සමාජවාදයේ තෙවැනි රැල්ල



 පහත පලවන්නේ චීන ජාතික මාක්ස්වාදී ශාස්ත්රඥයෙක් වන යැංග් පිංග් විසින් රචිත ‘The Third Wave of Socialism’ නම් රචනාවේ සිංහල පරිවර්තනයයි. මෙය 2021 වර්ෂයේදී, ඉංග්රීසි බසින් පළ වන වාර ප්රකාශනයක් වන වෙන්-හුවා සොං-හං (Wenhua Zongheng) සගරාවේ පලවූ රචනයකි. චීනයේ ආර්ථික සංවර්ධන මාවත පිලිබඳ දක්ෂිණාංශික අදහස් දරන අය වගේම, වාමාංශික අදහස් දරන අය අතරත් ප්රචලිත අදහස වන්නේ 1978 ආර්ථික ප්රතිසංස්කරණ සිදු කිරීමෙන් පසුව එරට ධනවාදී රටක් බවට පත්වූ බවයි. ලිබරල් ශාස්ත්රඥයන්ට අනුව චීනයේ ආර්ථික සංවර්ධනය නිදහස් වෙලඳපොල ක්රමයේ මහිමය පිලිබිඹු කරන සාර්ථකත්වයේ කථාවකි (success story). ඇතැම් වාමාංශිකයන්ට, එය පාවාදීමේ හා පරිහාණියේ කථාවකි.

චීනයේ ආර්ථික සංවර්ධන මාවත චීනය ; එරට කොමියුනිස්ට් පක්ෂය, වාමාංශික බුද්ධිමතුන් ආදීන් අර්ථකථනය කරන්නේ කෙසේද? මෑතක් වන තෙක්, මෙය බාහිරට එතරම් ප්රක්ෂේපනය වූයේ නැත. මාක්ස්වාදය, සමාජවාදය ආදිය ගැන එරට සිදුවන සංවාදය අපට ආගන්තුක වීමට ප්රධානතම හේතුව නම් භාෂා ප්රශ්නයයි ; මෙම සාහිත්යය ඉංග්රීසි බසට පරිවර්තනය වූයේ අඩුවෙනි. මෑතක සිට මෙම අදහස් ඉංග්රීසි බසින් සන්නිවේදනය කිරීමේ යම් උත්සාහයක් ඇත. මෙම අදහස් ගැන දැනගැනීම අපිට වැදගත් වන්නේ, ඒවා සියල්ලට එකග විය යුතු නිසා නොවේ ; සමකාලීන ලෝකයේ සමාජවාදය පිලිබඳ තිබෙන සජීවී සංවාදය සම්බන්ධව ගත්විට, චීනයේ පවතින වාද විවාද යනු මග හැර යා නොහැකි සම්ප්රදායකි. ගෝලීය දකුණේ අඩු දියුණු රටක, සමාජවාදී නැඹුරුව සහිත ආණ්ඩුවක් බලයට පත්වන විට, ස්වාධීන සංවර්ධන මාවතක් ඇති කරගැන්ම සඳහා අනුගමනය කළ යුතු ක්රමවේද ගැන වැදගත් අන්තර්දෘෂ්ටීන් මේ සංවාදය තුල අන්තර්ගතව ඇත.
***
සමාජවාදයේ තෙවැනි රැල්ල - යැංග් පිංග්
2008 ලෝක මූල්ය අර්බුදය සහ කෝවිඩ්-19 ගෝලීය වසංගත තත්වය විසින් පෙන්වා දුන් වැදගත් කරුණක් වන්නේ ධනවාදය බලවත් අර්බුදයකට මුහුණ දී සිටින බවයි. ගෝලීය ආර්ථිකය දීර්ඝකාලීන එක තැන් පල්වීමක් හා පරිහාණියකට මුහුණ දී සිටී ; පැතිරී ගිය විරැකියාව, ඇති-නැති පරතරයේ බරපතලකම, අධික ණය බර හා වත්කම් බුබුලු නිර්මාණය වීම යනාදිය මෙම පරිහාණියේ ලක්ෂණ වෙති. අවාසනාවන්ත ලෙස, මෙම අර්බුදය විසාල වශයෙන් මනුශ්ය ජීවිත අහිමිවීම සමගත් සම්බන්ධය. ගෝලීය ධනවාදය මුහුණ දී සිටින වත්මන් අර්බුදය යනු මහා අවපාතය (1929-1933) යුගයට පසු එලැඹි ප්රධානතම අර්බුදයයි.
