උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.
හොර කෙහෙළිය 01
මාධ්ය හරහා දිගින් දිගටම සිදුවූ බලපෑම හමුවේ පසුගිය දා සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්රී චන්ද්රගුප්ත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්රතිදේහජනක ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනා අබේවික්රම නියෝග නිකුත් කළාය.
මේ වනවිට මෙම සිදුවීමට අදාළව අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්රනාන්දු, වෛද්ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක, සහකාර අධ්යක්ෂ දේවශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. දැන් අප අසන්නේ මෙම වංචාවට වගකිවයුතු පුද්ගලයින් සියල්ල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතිද යන්නයි.
අපට දැනට ලැබෙන තොරතුරු අනුව තව තිදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත යුතුය. ඔවුන් නම් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර ය. ඒ අනුව ලැබෙන තොරතුරු කියන්නේ හිටපු සෞඛ්ය අමාත්යවරයා ඇරෙන්නට ඉදිරි දින කිහිපය තුළ අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගන්නට බොහෝදුරට ඉඩ ඇති බවය. මේ ලිපිය ලියන පසුගිය දෙසැම්බර් 20 දා සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්රකාශයක් සටහන් කරගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව දෙවන වරටත් ඔහුගේ කාර්යාල කාමරය පරීක්ෂාවට ලක්කර ඇත.
මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට කළ යුතුයැයි අප කියන්නේ ඇයි? එයට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින තොරතුරු බොහෝමයක් අප සතුවද පවතින නිසා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තොරතුරු තිබුණත් ක්රියාත්මක වන්නට දේශපාලන බලාධිකාරය ඉඩ දෙන්නේ නැති වග එහි සිදුවෙන සමහර දේවල්වලින් පෙනෙයි. ඒ අනුව මුල්ම පරීක්ෂණ කණ්ඩායමද දැන් වෙනස්ව ඇති බවට කරුණු වාර්තා වෙයි. නීතිපති දෙපාර්තමේන්තුව තුළ තත්ත්වයද එයමය. එනිසා මෙම පරීක්ෂණ ක්රියාවලිය තවමත් ඉදිරියට යන්නේ නොන්ඩි ගසමින් ය.
කෙහෙළිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?
පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේදී හිටපු සෞඛ්ය ලේකම්වරයා වෙනුවෙන් උසාවියේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්රකාශ කර ඇත්තේ තම සේවාදායකයා නිකලැල් චරිතයකින් හෙබි අමාත්යාංශ ලේකම්වරයෙකු බවය. ඔහු වෙත පවරනු ලැබූ රාජකාරී ඔහු සිදු කළා හැර, වෙනත් අපරාධයක් කර නැතැයි යන්න ය. මේ ප්රකාශයට අනුව කල්පනා කරන විට සිතට නැඟෙන පැනය වන්නේ, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු නිකැළැල් මෙම ලේකම්වරයාට රාජකාරි පැවරුවේ කවුරුන්ද යන්නයි. රාජ්ය යාන්ත්රණ බල ධුරාවලියට අනුව නම් එම පුද්ගලයා සෞඛ්ය අමාත්යවරයා විය යුතු ය.
ජනතාව විසින් එලවා දමනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් අමාත්ය ධුර හතක් එහෙට මෙහෙට අනමින් 2021 අගෝස්තු 16 කැබිනට් සංශෝධනයක් සිදුකරන අතර එහිදී කොවිඩ් මර්දනය කරන්නට මුට්ටි ගඟට විසිකළ ඇමතිනී පවිත්රා අත පත්කර තිබුණ සෞඛ්ය ඇමති ධුරය ඇයගෙන් ගලවා කෙහෙළිය රඹුක්වැල්ලට දෙන්නට කටයුතු කළේය. එතෙක් ජනමාධ්ය ඇමති ධුරයේ කටයුතු කරමින් ආණ්ඩුවේ කුණු සෝදමින් සිටි කෙහෙළිය රඹුක්වැල්ලට මේ ඇමති මාරුව කල්ල මරේ වුණාට කිසිදු සැකයක් නැත.
නියම සැලසුම
මෙම බෙහෙත් මගඩිය හරි අපූර්ව සැලැස්මකට අනුව ක්රියාත්මක වී ඇත. පිළිකා රෝගීන්ට වතුර එන්නත් කළාට කමක් නැත. එයින් යම් කිසි දෙයක් සිද්ධවී එම රෝගියා මියගියත් එය පිළිකාවේ පැතිරීම නිසා සිදුවුණ මරණයක් බව ප්රකාශ කරමින් හොරුන්ට ගැළවී යා හැකිය. ඒ අනුව රාජ්ය මුදල් ගසා කෑම සඳහා හොඳම බෙහෙත් වර්ග මොනවාදැයි තෝරාබේරාගෙන ඇත. එම මුල් බෙහෙත් වර්ග ලිස්ට් එක 182ක් තරම් දිගය. මේ සියල්ල ආරම්භ වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්ය අමාත්ය ධුරයේ වැඩ භාරගත් පසුවය.
