිරීමේ පිළිගත් ක්රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇත. ඒ සඳහා ස්පෙෂල් පාත්වේ නම් ක්රමයක් සකසාගෙන ඇත.
මේ සියලු මගඩි ක්රමයන් බලාත්මක කරමින් යන අතරතුර රුපියල් බිලියන 6.9ක් වටිනා ඖෂධ ඇනවුම් 158ක් ගෙන්වීම සමාගම් 21ක් අතර බෙදා දී තිබුණි. එම සමහර සමාගම් එකම සමාගම් ජාලයකට අයත් සමාගම් ය. එයින් පෙනෙන්නේ එකම සමාගම් ජාලය වෙන වෙනස් ලංසු ඉදිරිපත් කර ඇති බව නොවේද?
මෙතරම් හදිසියක් සහ ඖෂධ හිඟයක් ගැන අමාත්ය මණ්ඩලයට බොරු අඟවමින් ඉන්දියානු ණය ආධාර බොරුවද ප්රකාශ කරමින් 2022 නොවැම්බර් මසයේ මෙම හදිසි ඖෂධ ඇණවුම් ලබාදුන්නත් එයින් 2023 අප්රේල් 24 දක්වා ලැබී ඇත්තේ ඖෂධ අයිතම 22කට අදාළ තොග පමණි. ඖෂධ අයිතම 136කට අදාළව 2023 අප්රේල් 24 දක්වාම තොග ලැබී නැත. මෙයින් පෙනෙන්නේ කෙහෙළිය අමාත්ය මණ්ඩලයට අඟවා ඇති ඖෂධ හිඟය බොරුවක් බවද? එසේ නැතිනම් ප්රශ්නය එතරම් දරුණුව නොතිබුණත් හොද්ද බොර කරගැනීමේ අරමුණෙන්ම මෙම කැබිනට් සංදේශ හැදුවා ද යන්නයි.
කෙහෙළිය අහිංසකද?
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්ය අමාත්ය ධුරය භාරගත් පසුව ඔහු සෞඛ්ය අමාත්යාංශයට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට සහ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට ආදි ස්ථානවලට ප්රධානීන් සේ පත් කරන පුද්ගලයින් මෙම ඖෂධ ගනුදෙනුවලදී හැසිරී තිබෙන ආකාරය දෙස බලන විට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්යවරයා අහිංසක නැති බව කිව යුතුය. ඔහු අමාත්යාංශය භාරගත් පසුව මෙම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව පළමු කැබිනට් පත්රිකාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කරන්නේ 2022 සැප්තැම්බර් 26 දිනයේදී ය.
22/1523/610/018 යන අංකය යටතේ එම අමාත්ය මණ්ඩල සංදේශය ඉදිරිපත්වී ඇත. මේ පිළිබඳව අප පසුගිය කලාපයේත් සඳහන් කළෙමු. මේ ගේම පටන් ගන්නේ මෙතැනින් ය. ගේමට අවශ්ය පිටිය සකස් කරගැනීම සඳහා එක පිට එක ලෙස අමාත්ය මණ්ඩල සංදේශ, පත්රිකා ඉදිරිපත් වී ඇති අතර එම පෙරහැරේ පළමු පිම්ම මේ කැබිනට් සංදේශයයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ යෝජනාවට 2022/10/03 දිනයේදී අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
2022/10/25 නැවතත් අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින්, නැවතත් ඖෂධ හිඟය ගැන මෙන්ම ඉන්දියානු ණය ආධාර ක්රමය ගැනද, සඳහන් කරමින් ඉන්දියාවේ ගුජරාට්හි සැවෝරයිට් ෆාමසියුටිකල් පුද්ගලික සමාගමෙන් ඖෂධ අයිතම 38ක් මිලදී ගන්නට අවසර දෙන්න යැයි ඉල්ලා ඇත. 2022/10/25 දින අමාත්ය මණ්ඩල රැස්වීමේදී මෙම සන්දේශය සඳහා ප්රතිපත්තිමය අනුමැතිය ලබාදෙන්නටත් අවසන් තීරණයක් සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අනුකමිටුව එම සංදේශය යොමුකරන්නටත් තීරණය කර ඇති අතර එහිදී 2022/11/02 දිනයේදී මෙම කැබිනට් සංදේශයට මුදල් අමාත්යවරයාගේ විරෝධයක් නැති බව දන්වා ඇති අතර ඒ අනුව 2022/11/14 කැබිනට්ටුව මේ සංදේශය සඳහා අනුමැතිය ලබාදී ඇත.