මෙම අර්බුදයත් සමග, ධනවාදයේ සීමාවන් - වෙලඳපොල, තාක්ෂණික හා පාරිසරික යන සියලු අංශවල මනා ලෙස විද්යාමාන වී ඇත. පලමුව, අලුත් වෙලඳපොලවල් හා ලාභ ඉපැයිය හැකි මූලාශ්ර හිග වෙමින් පවතී. ප්රාග්ධන සමුච්චනය සඳහා වූ පෙලඹුම දුර්වල වෙමින් ඇත. දෙවනුව, අර්බුදය නිසා උත්පාදිත, තාක්ෂණ නවෝත්පාදනවල වැඩීමක් තිබුණත්, ඒවාවල ප්රතිලාභ එන්න එන්නම සුලු පිරිසක් අත සංකේන්ද්රණය වෙමින් ඇත. බහුතරයක් වන ජනතාව ධනවාදී පද්ධතිය තුළ ආන්තික කිරීමෙහිලා මෙම තාක්ෂණික නවෝත්පාදන හේතු වෙමින් පවතී. තෙවනුව, පෘථිවියේ පරිසර පද්ධතියට ධනවාදී නිෂ්පාදන මාදිලිය සහ ජීවන රටාව විසින් ඇති කළ පීඩනය තවදුරටත් දරාගෙන සිටිය නොහැක. ලෝකයේ පාරිසරික ශක්යතාවය එහි සීමාව වෙත ලගා වී ඇත.
මෙහි තේරුම තමයි ධනවාදී අර්බුදය විසඳීමට සාම්ප්රදායිකව යොදාගත් ක්රමවේද වත්මන් අර්බුදයේ සන්දර්භය තුළ අසාර්ථක වී ඇත බව. නව ලිබරල්වාදයේ දශක හතරකට පසුව, ධනවාදී ආණ්ඩු සමාජ වියදම් පිලිබඳ අර්බුදයකට මුහුණ දී සිටී. පෞද්ගලික ප්රාග්ධනය උත්තේජනය කිරීම සඳහා වැඩි වැඩියෙන් ව්යුහාත්මක ආර්ථික ප්රතිසංස්කරණ කිරීම සඳහා වන තෙරපුම සහ අවම සමාජ සුබසාධන මට්ටම් පවත්වා ගැන්ම අතර ප්රතිවිරෝධයක් ජනිත වී ඇත. ප්රමාණාත්මක ලිහිල් කිරීමේ මූල්ය ප්රතිපත්ති නිසා විශාල වත්කම් බුබුලු හා ණය චක්ර නිර්මාණය වී තිබේ. මෙහි ප්රතිඵල ලෙස, මෙම අර්බුද යුගයේ දැවැන්ත ධන අසමානතාවයක් හටගෙන ඇත.
මෙම පසුබිම තුළ, පලමු ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධය අතර වූ යුගය තුළ ගෝලීය ධනවාදී භූතලය සංලක්ෂිත කළ බොහෝ ලක්ෂණ යලි මතු වෙමින් තිබෙන ආකාරය දැකගත හැක ; මේ අතර ජනප්රියවාදය, මිලිටරිවාදය හා ෆැසිස්ට්වාදය නැගී ඒම, අභ්යන්තර සමාජ විභේදනය තවත් තීව්ර වීම, ජාතීන් අතර සතුරුකම සහ තරගය උග්ර වීම සහ ප්රති-ගෝලීයකරණ හා කඳවුරු දේශපාලනය බලවත් වීම යනාදී ලක්ෂණ ප්රමුඛ වෙයි. ජාත්යන්තර වශයෙන් වන ආතතීන් වැඩි වන තරමට, අලුත් ගෝලීය යුද්ධයක අනතුර ද වැඩෙමින් ඇත.