වියත්මගෙන් ඖෂධ නියාමන අධිකාරියට පැමිණ සිටි සභාපතිවරයා මෙන්ම තවත් කිහිපදෙනෙක් එම තනතුරුවලින් ඉවත්කරමින් වැඩ ආරම්භ කරන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා අනතරුව එම ධුරය සඳහා මෙන්ම ප්රධාන විධායක ධුරය සඳහා ද තමන්ට අවශ්ය පුද්ගලයින් පත්කර ඇත. මෙම පත්වීම් අතරින් ඖෂධ නියාමන අධිකාරියේ දෙවෙනියා සේ සලකන ප්රධාන විධායක තනතුරට පත්කරන වෛද්ය විජිත් ගුණසේකර කැපී පෙනෙයි. ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන කෙහෙළිය රඹුක්වැල්ල එහි සංයුතිය පූර්ණය කරන්නේ නැත. 13 දෙනෙකු පත්විය යුතු අධ්යක්ෂ මණ්ඩලයට පත්වන්නේ 8 දෙනෙක් ය. එයත් මෙම ගැහිල්ලේම කොටසක් බව පැහැදිලිය.
ඉන්පසුව ඖෂධ හිඟයක් ඇතිවීම සඳහා දැනුවත්ව කටයුතු කර ඇත. ඉන්දියානු ණය යෝජනා ක්රමයේ ප්රතිපාදන ද කල් ඉකුත් වෙන්නට ඔන්න මෙන්න වෙනකම් ඖෂධ හිඟයට වැඩෙන්නට ඉඩ දී ඇත්තේ හොද්ද බොරවීම සඳහා ය. ඉන්පසුව මෙම බෙහෙත් වර්ග 182ක හදිස්සියේ ගෙන්වීම සඳහා වැඩ පටන් ගෙන ඇත. බොහෝ වැඩ කටවචනයට අනුව පටන් ගෙන ක්රියාත්මක වෙමින් යන අතරතුර අමාත්ය මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ගොස් ඇත.
මෙම බෙහෙත් වර්ග 182ක අතරින් ඇණවුම් කර ලැබෙන්නට තිබෙන බෙහෙත් වර්ග ගැන බලන්නේ නැතිව නව ගෙන්වීම් කරන්න යැයි උපදෙස් ලැබී ඇත. ඒ අනුව මෙම ඇණවුමෙන් සති දෙකක් ගිය තැන සමහර බෙහෙත් ඇණවුම් ලැබී ඇත. ගැහිල්ලේ දිගපළල එහෙමය. හදිස්සිය එහෙමය.
බෙහෙත් ගෙන්වීමේ සාමාන්ය ක්රමය අනුව සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශය (MSD) අවශ්ය බෙහෙත් ඇණවුම පිළිබඳව විස්තර ලබාදුන් පසුව එම බෙහෙත් ගෙන්වීමේ සහ මිලදී ගැනීමේ ක්රියාවලිය සිදු කරන්නේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවයි (SPC). එම බෙහෙත්වල ප්රමිතිය මෙන්ම ගෙන්වන ආයතන එම බෙහෙත් මිලදී ගන්නා මව් ආයතනය පිළිබඳ විස්තර, රසායනාගාර විස්තර, බෙහෙතේ සායනික දත්ත ආදිය පරීක්ෂා කරන්නේ ඖෂධ නියාමන අධිකාරියයි (NMRA). එහෙත් මෙම සාමාන්ය ක්රමවේදයෙන් බැහැරව මෙම ඖෂධ ගෙන්වීම සිද්ධ කර ඇත.
මෙම සෙල්ලම ආරම්භ වන විටම රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව මෙසේ ඖෂධ ගෙන්වන්නට බැහැ බව කියමින් යාන්ත්රණයෙන් ඉවත්වී ඇත. තමන්ට අවශ්ය විදිහට වැඩ කරන්න බැරිනම් ඉවත්ව යන්න යැයි එස්පීසී ලොක්කාට මෙහිදී අමාත්යවරයා සැරවී ඇතැයි වාර්තා වෙන අතර පසුව අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබාගනිමින් එම එස්පීසී වැඩේත් වෛද්ය සැපයුම් අංශයට භාර දී ඇත. බල්ලාගේ වැඩේ බූරුවාට භාර දෙනවිට එය භාරගත් බූරුවන්ට දැන් හිරේ ළගින්නට සිදුව ඇත. මේවා උසස් රාජ්ය නිළධාරීන් දැන්වත් වටහා ගත යුතුය.
රෝගීන් මරණය වෙත යැවීම
ඉන්පසුව රෝගීන් මරණය වෙත යවා මුදල් හම්බ කරන සෙල්ලම ආරම්භ වී ඇත. ඒ හදිස්සි මිල දී ගැනීම් නැමති වහන්තරාවට මුවා වෙමින් ස්පෙෂල් පාත්වේ නම් මාර්ගයක් මවමින් ය. එහිදී බෙහෙතක් ගෙන්වන විට ක්රියාත්මක වෙන ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්ය ක්රියාවලිය, මම නම් ඖෂධ නියාමන අධිකාරිය වෙමි යැයි කියමින් ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර තමන්ගේ යටතට ගෙන ඇත.
එහිදී ඖෂධ නියාමන අධිකාරිය තුළ එයාම ඉල්ලා එයාම අනුමැතිය දෙන ස්පෙෂල් පාත්වේ නම් අරුම මොඩලයක් ක්රියාත්මක වී ඇත. 2022 සැප්තැම්බර් 16 වෙනි දින අධ්යක්ෂ මණ්ඩල තීරණය මත මෙම ක්රමය ක්රියාත්මක කර ඇති අතර මෙහිදී සිද්ධවී ඇත්තේ ප්රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ඖෂධ ගෙන්වීමේ සමාගම් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමය. මෙහිදී ඖෂධ නියාමන අධිකාරිය ඊට ප්රථම නියාමනය සඳහා සලකා බලන සියලු මිනුම් දඬු බැහැර කර ඇත. පුද්ගලික අභිමතය පමණක් ක්රියාත්මක වී ඇත. මෙම ක්රමය යටතේ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා 2022-2023 ජූනි අතර කාලයේ ලිපි 287ක් නිකුත් කර ඇත. මෙම ප්රධාන විධායක නිලධාරියා යටතේ ඖෂධ නියාමන අධිකාරියේ සිදුව ඇති මෙවැනි වර්ගයේ කෙරුම් ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. ඒ තරමට කරුණු ඇත.
