ඉතිහාසය හැම රටකම එක වගේද?



අපි ග්‍රීසියෙන් පටන් ගමු .  මොකද දැනට ග්‍රීසියේ තමන්ගේ ඉතිහාසය නැවත ලියන්න ඕනේ කියන ව්‍යාපාරයක්  තිබෙන නිසා. හිස්ටෝරියා කියන වචනය එන්නේ  ග්‍රීක භාෂාවෙන් .  බටහිර සාහිත්‍යයේ ඉතිහාස කතා ලිවිම පටන් ඇත්තේ ග්‍රීක හෙරෙක්ඩොටස් කියල තමා සළකන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව  පස්වන සියවසේ ඉඳන්  මේ ඉතිහාස කතා ග්‍රීක - පර්සියානු යුද්ධයේ සිට ග්‍රීක නගර රාජ්‍ය අතර වූ යුද්ධ ගැනත් විස්තර  කරනවා .  නමුත් ප්‍රශ්නය මෑතකදී පටන් ගන්නේ ග්‍රීක මිථ්‍යා කතා විවරණය කරන්න ගීහින්. ක්නොසස් කියන ක්‍රීටයේ පිහිටි  මාලිගය ගැන මම ග්‍රීක සංචාරය ගැන ලියන අතරේ ලීවා. ඒ මාළිගාව සහ කොටුව  සෑහෙන්න විශාලයි .  වර්තමාන ග්‍රීක ඉතිහාසංඥයෝ තර්ක කරනවා අර මිනටෝර් ගේ කතාවේ වංක ගිරිය තියෙන්නේ මේ විශාල මලිගව් අපහදන්න කියල .   ග්‍රීක දුපත් වල තනි වහලේ තනි කාමරයක ජිවත් වෙන මිනිස්සුන්ට මෙපමණ වංක ගිරියක් වගේ ලොකු මාලිගා බලකොටු ගැන හිතා ගන්න බැරි නිසා ඔය කතා ගෙතුව කියල. ඒ පුංචි ධිවර / නාවුක ගෙවල් දැනුත් සැන්ටෝරිනි වගේ දූපත් වල තිබෙනවා .    

දැන් හැමෝම දන්නවනේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියාව වෙනකන් ආව බව .  ඒ ක්‍ර්ස්තු පූර්ව 325 විතර .  බුදුහාමුදුරුවෝ  පිරිනිවන් පාල අවුරුදු 200 කට විතර පස්සේ .  බුදු පිළිම හදල තියෙන්නේ ග්‍රීක ප්‍රතිමා ආකාරයෙන් බවත් දන්නවනේ.  මේ ග්‍රීකයෝ ඔක්කොම සුදු ජාතිකයෝ වගේ තමා පින්තූර වල පෙන්වන්නේ. නමුත් ඇත්ත කතාව තමයි ග්‍රීකයෝ හුඟක් මිශ්‍ර මධ්‍යධරණී ප්‍රදේශයේ ජාතියක් බවත් හැම පාටකම  සුදු, දුඹුරු , කහ, කළු මින්සුන් සිටි බවත්. අටසිය ගණන්වල සිට ග්‍රීසියේ පුරා විද්‍යා කැණීම් ආරම්භ කලේ සුදු ජාතිකයෝ.  ප්‍රංශ,  ජර්මන් සහ ඉංග්‍රීසින් මුලිකව සහ සමහර ඉතාලියානු ජාතිකයන් .  ග්‍රීසිය හුඟක් කල් තුර්කි අනතෝලියානු අධිරාජ්‍යය  යටතේ තිබ්බ නිසා ග්‍රීක ඉතිහාසයවත් නටබුන් ගැනවත් තුර්කින්  වැඩිය සැලකුවේ නැහැ.  හුඟක් පෞරාණික භාණ්ඩ, නටබුන්  බ්‍රිතාන්‍ය සහ යුරෝපීය කෞතුකාගාර වලට යැවෙන්නේත් ඒ නිසා .  ඒ ගොල්ලෝ අර ශිෂ්ටාචාරය  සැලකුවේ බටහිර ශිෂ්ටාචාරයක් විධිහට .  ඒකයි බටහිර ඉතිහාසය සම්බන්ධ සාහිත්‍යයේ පියා  හෙරෙක්ඩොටස් වෙන්නේ . 