අර්බුද නිසා යුද්ධ ඇති වෙයි, යුද්ධ විප්ලව වෙත මග පාදයි. මෙය ගෝලීය ධනවාදී පද්ධතියේ ඉතිහාසය තුළ යලි යලිත් දක්නට ලැබෙන ලක්ෂණයකි. විසි එක් වන සියවසේ තෙවැනි දශකය තුළ, මෙම දැවැන්ත අර්බුදයේ පසුබිම යටතේ විශාල ප්රතිසංස්කරණයකට ලක්වෙමින්, මෙම අර්බුදය අතික්රමණය කරගැන්මට ධනවාදය සමත් වනු ඇද්ද? එසේ නැතිනම්, මේ වූ කලී එහි අවසානය සලකුණු කරන, ධනවාදයේ ‘චර්නොබිල් මොහොතද?’. ඉතිහාසය යලි වතාවක් තීරණාත්මක මංසන්ධියකට එලැඹ සිටී.
සමාජවාදයේ රැළි තුන
ධනවාදය පිලිබඳ විවාරයක් සහ ව්යාපාරයක් ලෙස, සමාජවාදය යනු සෑම විටම ධනවාදයට සමගාමී ලෙස පිහිටි එකකි. එය ධනවාදයට එරෙහි බලවත් ප්රතිබලයක් ලෙස ක්රියාකළ අතර ධනවාදය අතික්රමණය කිරීමට, විස්ථාපනය කිරීමට පුලුවන් විකල්ප මාවත් කවරේදැ’යි නිරන්තර ගවේෂණයක යෙදුණේය.
පළමු ජාත්යන්තරය (1864-1876) පිහිටවූ අවස්ථාවේ සිට ගත්කල, ගෝලීය සමාජවාදී ව්යාපාරය ප්රධාන රැළි තුනක් ඔස්සේ ගමන් කොට ඇත.
පලමු රැල්ල දහනම වන සියවසේ යුරෝපය තුළ ඇති විය. ඒ යුරෝපීය කම්කරු ව්යාපාරය පැවැත්ම පිලිබඳ තත්වයක සිට ස්ව-සවිඥානයේ තත්වය දක්වා ක්රමානුකූලව පරිවර්තනය වෙමින් සිටි අවධියේය. මාක්ස්වාදයේ බිහිවීම, ජාත්යන්තර කම්කරු සංවිධාන ඇති වීම, 1871 පැරිස් කොමියුනය බඳු සමාජවාදී විප්ලවයක් දියත් කිරීම සඳහා වූ මුල්කාලීන ව්යායාමයන්ගෙන් මෙම යුගය සංලක්ෂිත විය. සමාජවාදයේ මෙම පළමු රැල්ල විසින් කම්කරු පන්තියේ දේශපාලන අවදි වීම සලකුණු කළේය. රටවල් ගණනාවක, කම්කරු පාන්තික දේශපාලන පක්ෂවල බිහිවීම මේ යුගයේ සිදුවිය. එහෙත්, මෙම අවධිය තුළ සමාජවාදී රාජ්යයක ආකෘතිය යථාර්තයක් වූයේ නැත.
දෙවැනි රැල්ල පලමු ලෝක යුද්ධය අවසාන වීමත්, 1917 ඔක්තොම්බර් විප්ලවය ජයගැනීමත් සමග ආරම්භ වූ අතර 1989 සිට 1991 දක්වා වූ කාලය තුළ සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්යයන් බිඳ වැටීම දක්වා පැවතියේය. ලෝකය පුරාවට, සමාජවාදී රාජ්යයන් ගණනාවක් පැන නැංගේය. සෝවියට් දේශයෙන් ආරම්භ වූ මෙම ප්රවණතාවය, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව චීනය, කියුබාව, කොරියාව, වියට්නාමය හා වෙනත් රටවල් වෙත පැතිරී ගියේය. මේ රටවල සමස්තය සමාජවාදී කඳවුර සංයුක්ත කළේය. මෙම රාජ්ය පද්ධතියට අමතරව, සීතල යුද්ධ සමය තුළ ආසියාව, අප්රිකාව හා ලතින් ඇමරිකාව යන මහාද්වීපවල ඇති වූ ජාතික විමුක්ති ව්යාපාර තුළ අන්තර්ජාතික සමාජවාදී ව්යාපාරයේ විශාල කොටසක් සංවිධානය විය. මේ ව්යාපාර බොහොමයක් සමාජවාදී ලෙස තමුන්ව හඳුන්වාගත්තේය. නැතිනම්, එම අදහස්වල ආභාෂය ලැබීය.