ඉන්දියානු ආධාර බොරුව
මෙම බෙහෙත් ඉන්දියානු ණය ආධාර යටතේ මිලදී ගන්නවා යැයි කියමින් අමාත්ය මණ්ඩලයද මෙහිදී රවටා ඇත. සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල 2021 අගෝස්තු 16 දින සෞඛ්ය අමාත්යවරයා සේ පත්වීමෙන් අනතුරුව 2022 සැප් 26 දිනැතිව අංක 22/1523/610/018 දරන අමාත්ය මණ්ඩල සංදේශය මගින් රජයේ සෞඛ්ය ආයතනවල පවතින උග්ර වෛද්ය සැපයුම් හිඟය මඟහරවා ගැනීමත්, අඛණ්ඩ වෛද්ය සැපයුම් සේවාවක් පවත්වා ගැනීමටත් යැයි කියමින් ඉන්දීය ණය අරමුදල් වසර අවසන් වනවිට අවලංගු වෙන බවටත් ඊට පෙර එය භාවිත කළ යුතු බවටත් ප්රකාශ කරමින්, පුද්ගලික අංශයේ නියෝජිතයන්ට වෛද්ය සැපයුම් ආනයනය සඳහා අවසර ලබාදීමට ද ඒ අනුව එම පුද්ගලික ආයතන හරහා මාස තුනකට ප්රමාණවත් ඖෂධ තොග ඉන්දීය ණය යෝජනා අරමුදල භාවිත කරමින් ලබාගන්නට ද අවසර ඉල්ලා ඇත. එම යෝජනාවට 2022 ඔක්තෝබර් 03 දින අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
මේ අතර කාලයේ ඉන්දියාවේ සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගමක් සෞඛ්ය අමාත්යවරයා වෙත 2022 ඔක්තෝම්බර් 21 සහ 28 යන දින දෙක තුළ ලිපි යොමුකර තිබුණ අතර ඒ අනුව එමගින් සමාගම සතුව පවතින ඖෂධ අයිතම 38ක අතිරික්ත තොග මිලදී ගැනීමට යෝජනා කර ඇත. මේ පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල 2022 ඔක්තෝබර් 25 නැවතත් අමාත්ය මණ්ඩල සංදේශයක් (22/1523/610/024) ඉදිරිපත් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් වෛද්ය සැපයුම් ආනයනය සඳහා සැලකිය යුතු කාලසීමාවක් ගතවෙන බැවින් සහ වෛද්ය සැපයුම් අංශය සතුව තිබෙන තොග අවදානම් මට්ටමක පවතින බැවින්, ඖෂධ 151ක තොග ශූන්ය මට්ටමක පවතින බැවින්, ඉදිරි සති 03ක කාල සීමාව තුළ ශල්යාගාරවල ක්රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්රිය වෙනු ඇති බවයි.
මෙසේ අවධාරණය කරමින් ඔහු ප්රකාශ කර ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්රමය සහ අනෙකුත් අරමුදල් ක්රම භාවිත කර දින 45ක් ඇතුළත ශ්රී ලංකාව වෙත මාස 03ක කාලයක් සඳහා ප්රමාණවත් වෛද්ය සැපයීම් තොග ලබාදීම සඳහා ඉන්දියාවේ ගුජරාට්හි සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගම එකඟතාව පළකර ඇති බවයි. එසේ කියමින් මෙම අමාත්ය මණ්ඩල සංදේශය මගින් අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මාස 03ක කාලයක් සඳහා ප්රමාණවත් ඖෂධ තොග මෙම ආයතනයෙන් සහ තවත් ආයතනවලින් ලබාගන්නට අවසර ඉල්ලා ඇත.
ඉන්පසුව 2022 නොවැම්බර් 14 රැස්වූ අමාත්ය මණ්ඩලය මුදල් අමාත්යවරයාගේ නිරීක්ෂණවලට අනුව කටයුතු කිරීමට යටත්ව මෙම සංදේශයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අනුමැතිය ලබාදී ඇත. එහෙත් 2022 නොවැම්බර් 01 දිනැති ලිපියක් මගින් වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂකට සහ සියලු සහකාර අධ්යක්ෂවරුන්ට දන්වා ඇත්තේ අමාත්ය මණ්ඩල අනුමැතිය ලද බවය.
ඉන්පසුව 2022 දෙසැම්බර් 05 වෙනි දින නැවතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා අමාත්ය මණ්ඩල සටහනක් (22/1993/610/024-1) ඉදිරිපත් කරමින් ඉන්දියාවේ කෞසික් තෙරපියුටික්ස් යන ආයතනයට මාස තුනකට සරිලන ඖෂධ තොග ආනයනය කරන්නට අවසර ලබාදෙන්න යැයි ඉල්ලා ඇත. එදිනම එයට අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව 2022 දෙසැම්බර් 01 වෙනි දින සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පැවති රැස්වීමකදී ලබාදුන් උපදෙස්වලට අනුව ඉහත සමාගමෙන් ඖෂධ අයිතම 28ක් මිලදී ගැනීමට එවක වෛද්ය සැපයීම් අධ්යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කළ නියෝජ්ය අධ්යක්ෂ විසින් වෛද්ය කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත. මෙහිදී වැදගත් කරුණක් සඳහන් කළ යුතුව ඇත. එනම් දැනට බන්ධනාගාර ගතකර සිටින වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක මෙම තීන්දු තීරණ ගන්නා කාලයේ දිවයිනේ සිට නැති බවය.