ඉන්දියාවේ මෙම සමාගමට අමතරව, නැවතත් 2022/12/05 අමාත්ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ Kausikh Therapeutics LTd සමාගම සමග ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම්ගත වීමට අවසර ඉල්ලා ඇත. එහිදී අමාත්ය මණ්ඩලය 2022/11/02 දරන කැබිනට් අනුමැතියට යටත් ව කටයුතු කරන්නට අවසර ලබාදී ඇත.
මේ තොරතුරුවලින් පෙනෙන්නේ ඖෂධ සමාගම් සමග ඖෂධ ගෙන්වීමට අදාළව අමාත්යවරයා කෙලින්ම සාකච්ඡා පවත්වමින් කටයුතු කර ඇති බවය. අපි මේ පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය සතියේ ප්රකාශයට පත් කළෙමු. එහෙත් කිසි දෙයක් සිදුවෙන්නේ නැත. එයට හේතුව කෙහෙළිය රඹුක්වැල්ල නීතියට ඉහළින් වැජඹෙන ජයකෙහෙළියක් නිසාදැයි කියන්නට අප දන්නේ නැත.
අප මෙම සිදුවීම් දාමය හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්රතිදේහජනක ඖෂධ වංචාවට ලඝු කරන්නට සූදානම් නැත. ඊට එහාට ගිය බිහිසුණු පොදු දේපල මංකොල්ලයක් මේ කතාව පිටුපස ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය. හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ සමාගම් සමග සම්බන්ධතා පවත්වා නැතිද? අඩුම දැනට අත්අඩංගුවේ සිටින අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්රනාන්දු සමග හෝ සම්බන්ධතා පවත්වා නැතිද? ඒ පිළිබඳව සොයාගැනීමට අවශ්ය නම් සීඅයිඩීයට අමාත්යවරයාගේ දූරකථන දත්තයන් විමර්ශනයට ලක්කළ හැකිය.
විගණන විමසුමක්
2022 සහ 2023 වර්ෂයන්ට අදාළව මෙම ඖෂධ මගඩිය පිළිබඳව විගණන විමසුමක් සිදුකර ඇත. එහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විමසුම් අංක MSU/B/MSD/BCD/2/23/08/AQ/06 යටතේ සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්වරයාට වාර්තාවක් යවමින් විගණන විමසුමක් සිදුකර ඇත. එම විමසුම් ලියවිල්ලේ අප පසුගිය කාලයේ ලියූ බොහෝ කරුණු අන්තර්ගතය. සීඅයිඩීයට මෙම ලියවිල්ල විගණකාධිපතිවරයාගෙන් ගෙන්වාගෙන කියෙව්වා නම් කෙහෙළිය සීඅයිඩීයට ගෙන්වා ප්රකාශයක් සටහන් කරගැනීමට හිතෙන්න පුළුවන් ය. මෙම ලියවිල්ලේ අන්තර්ගත අප පසුගිය කාලයේ කතා නොකළ තොරතුරු මොනවාද? මඳක් විමසා බලමු.
‘2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 58, 82, සහ 101 වගන්ති නොසලකා කටයුතු කර ඇත. එම පනතේම 109 වගන්තිය නොසලකා ලියාපදිංචිය නිදහස් කිරීමේ ලිපි නිකුත් කර ඇත‘ යනුවෙන් එහි නිරීක්ෂණයන් ආරම්භ වී ඇත.