නමුත් දැන් අලුත් කැණීම් වලට අනුවහෙම අපි දන්නවා දුඹුරු පාට මිනිස්සු ගොඩනගපු ඉතා ප්‍රබල  ශිෂ්ටාචාරයක් ග්‍රීසියේ පැවති බව.  අලුතින් හමු වෙන කැණීම් වල කාලය ගණනය කරනකොට චිත්‍රවල කාලය ගණනය කරන කොට ඔවුන්ටම පුදුමයි.  පයිතගරස් ප්‍රමේය ඇත්තටම පයිතගොරස්මද හොයා ගත්තේ. බැබිලෝනියන්  මයෝනිසියන් ,  මිනොඅන්, පෙලගියන් ශිෂ්ටාචාර වලත් ඒ දැනුම තිබිල තියනවා නේද කියන එක ඔවුන් දැන් දන්නවා.  අපි දන්නා ග්‍රීක ඉතිහාසය සම්පුර්ණ එකක් නෙමේ . අර ආදී කාලින ග්‍රීක  සුදු මිනිස්සු හෝ ආර්යයයන්ම  නෙමේ. අපි ඩෙලෝස් , ක්‍රිට් දුපත් වල ගොවිපලවල ඇවිද්දම  පුදුම වුනා ඒවායේ වැඩ කරන, ආසියාතික හැඩයට හුරු දුඹුරු මිනිසුන් දැකල.   මම කෙනෙක් ගෙන් ඇහුව එයාල බංග්ලාදේශයේ හෝ  ඉන්දියාවෙන්ද කියල. ඒ මනුස්සය පුදුමෙන් වගේ මට කීව එයාගේ පරම්පරාවම දන්නා තරමින් ජිවත් වුනේ එහෙ කියල .  අවුරුදු තුන් හාරසීයක ඉඳන් .   කොටින්ම  ජේසුස්  වහන්සේ පවා සුදු අයෙක් නෙමේ.  ඔහු මධ්‍යධරණී ප්‍රදේශයක වර්තමාන පලස්තීනයේ උපන් පලස්තීන ජාතිකයෙක් .          

තුර්කි ඉතිහාසය  ගැන කතා කරද්දී දහතුන් වන සියවසේ එර්තුගල් ඔගුස් තුර්කි සුල්තාන් වරයාගේ  ගේ ඉඳන් පටන් ගන්නේ සහ උගන්වන්නේ .  ඔහු ඉස්ලාම් ආගම  වැළඳ ගත් අයෙක්. වර්තමාන උස්බෙකිස්ථානය ,  තුර්ක්මෙනිස්තානය වැනි පැතිවලින් ආපු ජනතාව තමා තුර්කි වුනේ.  නමුත් ඔවුන්ට කලින් තුර්කියේ වඩා බලවත් ශිෂ්ටාචාරයක් තිබුණු බව දැන් දන්නව .  තුර්කි මුස්ලිම්  ක්ලර්ජි එක ඒක එලියට එන්න ඉඩ දුන්නේ නැහැ කාලයක් .  නමුත් ගෙබෙල්කි ටෙපේ (Göbekli Tepe) අවුරුදු  එකොලොස් දහසකට පමණ පරණයි කියල හොයාගෙන තිබෙනවා .  තුර්කියේ උගන්වන ඉතිහාසය ඉතා මෑත එකක් .     