හදිස්සිය කොතෙක් ද?
ඉන්දියානු ණය ආධාර මත ගෙන්වනවා යැයි කියමින් දේශීය අරමුදල් ගසා කන ඖෂධ ජාවාරම මෙසේ සක්රිය වෙන පසුබිම තුළ ඉන්දියානු ණය ආධාර ක්රමයේ ඉතිරි අරමුදල් භාවිත කරමින් හදිසි ප්රසම්පාදන ලෙස වෛද්ය සැපයුම් ආනයනය කිරීමට පුද්ගලික අංශයේ ආනයන නියෝජිතයන්ට අවසර ලබාගැනීමට සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 සැප්තැම්බර් 26 දින තවත් අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. එම සංදේශයට ඔක්තෝබර් 03 දින අනුමැතිය ලැබීමට දින 11කට ප්රථම වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් අමතන ඖෂධ, සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා SM/PSRP/01/MSD/2021 දරන ලිපිය 2022 සැප්තැම්බර් 22 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමුකරමින්, ඉන්දියානු ණය ආධාර ක්රමය භාවිත කරමින් පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමටත් මාසයකට වඩා අඩු කාලයකදී තොග මට්ටම් පවතින ඖෂධ සඳහා මාස 03ක කාලයකට ප්රමාණවත් පරිදි ඇණවුම් ඉදිරිපත් කරන්නට දැනුම් දී තිබී ඇත. මෙයින් පෙනෙන්නේ කැබිනට් එකට යන්නටත් පෙර යාන්ත්රණය ක්රියාත්මක වී ඇති බවය. අහෝ රෝගීන් ගැන සිතානේ ..!
අතිරේක ලේකම්වරයාගේ මෙම ලිපිය ලද 2022 සැප්තැම්බර් 23 දිනම වෛද්ය සැපයුම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් එදිනම මෙම ලිපියට සටහන් යොදමින් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇණවුම් ඉදිරිපත් කිරීමට දැනුම් දී ඇත. ඒ අනුව ඊට දින තුනකට පසුව එනම් සැප්තැම්බර් 26 වැනි දිනයේදී වෛද්ය සැපයීම් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විසින් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් 4,150,108,653ක් වටිනා ඖෂධ අයිතම 182ක් සඳහා ‘වී‘ කේතය යටතේ මාස 03ක කාලයක් සඳහා ඇණවුම් ඉදිරිපත් කර ඇත. රාජ්ය සේවාවේ මෙතරම් කාර්යක්ෂමතාවක් මීට පෙර ඔබ දැක තිබේද?
කෙහෙළියගේ අතිරේක ලේකම්
මෙහි නිතර නම සඳහන් අතිරේක ලේකම්වරයා වෙන කිසිවෙකු නොව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යවරයා විසින් උඩින් ගෙනවිත් සෞඛ්ය අමාත්යාංශයට පත් කළ සමන් රත්නායක ය. ඒ බවත් මතක තබාගෙන මෙය කියවන්න.
ඖෂධ අයිතම 182ක් සඳහා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 04ක් වටිනා ඇණවුම් ඉදිරිපත් කර දිනකට පසුව 2022 සැප්තැම්බර් 27 දින ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා විසින් සෞඛ්ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන අභ්යන්තර සටහනක් මගින් ‘2022 සැප්තැම්බර් 22 දින ඉන්දියානු ණය ආධාර භාවිතයෙන් මාස 03ක් සඳහා වැදගත් සහ අත්යවශ්ය ඖෂධ ආනයනය කර සැපයීමට අදාළව සෞඛ්ය අමාත්යවරයා සහ ඖෂධ සැපයුම්කරුවන් අතර පැවති රැස්වීමේ තීරණයකට අනුව’ යැයි සඳහන් කරමින් මෙම ඖෂධ ගෙන්වීමට අභිලාෂ කැඳවීමේ ලේඛනයන් සකස් කර එම අභිලාෂ කැඳවීම් වෙබ් අඩවි තුළ පළ කර ඇත. මෙහිදී අතිරේක ලේකම්වරයා විසින් ලංසු විවෘත කිරීමේ කමිටු සහ සෞඛ්ය ලේකම්වරයා විසින් ඇගයීම් කමිටු පත් කර 2022 ඔක්තෝබර් 03 දින ලංසු විවෘත කිරීම ද සිදුකර ඇත.
මෙහිදී තවත් අනාවරණය වෙන වැදගත් කරුණක් වන්නේ, වැදගත් සහ අත්යවශ්ය ඖෂධ ආනයනය කිරීමට ඉන්දියානු ආධාර භාවිත කරන බවට අමාත්ය මණ්ඩලයට කරුණු දැක්වූවත් ගෙන්වන්නට යෝජනා ඉදිරිපත් කළ ඖෂධ අතර Everolimus/ Gentamicin Sulphate inj/ Cefuroxime inj වැනි අත්යවශ්ය නොවන ගණයේ ඖෂධ වර්ගයන් ද පැවති බවය. ඉන්දියානු ණය ආධාර බොරු එසේ පැටවු ගසා ඇත.