‘ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී එම ඖෂධයේ නිෂ්පාදක සහ දේශීය නියෝජිතයා පිළිබඳ තොරතුරු, පරිපාලන හා නිර්දේශ කිරීමේ තොරතුරු, ඖෂධයට අදාළ ලිපිගොනුවේ සමස්ත සාරාංශ තොරතුරු, ඖෂධයේ ගුණාත්මකභාවය සහතික කරනු ලබන ලේඛන, සායනික නොවන අධ්යයන වාර්තා, සායනික අධ්යයන වාර්තා, ඇතුළත්ව පුළුල් ලේඛන පරීක්ෂාවක් සිදුකරන නමුත් ඊට සාපේක්ෂව ඖෂධ ඇගයීම් කමිටුව යටතේ පිහිටුවන ලද ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුකමිටුව මගින් ඉතාමත් සීමිත ලේඛන ප්රමාණයක් ඇගයීම මගින් සහ සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේ හේතුවෙන් ගුණත්වය පිළිබඳ තහවුරුවක් නැති ඖෂධ රට තුළට පැමිණ ඇත’. යනුවෙන් එහි නිරීක්ෂණයක් ඇත. මෙයින් කියන්නේ කුමක්ද? මෙයින් කියන්නේ රෝගීන්ගේ ජීවිත බිල්ලට දී සෞඛ්ය බලධාරීන් මෙම සෙල්ලම කර ඇති බවය.
‘2020 වර්ෂයේ දී නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ ආනයනය කරනු ලැබූ හෘදය, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්වලදී භාවිත කරන furosemide syrup බෝතල් 6000ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වන විටත් එම ඖෂධ තොගයෙන් 98%ක ප්රමාණයක් රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිත කර තිබී ඇත.’ මෙම විමසුම සඳහන් කරයි. එයින් පෙනෙන්නේ මේ ජාවාරම් චෞරයන්ට පුංචි ළමයින්ගේ ජීවිත පිළිබඳව හෝ සහ කම්පනයක් තිබී නැති බවය.
‘2022 වර්ෂය තුළ නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ වෛද්ය සැපයුම් අංශය විසින් මිලදී ගන්නා ලද Bupivacaine ඖෂධය භාවිත කිරීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබුණ අතර එම ඖෂධය රෝගීන්ට බරපතළ අහිතකර ප්රතික්රියා (Adverse Drug Reaction – ADR) සිදුකර ඇති බැවින් 2023 ජූලි 21 දින පැවති ආරක්ෂාව සහ අවදානම් ඇගයීමේ කමිටුව (safety and risk evaluation subcommittee – SAFRESC) විසින් එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත්කර ඇත.’ මෙම සිදුවීම් සිදුවුණ කාලයේ සෞඛ්ය අමාත්යවරයා මෙන්ම සෞඛ්ය බලධාරීන් ප්රකාශ කළේ මොනවාද? මඳක් කල්පනාකර බලන්න. එම බාල බෙහෙත් භාවිත කාලයේදී මියගිය කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය යුතු නැද්ද? අඩුම ගානේ එම පවුල්වලට වන්දියක් හෝ දෙන්නට සෞඛ්ය බලධාරීන් කටයුතු කළාද? මෙහිදී මරණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් මේ ජාවාරමුන්ට විරුද්ධව නඩු දැමිය යුතුය.
special pathway ක්රමය ගැන නිරීක්ෂණ
special pathway ක්රමය යනු හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යාංශය භාරගත් පසු හිතූ හිතූ ලෙස ඖෂධ ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර හරහා ක්රියාත්මක කළ ක්රමයයි. ඖෂධයක් මිලදී ගැනීමේදී එතෙක් රාජ්ය විසින් අනුගමනය කළ සියලු ප්රශස්ත ක්රමවේදයන් කුණුකූඩයට වීසිකරමින් මෙම නව ක්රමය ක්රියාත්මක කළේ ඇයි?
‘ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්රමවේදය සම්බන්ධයෙන් අධිකාරිය විසින් 2019 ඔක්තෝබර් 15 දිනැතිව මාර්ගෝපදේශයක් පිළියෙළ කර තිබුණ අතර ඊට අනුකූලව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ඊට අදාළ අනුකමිටුව මගින් ලබාගත යුතු වුවත් සෞඛ්ය අමාත්යාංශයේ ඉල්ලීම පදනම් කරගනිමින් 2022 සැප් 16 දිනැති අධ්යක්ෂ මණ්ඩල තීරණය ප්රකාරව අනුකමිටු අනුමැතිය සඳහා යොමුකිරීමෙන් තොරව special pathway ක්රමය වශයෙන් හඳුන්වනු ලබන වේගවත් යාන්ත්රණයක් හරහා ප්රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්රමවේදයක් අනුගමනය කර තිබුණි.