එංගලන්තයේ උගන්වන ඉතිහාසයේ ප්‍රශ්න ගොඩක් තියනව .  වෙන රටවල ඉතිහාසය  ගැන , පලස්තීනය ගැන හෙම උගන්වන්නේ ඉතා සීමිත ටිකක්. ඊජිප්තුව ගැන වැඩි බරක් දෙනවා.    කොලෝනියල් (අධිරාජ්‍යවාදයේ)   කාලය ගැන උගන්වන්නේ ඉතාම අඩුවෙන්. එහෙම නැත්නම් ගුරුවරුන්ට නිදහස තියනව සමහර මාතෘකා මග හැරලා යන්න .   අනික් උගන්වන්නේ හොඳ පැත්ත විතරයි,  යටත්විජිත වලට කරපු හොඳ පමණයි .  හොඳත් වුනා, නරකත් වුන අකියල අපි දන්නවනේ.  දුම්රිය මාර්ග ඇති කිරීම වගේ දේවලුත් වුනා .  ගයානා, ෆිජි  වගේ රටවල ජන සංයුතුයත් වෙනස් වුනා. ඒවා ගැන හෝ, ඒ කාලයේ සිදුවුණ ඝාතන හෝ මර්දන ගැන කතා කරන්නේ නැහැ. චර්චිල් ඉන්දියාවේ සාගතයක් ඇති කරලා මිලියන් ගානක් මැරෙන්න ඇරිය හැටි. පළමු අනාථ  කඳවුරු අප්‍රිකාවේ හදපු හැටි ගැන කියන්නේ නැහැ .  ඒවා  උගන්වන්න  ආවහම ලොකු විරෝධයක් ඇතිවුනා වසර කිහිපයකට කලින්.  හිරු නොබසින අධිරාජ්‍යය ගැන ඉගෙන ගැනීම වත් අනිවාර්ය නැහැ .  උතුරු අයර්ලන්තයේ උගන්වන්නේ බ්‍රිතාන්‍ය ඉතිහසය . නිදහස්  අයර්ලන්තයේ උගන්වන ඉතිහාසයට  බ්‍රිතාන්‍ය විසින් ඇතිකරන ලද සාගත කාලය  ගැන උගන්වනවා .  දෙවන ලෝක යුද්ධය  ගැන උගන්වන්නේ ඒක බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව පමණක් යුද්ධ කළ  ජයග්‍රහණය කල එකක් වගේ .  ඉතින් මම ඇත්තටම පුදුම වෙන්නේ නැහැ බ්‍රිතාන්‍ය ජාතිකයන් බ්‍රෙක්සිට් එකට යුරෝපයෙන් වෙන් වෙන්න  ඡන්දේ දීපු එක ගැනවත්. මේ වගේ උගන්වන ඉතිහාස වලින් බිහි වෙන්නේ  නයිජල් ෆාරාජ් වගේ අය අනුගමනය කරන මිනිස්සු තමා  වැඩියෙන්ම. ඒක හෙට අනිද්දට තව හොඳට දැක ගන්න පුළුවන .    

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලිබරල් ප්‍රජතන්තවාදයක් වශයෙන් හොඳ  තැනකට ගමන් කරමින්  හිටියේ .  ඔවුන් කොලම්බස් ට කලින් ජනාවාස තිබුන බව, ඇමරිකාවේ මුල් පදිංචිකරුවන්   ගැන උගන්වනවා.  කතෝලික පල්ලියත්ඇ, මෙරිකානු ආණ්ඩුවත් මුල් පදිංචි කරුවන්ගේ ළමයින් උදුරලා අරගෙන බෝඩින් පාසැල් වල රඳවාගෙන ඉගැන්වුවා .  බොහොමයක් ළමුන් දරුණු තාඩන පීඩන හා ලිංගික අපයෝජන මත මියගියා .  කතෝලික පල්ලිය ඒ ගැන සමාව ඉල්ලුව පහු කාලෙක.    ඔවුන්ගේ ඉඩම් උදුරාගෙන රිසර්වේෂන් වලට තල්ලු අක්රපු එක ,  ඒවා වලිනුත් තෙල් සහ රත්රන් හාරන්න එලවපු බව අක්වදවත් උගන්වන එකක් නැහැ .  මේවා ඉතිහාසය ඉගැන්වීමේදී ඇතුළු කලයුතු දේවල් .  මේ තත්ත්වය ඒ ලෙසම ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේත්  සිදුවුනා .  එකම ප්‍රශ්නය ජනාධිපති ට්‍රම්ප් වගේ කෙනෙක් ඇමෙරිකාවේ මේ වෙනස ආපහු හරවයිද කියල. ට්‍රම්ප් ලා බිහිවෙන්න ඔය පාර්ශ්වීය ඉතිහාසය හොඳටම ඇති .  අනික මේ ඉතිහාසය ඒ ඒ ප්‍රාන්ත වල වෙනස් විධිහට උගන්වන්නේ .   