මෙම ඖෂධ ඇගයීම සඳහා සෞඛ්ය ලේකම්වරයා නිකන් බොරුවට වාගේ පස් දෙනෙකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවක් පත් කර තිබී ඇති අතර එහි ප්රසම්පාදන අංශයේ ප්රධානියා සේ කටයුතු කළ සමන් රත්නායකද සිට ඇත. මෙහි පිළිකා ඖෂධ වැනි විශේෂිත ඖෂධ ඇගයීම සඳහා සුදුසුකම් තිබෙන කිසිවෙකු සිට නැත. එයත් මෙම මූලික සැලසුමේම කොටසක් බව පෙනෙයි. එසේ පිළිකා ඖෂධ පිළිබඳ දැනුවත් පුද්ගලයෙකු මෙහි සිටියා නම් රිටොක්සිමැප් නම් ඖෂධය ගෙන්වීමේ ප්රයත්නය වැළකෙන්නට ඉඩ තිබුණි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වන විට තත්ත්වය මේකය.
මේ ඖෂධ ගෙන්වීම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළ බොහෝමයක් සැපයුම්කරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වලංගු සහතික තිබී නැත. එසේ නොමැති සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා දිරිගන්වා ඇති අතර ඔවුන්ට ඇණවුම් ලබාදීමේ අරමුණෙන්ම, ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කරනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය නිකුත් කිරීමේ පිළිගත් ක්රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇත. ඒ සඳහා ස්පෙෂල් පාත්වේ නම් ක්රමයක් සකසාගෙන ඇත.
මේ සියලු මගඩි ක්රමයන් බලාත්මක කරමින් යන අතරතුර රුපියල් බිලියන 6.9ක් වටිනා ඖෂධ ඇනවුම් 158ක් ගෙන්වීම සමාගම් 21ක් අතර බෙදා දී තිබුණි. එම සමහර සමාගම් එකම සමාගම් ජාලයකට අයත් සමාගම් ය. එයින් පෙනෙන්නේ එකම සමාගම් ජාලය වෙන වෙනස් ලංසු ඉදිරිපත් කර ඇති බව නොවේද?
මෙතරම් හදිසියක් සහ ඖෂධ හිඟයක් ගැන අමාත්ය මණ්ඩලයට බොරු අඟවමින් ඉන්දියානු ණය ආධාර බොරුවද ප්රකාශ කරමින් 2022 නොවැම්බර් මසයේ මෙම හදිසි ඖෂධ ඇණවුම් ලබාදුන්නත් එයින් 2023 අප්රේල් 24 දක්වා ලැබී ඇත්තේ ඖෂධ අයිතම 22කට අදාළ තොග පමණි. ඖෂධ අයිතම 136කට අදාළව 2023 අප්රේල් 24 දක්වාම තොග ලැබී නැත. මෙයින් පෙනෙන්නේ කෙහෙළිය අමාත්ය මණ්ඩලයට අඟවා ඇති ඖෂධ හිඟය බොරුවක් බවද? එසේ නැතිනම් ප්රශ්නය එතරම් දරුණුව නොතිබුණත් හොද්ද බොර කරගැනීමේ අරමුණෙන්ම මෙම කැබිනට් සංදේශ හැදුවා ද යන්නයි.
කෙහෙළිය අහිංසකද?
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්ය අමාත්ය ධුරය භාරගත් පසුව ඔහු සෞඛ්ය අමාත්යාංශයට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට සහ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවට ආදි ස්ථානවලට ප්රධානීන් සේ පත් කරන පුද්ගලයින් මෙම ඖෂධ ගනුදෙනුවලදී හැසිරී තිබෙන ආකාරය දෙස බලන විට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්යවරයා අහිංසක නැති බව කිව යුතුය. ඔහු අමාත්යාංශය භාරගත් පසුව මෙම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව පළමු කැබිනට් පත්රිකාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කරන්නේ 2022 සැප්තැම්බර් 26 දිනයේදී ය.
22/1523/610/018 යන අංකය යටතේ එම අමාත්ය මණ්ඩල සංදේශය ඉදිරිපත්වී ඇත. මේ පිළිබඳව අප පසුගිය කලාපයේත් සඳහන් කළෙමු. මේ ගේම පටන් ගන්නේ මෙතැනින් ය. ගේමට අවශ්ය පිටිය සකස් කරගැනීම සඳහා එක පිට එක ලෙස අමාත්ය මණ්ඩල සංදේශ, පත්රිකා ඉදිරිපත් වී ඇති අතර එම පෙරහැරේ පළමු පිම්ම මේ කැබිනට් සංදේශයයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ යෝජනාවට 2022/10/03 දිනයේදී අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
2022/10/25 නැවතත් අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින්, නැවතත් ඖෂධ හිඟය ගැන මෙන්ම ඉන්දියානු ණය ආධාර ක්රමය ගැනද, සඳහන් කරමින් ඉන්දියාවේ ගුජරාට්හි සැවෝරයිට් ෆාමසියුටිකල් පුද්ගලික සමාගමෙන් ඖෂධ අයිතම 38ක් මිලදී ගන්නට අවසර දෙන්න යැයි ඉල්ලා ඇත. 2022/10/25 දින අමාත්ය මණ්ඩල රැස්වීමේදී මෙම සන්දේශය සඳහා ප්රතිපත්තිමය අනුමැතිය ලබාදෙන්නටත් අවසන් තීරණයක් සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අනුකමිටුව එම සංදේශය යොමුකරන්නටත් තීරණය කර ඇති අතර එහිදී 2022/11/02 දිනයේදී මෙම කැබිනට් සංදේශයට මුදල් අමාත්යවරයාගේ විරෝධයක් නැති බව දන්වා ඇති අතර ඒ අනුව 2022/11/14 කැබිනට්ටුව මේ සංදේශය සඳහා අනුමැතිය ලබාදී ඇත.