මේ අනුව පුලුල් ලෙස ව්යාප්ත වූ රාජ්ය අයිතිය සහ ආර්ථික සැලසුම්කරණය යන ලක්ෂණවලින් යුක්ත සමාජවාදී රාජ්ය ආකෘතියේ පැන නැගීම, සහ ජාතික විමුක්ති ව්යාපාරවල නැගීම යන ගතිකයන්ගෙන් සමාජවාදයේ දෙවැනි රැල්ල සංයුක්ත වී යැයි කිව හැක. සීතල යුද්ධය අවසාන වීමත් සමග සමාජවාදය දැවැන්ත ගෝලීය පසුබෑමකට හසුවිය. චීනය 1970 දශකයේ අග භාගයේ දියත් කළ ප්රතිසංස්කරණ හා විවෘතකරණ ක්රියාවලියට පසුව ආරම්භ වූ තුන්වන රැල්ල සෝවියට් සංගමයේ බිඳ වැටීම හා නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්යයන්ගේ වැටීම අබිබවා සිටියේය. ලෝකය පුරාවට සමාජවාදය අතිශය දුබල වූ පසුබිමක වුව, චීනය සමාජවාදය වෙත කැපවී උන් අතර ඒ අතරම ප්රතිසංස්කරණය සහ විවෘතකරණය යන ප්රතිපත්ති අනුගමනය කළේය. මෙය චීන ලක්ෂණ සහිත සමාජවාදය ලෙස හඳුන්වන ලද මාවත බිහිවීමෙහිලා හේතු විය. චීන ලක්ෂණ සහිත සමාජවාදයේ ප්රධාන ලක්ෂණය වන්නේ සමාජවාදී ක්රමයක් තුළට වෙලඳපාල ආර්ථිකය බද්ධ කරගැන්මයි. මෙය ක්රමානුකූලව, සමාජවාදී වෙලඳපොල ආර්ථිකයක පැන නැගීම සලකුණු කළේය.
අද වනවිට, සීතල යුද්ධයේ නිමාවෙන් දශක තුනකට පසුව, චීන ලක්ෂණ සහිත සමාජවාදය වේගවත් නැගීමක් පෙන්නුම් කරනු ලබන අතර ලෝක පර්යාය සහ මනුශ්යත්වයේ අනාගතය යලි හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්ව ඇත. සමාජවාදයේ මෙම රැල්ල තවමත් පවතින්නේ එහි ආරම්භක අවධියේය. කෙසේ වෙතත්, එය මේ වනවිට ගෝලීය මට්ටමින් අවධානය දිනාගෙන ඇති අතර, ස්වාධීන සංවර්ධන මාවතක් අපේක්ෂා කරන රටවල් වෙත අලුත් අවස්ථා නිර්මාණය කොට දෙමින්, ධනවාදය විසින් ‘ඉතිහාසය අවසන් කොට ඇති බවට’ ප්රකාශ කරන අය වෙත ප්රබල අභියෝගයක් එමගින් ඉදිරිපත් කොට ඇත.
දෙවැනි සමාජවාදී රැල්ලේ සීමා
වත්මන් යථාර්තය සහ සමාජවාදයේ තෙවන රැල්ලේ අනාගත විභවය පිලිබඳ සාකච්ඡා කිරීමට පෙර, අප දෙවන සමාජවාදී රැල්ල සහ එහි පසුබැස්මට හේතු වූ සාධක සමාලෝචනය කල යුතු වෙමු. 1917 ඔක්තොම්බර් විප්ලවය සහ 1949 චීන විප්ලවය සමග සමාජවාදය ලෝකය පුරා ව්යාප්ත විය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එලැඹි දශකවල ධනවාදී ලෝක පද්ධතිය පැවැතියේ අස්ථිර අඩියකය. සමාජවාදය ගෝලීයව ව්යාප්ත වන විට, සමාජවාදී රටවල් පුලුල් ලෙස සෝවියට් පන්නයේ සැලසුම්සහගත ආර්ථික ඇති කළේය. රාජ්ය අයිතිය සහිත ආර්ථික ක්රම නිර්මාණය කළේය. මෙම ප්රතිපත්ති නිසා කාර්මිකකරණයේ මුල් අවධිය සාක්ෂාත් කරගැන්මටත්, සමාජවාදී ජාතික ආර්ථික පද්ධතීන් බිහි කිරීමටත් පුලුවන්කම ලැබුණි.