එහිදී ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ප්රදානය කිරීමේදී අනුකමිටුව විසින් සලකා බලන මිල සාධාරණත්වය, ඖෂධය පිළිබඳව විද්යාලයේ මතය, ඖෂධයේ අත්යවශ්යතාව, සැපයුම්කරුගේ සහ නිෂ්පාදකයාගේ ලියාපදිංචි තත්ත්වය, ගුණත්වය පිළිබඳව පෙර පැවති ගැටලු (තත්ත්වයෙන් අසමත් වීම) වැනි සාධක පිළිබඳව අවධානය යොමුකිරීමෙන් තොරව එම ඖෂධයේ ගුණත්වය, ආරක්ෂාව සහ ප්රත්යක්ෂභාවය, තහවුරු කරනු ලබන ලේඛන ඇගයීමෙන් තොරව ගැනුම් ඇණවුම, ඉන්ඩෙන්ටුව සහ වෙළඳ ඉන්වොයිසය වැනි ඇණවුම තහවුරු කරන ලේඛන පමණක් පරීක්ෂා කර අනුමැතිය පිරිනමා තිබුණි‘. මුලින් සඳහන් කළ දෙදෙනාගේ මරණයට මෙම ක්රමවේදය හේතුවක් නොවෙයිද? ඒ පිළිබඳව කරුණු සොයා බැලිය යුතු නැද්ද? තව කීදෙනෙක් නම් නිහඬවම මෙම බාල බෙහෙත් නිසා මිය යන්නට ඇතිද? රෝහල් බලධාරීන්ට ඒ පිළිබඳ තිබෙන තොරතුරු මොනවාද?
‘2022 වර්ෂය තුළ නිකුත් කර තිබුණු මුළු ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි සංඛ්යාව 656කි. එයින් 57ක් special pathway ක්රමය යටතේ වෛද්ය සැපයුම් අංශය වෙතද, 176ක් special pathway ක්රමය යටතේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ පමණක් special pathway ක්රමය යටතේ ලිපි 233ක් නිකුත් කර ඇත. 2023 වර්ෂයේ ජූනි දක්වා කාලය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 261ක් නිකුත් කර තිබුණ අතර එයින් 03ක් special pathway ක්රමය යටතේ වෛද්ය සැපයීම් අංශය වෙතත්, ලිපි 51කක් special pathway ක්රමය යටතේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ මුළු ලිපි සංඛ්යාවෙන් 36%ක් special pathway ක්රමය යටතේ ගිය ඒවාය. 2023 අවුරුද්දේ ජූනි වන තෙක් එම ප්රතිශත අගය 21%කි‘. මෙම නිරීක්ෂණයෙන් හොරා කෑමේ පරිමාව තේරුම් ගන්නට පුළුවන් වෙනු නියතය. මෙසේ අනුමැතිය ලබාදුන් සමාගම් ගෙනා බෙහෙත් වර්ග මොනවාද? කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ බෙහෙත් ඔහේ රෝගීන්ගේ රුධිරය මත දියව යන්නට ඇත. සල්ලි, ජාවාරමුන්ගේ සාක්කුවලට වැටෙන්නට ඇත.
‘meropenem injection USP 500mg යන ප්රතිජීවක ඖෂධයෙන් ඒකක 400,000ක් මෙරටට ආනයනය කිරීම සඳහා special pathway ක්රමය යටතේ අනුමැතිය ලබාදී තිබුණ අතර මීට පෙර තත්ත්වයෙන් අසමත්වීමේ වාර්තා තිබීම හේතුවෙන් ඒ ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිවී නොතිබුණි. මීට අමතරව ඉහත ක්රමයට අනුමැතිය දුන් තවත් ඖෂධ 15කට අදාළ නිෂ්පාදකයන්ගේ ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම් වාර්තා වී ඇත.’
‘කර්ණ ආසාදන, රක්තපාත තත්ත්වයන් සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ආදි රෝග සඳහා භාවිත කරනු ලබන Ofloxacin viaeye/ ear drops 5ml/ Cinnarizine Tablets BP 25mg/ Rifaximin Tablets 550mg iy Mosapride Citrate Tablets 5mg වැනි ඖෂධ සඳහා special pathway ක්රමය හරහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ලබාදී තිබුණ අතර එම ඖෂධ 29ක් අත්යවශ්ය නොවෙන ඖෂධ වීම නිසා එම ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිව නොතිබුණි.’