ඉන්දියාවේ මෙම සමාගමට අමතරව, නැවතත් 2022/12/05 අමාත්ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ Kausikh Therapeutics LTd සමාගම සමග ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම්ගත වීමට අවසර ඉල්ලා ඇත. එහිදී අමාත්ය මණ්ඩලය 2022/11/02 දරන කැබිනට් අනුමැතියට යටත් ව කටයුතු කරන්නට අවසර ලබාදී ඇත.
මේ තොරතුරුවලින් පෙනෙන්නේ ඖෂධ සමාගම් සමග ඖෂධ ගෙන්වීමට අදාළව අමාත්යවරයා කෙලින්ම සාකච්ඡා පවත්වමින් කටයුතු කර ඇති බවය. අපි මේ පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය සතියේ ප්රකාශයට පත් කළෙමු. එහෙත් කිසි දෙයක් සිදුවෙන්නේ නැත. එයට හේතුව කෙහෙළිය රඹුක්වැල්ල නීතියට ඉහළින් වැජඹෙන ජයකෙහෙළියක් නිසාදැයි කියන්නට අප දන්නේ නැත.
අප මෙම සිදුවීම් දාමය හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්රතිදේහජනක ඖෂධ වංචාවට ලඝු කරන්නට සූදානම් නැත. ඊට එහාට ගිය බිහිසුණු පොදු දේපල මංකොල්ලයක් මේ කතාව පිටුපස ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය. හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ සමාගම් සමග සම්බන්ධතා පවත්වා නැතිද? අඩුම දැනට අත්අඩංගුවේ සිටින අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්රනාන්දු සමග හෝ සම්බන්ධතා පවත්වා නැතිද? ඒ පිළිබඳව සොයාගැනීමට අවශ්ය නම් සීඅයිඩීයට අමාත්යවරයාගේ දූරකථන දත්තයන් විමර්ශනයට ලක්කළ හැකිය.
විගණන විමසුමක්
2022 සහ 2023 වර්ෂයන්ට අදාළව මෙම ඖෂධ මගඩිය පිළිබඳව විගණන විමසුමක් සිදුකර ඇත. එහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විමසුම් අංක MSU/B/MSD/BCD/2/23/08/AQ/06 යටතේ සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්වරයාට වාර්තාවක් යවමින් විගණන විමසුමක් සිදුකර ඇත. එම විමසුම් ලියවිල්ලේ අප පසුගිය කාලයේ ලියූ බොහෝ කරුණු අන්තර්ගතය. සීඅයිඩීයට මෙම ලියවිල්ල විගණකාධිපතිවරයාගෙන් ගෙන්වාගෙන කියෙව්වා නම් කෙහෙළිය සීඅයිඩීයට ගෙන්වා ප්රකාශයක් සටහන් කරගැනීමට හිතෙන්න පුළුවන් ය. මෙම ලියවිල්ලේ අන්තර්ගත අප පසුගිය කාලයේ කතා නොකළ තොරතුරු මොනවාද? මඳක් විමසා බලමු.
‘2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 58, 82, සහ 101 වගන්ති නොසලකා කටයුතු කර ඇත. එම පනතේම 109 වගන්තිය නොසලකා ලියාපදිංචිය නිදහස් කිරීමේ ලිපි නිකුත් කර ඇත‘ යනුවෙන් එහි නිරීක්ෂණයන් ආරම්භ වී ඇත.
‘ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී එම ඖෂධයේ නිෂ්පාදක සහ දේශීය නියෝජිතයා පිළිබඳ තොරතුරු, පරිපාලන හා නිර්දේශ කිරීමේ තොරතුරු, ඖෂධයට අදාළ ලිපිගොනුවේ සමස්ත සාරාංශ තොරතුරු, ඖෂධයේ ගුණාත්මකභාවය සහතික කරනු ලබන ලේඛන, සායනික නොවන අධ්යයන වාර්තා, සායනික අධ්යයන වාර්තා, ඇතුළත්ව පුළුල් ලේඛන පරීක්ෂාවක් සිදුකරන නමුත් ඊට සාපේක්ෂව ඖෂධ ඇගයීම් කමිටුව යටතේ පිහිටුවන ලද ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුකමිටුව මගින් ඉතාමත් සීමිත ලේඛන ප්රමාණයක් ඇගයීම මගින් සහ සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේ හේතුවෙන් ගුණත්වය පිළිබඳ තහවුරුවක් නැති ඖෂධ රට තුළට පැමිණ ඇත’. යනුවෙන් එහි නිරීක්ෂණයක් ඇත. මෙයින් කියන්නේ කුමක්ද? මෙයින් කියන්නේ රෝගීන්ගේ ජීවිත බිල්ලට දී සෞඛ්ය බලධාරීන් මෙම සෙල්ලම කර ඇති බවය.
‘2020 වර්ෂයේ දී නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ ආනයනය කරනු ලැබූ හෘදය, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්වලදී භාවිත කරන furosemide syrup බෝතල් 6000ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වන විටත් එම ඖෂධ තොගයෙන් 98%ක ප්රමාණයක් රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිත කර තිබී ඇත.’ මෙම විමසුම සඳහන් කරයි. එයින් පෙනෙන්නේ මේ ජාවාරම් චෞරයන්ට පුංචි ළමයින්ගේ ජීවිත පිළිබඳව හෝ සහ කම්පනයක් තිබී නැති බවය.