කෙසේ වුවත්, සෝවියට් පන්නයේ සැලසුම්සහගත ආර්ථිකය සහ ශුද්ධ රාජ්ය අයිතිය යන සංචරකයන්ගෙන් සමන්විත ආකෘතිය බරපතල සීමා කීපයකට මුහුණ පෑවේය. පලමුව, සැලසුම්සහගත ආර්ථික ක්රමයට, සමාජ හා ආර්ථික සම්පත් ඵලදායී හා නම්යශීලී ලෙසකට බෙදාහැරීමට නොහැකි වූ අතර, මෙහි ප්රතිඵල ලෙස තථ්ය ආර්ථිකයේ දර්ශකවලට ප්රතිචාරාත්මක විය නොහැකි ආකාරයේ දෘඩ හා විකෘති වූ ජාතික ආර්ථික පද්ධතීන් නිර්මාණය විය.
දෙවනුව, ශුද්ධ රාජ්ය අයිතිය සහ සමානාත්මතාවාදී බෙදාහැරීමේ පද්ධතිය නිසා අතරමැදි හා ක්ෂුද්ර මට්ටම්වලදී, ශ්රමය සඳහා ප්රමාණවත් සානුබල සැපයුමක් නොවීය. මෙහි ප්රතිඵල ලෙස ධනාත්මක තරගකාරීත්වය අඩු මට්ටමක වූ අතර, ආර්ථික කාර්යක්ෂමතාවය පොදු වශයෙන් පහත් මට්ටමක පැවතුණි.
තෙවනුව, පුද්ගලික හා වෙලද භාණ්ඩ ආර්ථිකය මත සීමා පැනවීම, එය අහෝසි කිරීම වටිනාකම පිලිබඳ නියාමය උල්ලංඝණය කිරීමෙහිලා හේතු වූ අතර සමාජයීය වශයෙන් නිෂ්පාදනීය බලවේගයන්ගේ වර්ධනය සඳහා අවශ්ය වූ අවධියක් මතින් පැන යාමක් ඉන් සලකුණු විය. මේ නිසා, දිගුකාලීන, පද්ධතිමය ගැටලු නිර්මාණය විය ; ආර්ථික හා සමාජ ජීවිතයට අදාල සංකීර්ණ උවමනා සපුරමින්, ජනතාවගේ ජීවන තත්වය කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීම සම්බන්ධව දුෂ්කරතා මතු විය.
අවසාන වශයෙන්, කාලයත් සමගථ සෝවියට් පන්නයේ සැලසුම්කරණය සහ ආර්ථික කලමණාකරනය නිසා එන්න එන්නම සංවෘත, ඇතුළට නැමුණු ලක්ෂණ සහිත ක්රමයක් ඇති විය. නිලධාරිවාදය සහ අධානග්රාහීත්වය නිසා ඔද්දල් වූ මෙම ක්රමයට, තාක්ෂණික ප්රගතිය සහ සංවිධානයේ නවෝත්පාදනය යන අවශ්යතා ප්රමාණවත් ලෙස තෘප්ත කිරීමට නොහැකි විය.
1980 හා 1990 ගණන්වල, සමාජවාදී දෙවැනි රැල්ල මුහුණ දුන් ප්රබල පසුබෑම, පාර්ශවීය වශයෙන්, ධනවාදී ලෝක පද්ධතියේ බලපෑම හා සමාජවාදී කඳවුරේ භේදබින්න වීම බඳු බාහිර සාධකවලට ආරෝපණය කළ හැකි නමුත්, අවසාන වශයෙන් ගත්කළ මෙම බිඳ වැටීමට ප්රධාන වශයෙන් බලපෑවේ සමාජවාදී රටවල් තුළම වූ ප්රමාණවත් නොවන ආර්ථික හා සමාජ මෙහෙයුම් පද්ධති හා ආයතනික සැකසුම්වල වූ දෝෂ සහගත තත්වයයි. මෙම අභ්යන්තර යාන්ත්රණවල වූ තිරසාර නොවන බව නිසාය සෝවියට් සංගමය තුළ විශාල වෙනස්කම් උද්ගත වීම සහ චීනය ප්රතිසංස්කරණය හා විවෘතවීම වෙත නැඹුරු වීම සිදු වූයේ.