විද්වතුන් කැළේට
‘විද්වතුන් 14 දෙනෙකුගෙන් සමන්විත ඖෂධ ඇගයීම් කමිටුව අබිබවා special pathway ක්රමය හරහා ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාදීම තුළින් ගුණත්වය, ආරක්ෂාව සහ ප්රත්යක්ෂභාවය පිළිබඳව කිසිදු තහවුරුවක් නැතිව ඖෂධ ආනයනය කිරීම මගින් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇත’
‘2022 දෙසැම්බර් මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා ඉදිරිපත් වූ ඖෂධ අයිතම 38ක් ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) 38ක් නිකුත් කර තිබුණ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ඖෂධ ඇගයීම සිදුකර නැති බවත්, ඒ හේතුවෙන් එම ඖෂධවල ගුණත්වය, ආරක්ෂාකාරී බව, සහ ප්රත්යක්ෂභාවය පිළිබඳව අධිකාරිය වග නොකියන බවටත්, වගකීම වෛද්ය සැපයීම් අංශයේ අධ්යක්ෂ විසින් භාරගත යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කරමින් එහි වගකීම අධිකාරිය විසින් අත්හැර තිබුණි.’ මෙම නිරීක්ෂණයෙන් කියවෙන්නේ බල්ලාගේ වැඩේ බූරුවාට පැවරීමේ තත්ත්වයයි. මෙවැනි සිදුවීම් රැසක් මෙම ජාවාරම සිදුවන අවස්ථාවේ සෞඛ්ය අමාත්යාංශයේ සහ ඊට අයත් සෞඛ්ය ආයතන තුළ සිදුව ඇත. එයින් කියන්නේ හිටපු සෞඛ්ය අමාත්යවරයා රාජ්යයේ සෞඛ්ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳහෙළා ඇති බව නොවේද?
‘ඖෂධ නියාමන අධිකාරිය විසින් ආනයන පාලක ජනරාල් වෙත යවනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයේ පිටපත් වෛද්ය සැපයීම් අධ්යක්ෂට එවන බවට අදාළ සහහිකයේ සඳහන් වුවද 2022 වර්ෂයේ සිට සිදුකරන ලද හදිසි මිලදී ගැනීම් හා ඉන්දියානු ණය ආධාර යටතේ සිදුකළ මිලදී ගැනීම්වලට අදාළ WOR සහතිකයේ පිටපත් වෛද්ය සැපයීම් අංශයට එවා නොතිබුණ අතර 2023 ඔක්තෝබර් 16 දින පිටපත් 105ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් වෛද්ය සැපයීම් අංශයට එවා තිබුණි. නමුත් විගණිත දින දක්වාම ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර තිබුණ අනෙකුත් WOR සහතිකවලට අදාළ වෛද්ය සැපයීම් පිටපත් එවා නොතිබුණ බවද ඒ හේතුවෙන් සැපයුම්කරුවන්ට තොග භාරදීමේදී වංචා සිදුකිරීම සඳහා ඉඩකඩ විවර වෙන බවද නිරීක්ෂණය විය. අදාළ පිටපත් මුල් අවස්ථාවේම වෛද්ය සැපයීම් අංශයට ලැබී තිබුණේ නම් තොග පරිපාලන නිළධාරීන්ට එමගින් තහවුරු කිරීම් සිදුකර ගත හැකිව තිබුණ බවද ඒ හේතුවෙන් වර්තමානයේ බරපතළ ගැටලු පැනනැඟුණු Human Immunoglobulin සහ Rituximab වැනි ව්යාජ ඖෂධ ලබාදීමේ වංචාවන් හසුකරගැනීමට අභ්යන්තර පරිපාලනය සමත් වන බවත් නිරීක්ෂණය විය.’
කෙහෙළියලා ගේම් ගසන කාලයේ ලියූ මෙම ලිපි පෙළ කියවන්නට අවැසිනම් - www.anidda.lk

https://www.facebook.com/share/p/16nmbf2qBW/

දැන් අපි හිතමුකෝ මෙහෙම

  ඔන්න මට සල්ලි හුඟක් ලැබෙනවා හදිසියේ .  මගේ පවුලේ අයට ඒ සල්ලි ලැබෙන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට හොයන්න ඕන කමකුත් නැහැ .  දැන් මං මොක...