කෙනෙක් අහල තිබුන සෝවියට් දේශයේ ඉතිහාසය හොඳට ඉගැන්වුවා නේද කියල .  ස්ටාලින් ගේ කාලය වෙනකොට ඉතිහසය තනිකරම  විකෘති කරමින් ඉගැන්වුවේ .  පටන්ගත්තේ ලෙනින් ස්විට්සර්ලන්තයේ සිට ලෙනින්ග්‍රාද් නගරයේ දුම්රිය ස්ථානයට ඇවිත් බහින කොට ස්ටාලින් පිටුපස ඉන්න පින්තුරයක්  දාල .  ඒක හදපු එකක් .  ස්ටාලින් එතන ඇත්තටම  හිටියේ නැහැ .  මේ ලිපිය කියවන්න . (ලෙනින් ගේ ජර්මන් දුම්රිය ගමන )  

රුසියානු විප්ලවය උරදුන් සිනොවියෙව් ,  කමනෙව් , ට්‍රොට්ස්කි වගේ අය මරා දැමුවාට පස්සේ ඔවුන්ව සම්පුර්නයෙන්මඉතිහාසයෙන්  මකා දැම්මා. උක්රෙනයේ හොලොදොමෝර් කියන සාගතයෙන් (චර්චිල් ගේ කාලයේ  වගේම )  මිලියන් ගණනක් කොසක් සහ සාමාන්‍ය ජනය මිය ගිය බව හෝ මිලියන් ගානක් ගුලාග් කඳවුරු වලට ගාල් කරපු බව ඉගැන්නුවේ නැහැ .  රුසියානු අධිරාජ්‍යය හා එහි රජවරුන් ගැන නම් කීවන් රුස් කියන කීව් රාජධානි මුල් රුසියානු රජු වන ව්ලදිමීර් ගේ සිට ඉතිහාසය  ඉගැන්නුවා ඒ කාලේ. දැන් සෝවියට් ඉතිහාසයට අමතරව රුසියානු ඉතිහාසය වැඩියෙන් උගන්වනවා .   පුටින් දන්නේ ඒ ඉතිහාසය පමණක් වගේ පේන්නේ . එතකොට  වර්තමාන උක්රයිනයේ වගේම බෝල්ටික් රටවල තවත් අමුතු ඉතිහාසයක් උගන්වන්නේ .  ඒවා පෝලන්ත  හෝ රුසියානු අධිරාජ්‍යය යටතේ තිබුනට නිදහස් රටවල් හැටියට උගන්වනවා විතරක් නෙමේ හිට්ලර් ගේ නාසි හමුදා ඒ රටවල් බේරා ගත්  බවත් සෝවියට් ආක්‍රමණය නිසා නැවතත් රුසියාවට යටත් වුනු බවත් උගන්වනවා.   අමුතු විකාර ඉතිහ්සයන් මේ හැම රටකම උගන්වන බව පැහැදිලියි නේද ? 

ඇමේසන් වනාන්තරයේ පැරණි නගර සංකීර්ණයක්  ගැන මේ ලිපියේ සඳහන් වෙනවා .  එතකොට නූගත් ගෝත්‍රිකයෝ විතරක් නෙමේ ඒ රටවල ඉඳල තියෙන්නේ .  ස්පාඤ්ඤ අකමනිකයන් ගොනෝරිය ,  සිපිලස් වගේ ලෙඩ ගෙනවිත් මෙක්සිකෝව ,  සහ අනිකුත්  ලතින් අමෙරිකානු රටවල ශිෂ්ටාචාර එහෙම්ම පිටින් මකා දමල තිබුනේ .  ඒ කතා  එලියට එන්නේ දැන් .