චීන ලක්ෂණ සහිත සමාජවාදය සහ සමාජවාදයේ තුන්වන රැල්ල
ප්රතිසංස්කරණය සහ විවෘත වීම යන ප්රතිපත්තිවල අඛණ්ඩ වර්ධනය සමග චීන ලක්ෂණ සහිත සමාජවාදය සාම්ප්රදායික සෝවියට් සමාජවාදය සහ සම්භාව්ය නිදහස් වෙලඳපොල ධනවාදය යන දෙකටම වෙනස් සංවර්ධන මාවතක් ලෙස මතුව එමින් ඇත. චීනයේ සංවර්ධන මාවත සහ ඒ හා බැඳුණු න්යායන් ලෝක මට්ටම වෙත එසැවෙමින් පවතී. චීන ලක්ෂණ සමාජවාදය යනු ස්ථිතික මොඩලයක් නොවේ. චීනයේ ව්යවහාරය අඛණ්ඩ පර්යේෂණයට විෂය වූවකි. කෙසේ වෙතත්, දශක හතරක අත්දැකීම්වලට පසුව, එය තුළ වන ප්රධාන ලක්ෂණ හයක් අපට හඳුනාගත හැක.
පළමුව, නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට ප්රමුඛතාවය ලබා දී ඇත. චීන ලක්ෂණ සහිත සමාජවාදය, ධනවාදයේ තර්කානුකූල ආර්ථික රූපාකාරයන්ගෙන් ඉගෙන ගැනීමෙහිලා විවෘතය, දියුණු නිෂ්පාදන බලවේගයන්ගේ සීඝ්ර සංවර්ධනයට දායක විය හැකි ලෙසට පෞද්ගලික ආර්ථිකය වර්ධනය වීමට අවසර දෙයි. ඒ අතරම, ආර්ථිකයේ ප්රධාන අංශවල රාජ්ය-අයිතිය සහිත ආර්ථිකය දියුණු කිරීම උපාය මාර්ගික ලෙස සිදු කෙරෙයි. මේ අනුව පෞද්ගලික ආර්ථිකය සමග අනුපූරක වූ රාජ්ය අංශයක් සහිත, මිශ්ර අයිතිය ඇති ව්යුහයක් නිර්මාණය වී ඇත.
දෙවනුව, චීනය තමන්ගේ සමාජවාදී ආර්ථික පදනම, වෙලඳපොල ආර්ථිකයේ නිෂ්පාදන සම්බන්ධතා සමග කිට්ටු ලෙස ඒකාබද්ධ කොට ඇත. ඒ ක්රමානුකූල ලෙස, සමාජවාදී වෙලඳපොල ආර්ථික ක්රමයක් ස්ථාපිත වන අයුරිනි.
තෙවනුව, විවෘත වෙමින්, ගෝලීය ධනවාදී ආර්ථික පද්ධතිය සමග ඒකාග්ර වීම සිදු කෙරෙන අතර, ජාතික ස්වාධිපත්යය ආරක්ෂා කිරීම සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමාජවාදී ස්වරූපය දිගටම පවත්වා ගැනීම කෙරෙහි චීනය අවධානය යොමු කොට ඇත. වර්ධනය වන වෙලඳපොල ආර්ථිකය නිසා ඇති විය හැකි අවදානමක් වන, ධනවාදය වෙත සම්පූර්ණ වශයෙන් රූටා යාම පිලිබඳ චීනය අවධානයෙන් පසුවෙයි.
සිවුවනුව, සමාජ සාධාරණත්වය සහ අසමානතාවය සම්බන්ධ ප්රශ්න සංවර්ධනය තුලින් විසඳාගැන්ම කෙරෙහි චීනය යොමු වී සිටී. සංවර්ධනය නිසා ධනයේ වර්ධනයක් සිදුවිය හැක. එහෙත් විවිධ හේතු නිසා, මෙම වර්ධනයම, සමාජ විෂමතා වැඩි කිරීමෙහිලා හේතු විය හැක. මෙම සමාජ විෂමතා සහ අසමානතා සංසිඳුවීමට අදාල සමාජ ධනය සහ භෞතික පදනම නිර්මාණය කල හැක්කේ සංවර්ධනයටම පමණකි. චීන ලක්ෂණ සහිත සමාජවාදය යටතේ සමාජ සාධාරණත්වය සම්බන්ධ ප්රශ්න විසඳීමේ ප්රධානතම මාවත ලෙස සැලකෙන්නේ සංවර්ධනයයි. සෙසු ක්රමවේද වෙත ඇත්තේ ද්විතීක වැදගත්කමකි. මේ උදෙසා ගතික, පෙර සූදානමින් යුක්ත ක්රියාමාර්ග ඇවැසිය. දෘඩ, කෝකටත් තෛලය වර්ගයේ විසඳුම් අනුචිතය.