‘2022 වර්ෂය තුළ නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ වෛද්ය සැපයුම් අංශය විසින් මිලදී ගන්නා ලද Bupivacaine ඖෂධය භාවිත කිරීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබුණ අතර එම ඖෂධය රෝගීන්ට බරපතළ අහිතකර ප්රතික්රියා (Adverse Drug Reaction – ADR) සිදුකර ඇති බැවින් 2023 ජූලි 21 දින පැවති ආරක්ෂාව සහ අවදානම් ඇගයීමේ කමිටුව (safety and risk evaluation subcommittee – SAFRESC) විසින් එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත්කර ඇත.’ මෙම සිදුවීම් සිදුවුණ කාලයේ සෞඛ්ය අමාත්යවරයා මෙන්ම සෞඛ්ය බලධාරීන් ප්රකාශ කළේ මොනවාද? මඳක් කල්පනාකර බලන්න. එම බාල බෙහෙත් භාවිත කාලයේදී මියගිය කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය යුතු නැද්ද? අඩුම ගානේ එම පවුල්වලට වන්දියක් හෝ දෙන්නට සෞඛ්ය බලධාරීන් කටයුතු කළාද? මෙහිදී මරණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් මේ ජාවාරමුන්ට විරුද්ධව නඩු දැමිය යුතුය.
special pathway ක්රමය ගැන නිරීක්ෂණ
special pathway ක්රමය යනු හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්යාංශය භාරගත් පසු හිතූ හිතූ ලෙස ඖෂධ ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක වෛද්ය විජිත් ගුණසේකර හරහා ක්රියාත්මක කළ ක්රමයයි. ඖෂධයක් මිලදී ගැනීමේදී එතෙක් රාජ්ය විසින් අනුගමනය කළ සියලු ප්රශස්ත ක්රමවේදයන් කුණුකූඩයට වීසිකරමින් මෙම නව ක්රමය ක්රියාත්මක කළේ ඇයි?
‘ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්රමවේදය සම්බන්ධයෙන් අධිකාරිය විසින් 2019 ඔක්තෝබර් 15 දිනැතිව මාර්ගෝපදේශයක් පිළියෙළ කර තිබුණ අතර ඊට අනුකූලව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ඊට අදාළ අනුකමිටුව මගින් ලබාගත යුතු වුවත් සෞඛ්ය අමාත්යාංශයේ ඉල්ලීම පදනම් කරගනිමින් 2022 සැප් 16 දිනැති අධ්යක්ෂ මණ්ඩල තීරණය ප්රකාරව අනුකමිටු අනුමැතිය සඳහා යොමුකිරීමෙන් තොරව special pathway ක්රමය වශයෙන් හඳුන්වනු ලබන වේගවත් යාන්ත්රණයක් හරහා ප්රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්රමවේදයක් අනුගමනය කර තිබුණි.
එහිදී ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ප්රදානය කිරීමේදී අනුකමිටුව විසින් සලකා බලන මිල සාධාරණත්වය, ඖෂධය පිළිබඳව විද්යාලයේ මතය, ඖෂධයේ අත්යවශ්යතාව, සැපයුම්කරුගේ සහ නිෂ්පාදකයාගේ ලියාපදිංචි තත්ත්වය, ගුණත්වය පිළිබඳව පෙර පැවති ගැටලු (තත්ත්වයෙන් අසමත් වීම) වැනි සාධක පිළිබඳව අවධානය යොමුකිරීමෙන් තොරව එම ඖෂධයේ ගුණත්වය, ආරක්ෂාව සහ ප්රත්යක්ෂභාවය, තහවුරු කරනු ලබන ලේඛන ඇගයීමෙන් තොරව ගැනුම් ඇණවුම, ඉන්ඩෙන්ටුව සහ වෙළඳ ඉන්වොයිසය වැනි ඇණවුම තහවුරු කරන ලේඛන පමණක් පරීක්ෂා කර අනුමැතිය පිරිනමා තිබුණි‘. මුලින් සඳහන් කළ දෙදෙනාගේ මරණයට මෙම ක්රමවේදය හේතුවක් නොවෙයිද? ඒ පිළිබඳව කරුණු සොයා බැලිය යුතු නැද්ද? තව කීදෙනෙක් නම් නිහඬවම මෙම බාල බෙහෙත් නිසා මිය යන්නට ඇතිද? රෝහල් බලධාරීන්ට ඒ පිළිබඳ තිබෙන තොරතුරු මොනවාද?
‘2022 වර්ෂය තුළ නිකුත් කර තිබුණු මුළු ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි සංඛ්යාව 656කි. එයින් 57ක් special pathway ක්රමය යටතේ වෛද්ය සැපයුම් අංශය වෙතද, 176ක් special pathway ක්රමය යටතේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ පමණක් special pathway ක්රමය යටතේ ලිපි 233ක් නිකුත් කර ඇත. 2023 වර්ෂයේ ජූනි දක්වා කාලය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 261ක් නිකුත් කර තිබුණ අතර එයින් 03ක් special pathway ක්රමය යටතේ වෛද්ය සැපයීම් අංශය වෙතත්, ලිපි 51කක් special pathway ක්රමය යටතේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ මුළු ලිපි සංඛ්යාවෙන් 36%ක් special pathway ක්රමය යටතේ ගිය ඒවාය. 2023 අවුරුද්දේ ජූනි වන තෙක් එම ප්රතිශත අගය 21%කි‘. මෙම නිරීක්ෂණයෙන් හොරා කෑමේ පරිමාව තේරුම් ගන්නට පුළුවන් වෙනු නියතය. මෙසේ අනුමැතිය ලබාදුන් සමාගම් ගෙනා බෙහෙත් වර්ග මොනවාද? කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ බෙහෙත් ඔහේ රෝගීන්ගේ රුධිරය මත දියව යන්නට ඇත. සල්ලි, ජාවාරමුන්ගේ සාක්කුවලට වැටෙන්නට ඇත.