ලංකාවේ උගන්වන වන  ඉතිහාසය ගැන කතා නොකර මේ සියල්ල ලීවේ තමන්ට අවශ්‍ය විධිහට ඉතිහාසය ඉගැන්වීම වැරදි බව පෙන්වන්න .  එවැනි විෂයක් අනිවාර්ය කරන්නෙම රටට අවශ්ය් ජාතිවාදී ,  නරුමවාදී මිනිස්සු කොට්ඨාශයක්  හදන්න , පාලනය ලෙහෙසි වෙන්න .  ලෝකයේ හැම රටක් ම වගේ එහෙමයි .  එහෙම නැත්නම් තමන්ට අනවශ්‍ය අඳුරු අතීතය අත හැරලා උගන්වන්නේ.

මගේ ළමයින්ට මම ඉගැන්නුවේ වෙනස් ඉතිහාසයක්. අපි ලංකාවේ ගිහිල්ල පෙන්නුවේ වෙනස් ඉතිහායක්. රුවන් වැලි සය වගේම ලංකාවේ දෙමළ  මහා සෑයත් අපි එයාලට පෙන්නුවා .  ග්‍රීසියේ අලුත් කැණීම් කරන තැන පෙන්නුවා.  මෙහෙ පුවත් පත්වල මොනව කීවත් ඔවුන් පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා.  ඇෆ්ඝනිස්ථානයේ මුලිම් අන්තවාදීන් බාමියන් ප්‍රතිමා  විනාශ කල බව ඔවුන් දන්නවා .        

ලංකාවේ වාමාංශික විපක්ෂයටත්, මහාචාර්ය  නිර්මාල් දේවසිරි වැනි උගතුන්ටත්  මේ විෂය අනිවාර්ය කරන්න ඕනේ නම්,  සාධාරණ , අපක්ෂපාති, නිවැරදි ,  හැම වෙලාවේ ම යාවත්කාලීන වෙන, සෑම ජන වර්ගයකටම සාධාරණය හැකි තාක් ඉටු  කරන  ඉතිහාසයක්  අලුතින් ලියන්න .  ඒක උගන්වන්න.   විවේචනාත්මක චින්තනය (critical thinking ) ඒ සමගම උගන්වන්න .  සිසුන් ඒවා තෝරා බේරා ගනීවි. එක්සත් ජනපදයේ  ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෑම් වයින්බර්ග් කියන්නේ ඒ වගේ කතාවක් .  ඒ ලිපිය පහල තියනවා . 

ආගම  අනිවාර්ය කරනවනම්  බෞද්ධ, කතෝලික,  ඉස්ලාම් සහ හින්දු පාසැල් වලට අනිත් ආගම් ගැන උගන්වන්න කියන්න .  රජයේ පාසල් වල ප්‍රධාන ආගම් හතර ගැන හැම සිසුවෙකුටම උගන්වන්න එංගලන්තේ වගේ .  එයාලට වෙනම ඉගෙන ගන්න ඕනේ නම් ඉරිදා දහම් පාසැල් තියෙනවා ඒකට.

ඒ වගේ වෙනසක් නැතිව ඔය විෂයයන් අනිවාර්ය කරනවට මමනම් එකහෙළාම  විරුද්ධයි .   

කොළඹ ගමයා 24/07/2025


ලිපි ;

We’re Teaching History Wrong -සෑම් වයින්බර්ග් 

ඇමේසන් වනාන්තරයේ පැරණි නගර සංකීර්ණයක් .

ලෙනින් ගේ ජර්මන් දුම්රිය ගමන 

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා  විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය

Are we teaching history all wrong? UNB prof says we might be


 

14 comments:

  1. Jagath Pathirana25 July 2025 at 02:15

    දෙමළ මහා සෑය ගැන මොකක්ද ඉගැන්නුවේ. දෙමළ බෞද්ධයෝ හදපු ඒකක් කියලද?