පස්වනුව, සමාජවාදී වෙලඳපොල ආර්ථිකයක් තුළ ධන අසමානතා සමතුලිත කරනු පිණිස රාජ්යය විසින් විවිධ ක්රමවේද අනුගමනය කොට ඇත. වෙලඳපොල ආර්ථිකය තුළ ආන්තිකකරණය වූ සමාජ කොටස් අන්තර්ග්රහණය කරගනු පිණිස මහා පරිමාණ දරිද්රතාවය පිටුදැකීමේ ව්යාපෘතීන් ක්රියාත්මක කොට ඇත. ඉලක්කසහගත ව්යායාමයන් තුලින් දුගීභාවයෙන් මිදීමට ඔවුන්ට උදවු කිරීම මේ ව්යාපෘතිවල අරමුණයි. මීට අමතරව, යුගලගත සහයෝගය (paired-up assistance) නම් මූලධර්මය අනුව, සංවර්ධිත ප්රදේශ, රාජ්ය ආයතන, ව්යාපාර සහ වෙනත් සාධක දුගී ප්රදේශ සමග සම්බන්ධිත කෙරෙන ආකාරයේ විවිධ වැඩසටහන් නිර්මාණය කොට ඇත. සම්පත් සහ උපකාර ඌණ සංවර්ධිත පෙදෙස් වෙත යොමු කිරීම මෙහි අරමුණයි. මේ අතර ප්රදේශ අතර විෂමතා අවම කිරීම සඳහා වඩා සංවර්ධිත නැගෙනහිර පෙදෙස්වල සිට, ඌණ සංවර්ධිත මධ්යම හා බටහිර ප්රදේශ වෙත හුවමාරු ආධාර ගෙවීම් (transfer payments) සිදු කෙරෙයි. රාජ්ය ආදායම හා වියදම සම්බන්ධව තිබෙන වෙනස්කම් අවම කිරීමෙහිලා මෙබඳු ක්රමවේද උපකාරී වේ. පෞද්ගලික දේපොළ ශුද්ධ වූ එකක් ලෙස සැලකෙන, මැතිවරණ ක්රමවේද තුලින් බලවත් පන්තිවල ස්ථාපිත අභිලාෂයන් පමණක් සුරක්ෂිත වන ධනවාදී රටවල මෙබඳු ක්රමවේද ක්රියාත්මක කිරීම තබා, ඒ ගැන සිතීමටද අපහසුය.
සයවනුව, චීන කොමියුනිස්ට් පක්ෂය සමාජයේ ඇතැම් කොටස්වල පටු අභිලාෂයන්ගෙන් බැඳී නොසිටී. මෙම තත්වය ආරක්ෂා කරගනු උදෙසා, චීන කොමියුනිස්ට් පක්ෂය ප්රාග්ධනය විසින් සිදු කෙරනෙ පාලනයෙන් හා ඇතුලු වීම්වලින් ස්වාධීන වී සිටිය යුතුය. ආර්ථික කාර්ය සාධනය සහ සමාජ සාධාරණත්වය අතර ගතික තුලනයක් පවත්වා ගනු උදෙසා ජනප්රිය ඉල්ලීම්වල බලපෑමෙන් හා දෘඩ සමානාත්මතාවාදයෙන් ද නිදහස්ව සිටිය යුතු වෙයි.

රමින්දු ලක්ඛිත පෙරේරා
https://www.facebook.com/lakkhika.perera

No comments:

Post a Comment

ප්‍රතිචාරයට ස්තූතියි

සමාජවාදයේ තෙවැනි රැල්ල

  පහත පලවන්නේ චීන ජාතික මාක්ස්වාදී ශාස්ත් ‍ රඥයෙක් වන යැංග් පිංග් විසින් රචිත ‘The Third Wave of Socialism’ නම් රචනාවේ සිංහල පරිවර්තනයයි. මෙ...