‘meropenem injection USP 500mg යන ප්රතිජීවක ඖෂධයෙන් ඒකක 400,000ක් මෙරටට ආනයනය කිරීම සඳහා special pathway ක්රමය යටතේ අනුමැතිය ලබාදී තිබුණ අතර මීට පෙර තත්ත්වයෙන් අසමත්වීමේ වාර්තා තිබීම හේතුවෙන් ඒ ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිවී නොතිබුණි. මීට අමතරව ඉහත ක්රමයට අනුමැතිය දුන් තවත් ඖෂධ 15කට අදාළ නිෂ්පාදකයන්ගේ ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම් වාර්තා වී ඇත.’
‘කර්ණ ආසාදන, රක්තපාත තත්ත්වයන් සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ආදි රෝග සඳහා භාවිත කරනු ලබන Ofloxacin viaeye/ ear drops 5ml/ Cinnarizine Tablets BP 25mg/ Rifaximin Tablets 550mg iy Mosapride Citrate Tablets 5mg වැනි ඖෂධ සඳහා special pathway ක්රමය හරහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ලබාදී තිබුණ අතර එම ඖෂධ 29ක් අත්යවශ්ය නොවෙන ඖෂධ වීම නිසා එම ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිව නොතිබුණි.’
විද්වතුන් කැළේට
‘විද්වතුන් 14 දෙනෙකුගෙන් සමන්විත ඖෂධ ඇගයීම් කමිටුව අබිබවා special pathway ක්රමය හරහා ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාදීම තුළින් ගුණත්වය, ආරක්ෂාව සහ ප්රත්යක්ෂභාවය පිළිබඳව කිසිදු තහවුරුවක් නැතිව ඖෂධ ආනයනය කිරීම මගින් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇත’
‘2022 දෙසැම්බර් මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා ඉදිරිපත් වූ ඖෂධ අයිතම 38ක් ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) 38ක් නිකුත් කර තිබුණ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ඖෂධ ඇගයීම සිදුකර නැති බවත්, ඒ හේතුවෙන් එම ඖෂධවල ගුණත්වය, ආරක්ෂාකාරී බව, සහ ප්රත්යක්ෂභාවය පිළිබඳව අධිකාරිය වග නොකියන බවටත්, වගකීම වෛද්ය සැපයීම් අංශයේ අධ්යක්ෂ විසින් භාරගත යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කරමින් එහි වගකීම අධිකාරිය විසින් අත්හැර තිබුණි.’ මෙම නිරීක්ෂණයෙන් කියවෙන්නේ බල්ලාගේ වැඩේ බූරුවාට පැවරීමේ තත්ත්වයයි. මෙවැනි සිදුවීම් රැසක් මෙම ජාවාරම සිදුවන අවස්ථාවේ සෞඛ්ය අමාත්යාංශයේ සහ ඊට අයත් සෞඛ්ය ආයතන තුළ සිදුව ඇත. එයින් කියන්නේ හිටපු සෞඛ්ය අමාත්යවරයා රාජ්යයේ සෞඛ්ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳහෙළා ඇති බව නොවේද?
‘ඖෂධ නියාමන අධිකාරිය විසින් ආනයන පාලක ජනරාල් වෙත යවනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයේ පිටපත් වෛද්ය සැපයීම් අධ්යක්ෂට එවන බවට අදාළ සහහිකයේ සඳහන් වුවද 2022 වර්ෂයේ සිට සිදුකරන ලද හදිසි මිලදී ගැනීම් හා ඉන්දියානු ණය ආධාර යටතේ සිදුකළ මිලදී ගැනීම්වලට අදාළ WOR සහතිකයේ පිටපත් වෛද්ය සැපයීම් අංශයට එවා නොතිබුණ අතර 2023 ඔක්තෝබර් 16 දින පිටපත් 105ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් වෛද්ය සැපයීම් අංශයට එවා තිබුණි. නමුත් විගණිත දින දක්වාම ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර තිබුණ අනෙකුත් WOR සහතිකවලට අදාළ වෛද්ය සැපයීම් පිටපත් එවා නොතිබුණ බවද ඒ හේතුවෙන් සැපයුම්කරුවන්ට තොග භාරදීමේදී වංචා සිදුකිරීම සඳහා ඉඩකඩ විවර වෙන බවද නිරීක්ෂණය විය. අදාළ පිටපත් මුල් අවස්ථාවේම වෛද්ය සැපයීම් අංශයට ලැබී තිබුණේ නම් තොග පරිපාලන නිළධාරීන්ට එමගින් තහවුරු කිරීම් සිදුකර ගත හැකිව තිබුණ බවද ඒ හේතුවෙන් වර්තමානයේ බරපතළ ගැටලු පැනනැඟුණු Human Immunoglobulin සහ Rituximab වැනි ව්යාජ ඖෂධ ලබාදීමේ වංචාවන් හසුකරගැනීමට අභ්යන්තර පරිපාලනය සමත් වන බවත් නිරීක්ෂණය විය.’
කෙහෙළියලා ගේම් ගසන කාලයේ ලියූ මෙම ලිපි පෙළ කියවන්නට අවැසිනම් - www.anidda.lk
Comments