    1815 ගිවිසුමේ බුද්ධාගම සහ දේවාගම කියලා සඳහන්කරලා තියෙනවා.
    ආගම විශයය උගන්වනවා නම් දේවාගමත් උගන්වන්න වෙනවා.
    ඒ්ක ජාතික සමගියටත් වැදගත්. උදාහරණයක් විදියට නල්ලූර් කෝවිල හදලා තියෙන්නේ පෘතුග්‍රීසීන් විනාශකල යාපනය කතරගම දේවාලය මත.

    ReplyDelete
    Replies
    1. දෙමළ බෞද්ධයෝ ලනක්වේ හිටියා සහ තවත් ඉන්නවා කියල . දේවාගම හින්දු ආගම නෙමේද ?

      Delete
    2. Jagath Pathirana26 July 2025 at 11:50

      හින්දු ආගම සහ දේවාගම කියන්නේ දෙකක්. ඒය වඩා සමාන ඉන්දියාවේ දාලිත් ආගමට.
      බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නියමයක් කරලා තියෙනවා ඉන්දියාවේ මිනිස්සුන්ට උප්පැන්න සහතික හදද්දි ම, ශීක් ක්‍රිස්තියානි සහ විශේෂයෙන් ආගමක් සඳහන් නොකරපු අය හින්දු කියලා නම් කරන්න.
      ඒ් විදියට තමයි දාලිත්වරු හින්දු වුනේ.
      ලංකාවේ දේවාගම වඩා සමාන කතෝලික ආගමේ සාන්තුවර ඇදහිල්ලට. ඒ් වගේම ඉස්සර දේවාගමේ දෙවි වරුන්ට කිව්වේ යක්කු කියලා. අද වුනත් වැදි භාෂාවෙන් දෙවියන්ට කියන්නේ යකා කියලා තමයි. දේවාගමේ දෙවිවරු මිනිසුන් විදිට ඉපදිලා මරනින් පසු දෙවිවරු වුන අය. හින්දු දෙවිවරු උපදිනකොටම දෙවිවරු. ඔවුන් වඩා සමාන ග්‍රීක්, මිසර, බැබිලෝනියානු දෙවිවරුන්ට.

      Delete
  2. ////දෙමළ මහා සෑයට ඒ නම ලැබී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජු දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය සමඟ කළ සටන්වල දී ඒ ප්‍රදේශ ජයගෙන අල්ලා ගෙන ආ දෙමළ වහලුන් 12,000 ක් යොදා ඉදිකළ බැවින් යැයි මහාවංශය වර්ණනා කරනවා.

    මේ දාගබ දකුණු ඉන්දියාවට පෙනෙන උසකින් ඉදි කළ බව ද මහාවංශයේ සඳහන් වෙනවා. සමහරුන් පවසන්නේ මේ සෑයට දෙමහල් සෑය යන නම ලබා දී තිබුණු බවත් පසුව එය දෙමළ මහා සෑය වන්නට ඇති බවත්. මහාවංශයේ ද මේ දාගබ ගැන සඳහන් වන්නේ දෙමළ සෑය යන නමිනු යි////Copied

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana25 July 2025 at 06:55

      මම අහලා තියෙන්නේ චෝල ආක්‍රමණයක් පරාජය කිරීමෙන් පසු යටත් වූ චෝල සෙබලුන් පිටුවහල් කිරීමට පෙර යුධ වන්දියක් විදියට ඔවුන්ගේ ශ්‍රමයෙන් හදවාගත් ඒකක් කියලා

      Delete
    2. හරියටම කියන්න දන්නේ නෑ ජගත්. තවත් මත හා ජනප්‍රවාද ඇති. ඉතිහාසයනේ...

      Delete
    3. මහාවංශය ඇත්තද කියන්න දන්නේ නැහැනේ . අපේ ගයිඩ් තුමා කීවේ දෙමල බෞද්ධයෝ සැදැහැ සිතින් හදල සඟ සසුනට පූජා කරපු එකක් කියල . රජතුමා වෙනුවෙන් .

      Delete
    4. Jagath Pathirana26 July 2025 at 11:54

      ගයිඩ් ඉතිහාසය දන්නේ නෑ. භාෂාවල නම් වලින් මිනිස්සු නම් කරන ක්‍රමය පටන් ගත්තේ ඉංග්‍රිසි කාලේ. තමිල් කියලා මිනිස්සු වර්ගයක් ඊට කලින් හිටියේ නෑ.

      Delete
  3. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ඇතිවෙලා තියෙන ගැටළු පිලිබඳව කතිකාව වසර ගණන් තිස්සේ කතා සාප්පුවෙලා ඩිස්ප්ලේ කර කර තියෙනවා..ඕක බද්-උදින් මහමුද් යුගයේ සිට ධවල පත්‍රිකා හරහා මේවන තෙක් ඇදී එනවා. විසඳුම හොයන්න මේ සංවාද තව තවත් ඉදිරියට යන එක හොඳයි. ඒත් වැඩේ වෙලා තියෙන්නේ එඩියුකේශනිස්ට්ස්ලා පැත්තක ඉඳිද්දි පාටි පොලිටික්ස් ඇජෙන්ඩාස්වල ගල් මුගුරු අස්සේ හිරවෙච්ච පට්ට ජෝකර්ස්ලා ටිකක් වැඩේ බාර අරන් ඉන්න එකයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරියට හරි . ලංකාවේ වගේ රටක හැම වෙලේම වෙන්නේ ඕක . විශේසංඥයෝ එළවලා දෙපැත්තේම දේශපාලකයෝ වැජඹෙනවා . තමන්ගේ රටට් කරනවා කියල හිතන්නේ නැහැ .

      Delete
  4. /////////අගමැ අනිවාර්ය කරනවනම් බෞද්ධ, කතෝලික, ඉස්ලාම් සහ හින්දු පාසැල් වලට අනිත් ආගම් ගැන උගන්වන්න කියන්න . රජයේ පාසල් වල ප්‍රධාන ආගම් හතර ගැන හැම සිසුවෙකුටම උගන්වන්න එංගලන්තේ වගේ . එයාලට වෙනම ඉගෙන ගන්න ඕනේ නම් ඉරිදා දහම් පාසැල් තියෙනවා ඒකට./////////////
    ආගම් පිලිබඳව අධ්‍යාපනය කියන්නේ එක ආගමක් පිලිබඳව දරුවාගේ මනස සුදානම් කිරීම නොවිය යුතුයි. දරුවාට වැඩිදුරටත් අධ්‍යයනය කලයුතු ආගමක් තිබේ නම් ඔහු හෝ ඇයට ඒ පිලිබඳ වැඩිදුර දැණුම ලබාදීමට වෙනත් පහසුකම් ලබාදිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒ සමග එකඟයි . මමත් කියන්නේ ඒකම තමයි

      Delete
    2. Jagath Pathirana26 July 2025 at 11:56

      මම නම් ඉස්කෝලෙදි හැසිරුනේ සිංහල කතෝලිකයා වගේ. ඒ්ක වෙනම ආතල් ඒකක්.

      Delete
  5. හ්ම් කතාව ඇත්ත. ඉතිහාසයේ කොටස් අත්හැරීමත්, එක විකෘතියක් තමයි. ඉතිහාසය නැවත ලිව්වත් සාධක අස්සට ජනප්‍රවාද වගේ හිතලු රිංගන එක වලක්වන්න අමාරුයි නේද? එතකොට ඇත්ත, නැත්ත තෝරගන්න අමාරුයි. අනෙක් අතට, ජනප්‍රවාද කප්පාදු කලොත්, ලියන්න කියලා ඒහැටි ඉතිහාසයක් ඉතුරුවෙන එකක් නෑ නේද?

    ReplyDelete

ප්‍රතිචාරයට ස්තූතියි

ඉතිහාසය හැම රටකම එක වගේද?

අපි ග්‍රීසියෙන් පටන් ගමු .  මොකද දැනට ග්‍රීසියේ තමන්ගේ ඉතිහාසය නැවත ලියන්න ඕනේ කියන ව්‍යාපාරයක්  තිබෙන නිසා. හිස්ටෝරියා කියන වචනය එන්නේ  ග්‍...