දේශයත් ජීවිතයත් මරණයේ භීතියෙන් වෙලී සිටිනා විට ඒ පීඩනයේ හඬ පිටතට අවදි කරන්න දීපචෙල්ලන් දැරූ වෑයම 2005 සිට ඔහු කවියක් එළි දක්වනවා. "ලිපිනයක් හෝ හැඳුනුම්කමක් සටහන් කිරීම මිනී පෙට්ටියක් මිලට ගෙන ළඟ තබා ගැනීමකට "සමාන කරන දීපචෙල්වන් ඔවුනට සියල්ල අහිමි කළ යුගයක සියල්ල අහිමි කළ දේශයක ලියවුනු එම පීඩනයේ වේදනාව "අහිමි කවි" නමින් හඳුන්වනවා.
" බංකරයක උපන් දරුවෙක් "නමින් 2008 දී ඔහු සිය පළමු කාව්ය එකතුව එළි දක්වනුයේ උතුරේ දමිළ ජනයා මත දැඩි රාජ්ය ආක්රමණයක් පමණවමින් ඔවුනගේ ජීවිත තලා පෙළා මනුෂ්යත්වයේ සිහින විනාශ කර දැමූ භූමියක නිරන්තරව අවතැන් වෙමින් හිස් ලූ ලූ අත පලා යමින් බංකර තුළ රහසිගතව ජීවිතය සඟවා ගන්නට වෑයම් කරන අතරතුරයි. සුවහසක් ඝාතනය කරමින් තවත් දහස් ගණනක් අතුරුදහන් කරමින් ලක්ෂ සංඛ්යාත ජනකායක් අවතැන් කරමින් නිහඬත්වය හා බිය තුළට සීමා කරනු ලැබූ සිය ජනයාට තම නිජබිම තුළ නිදහස් හා ගෞරවනීය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට ඇති ගැඹුරු අභිලාෂය මුදා හැරීම ඔහුගේ කවිය විය. ජීවත්වීමේ අයිතිය අහිමි කළ මිනිස් වේදනාවක යටපත් කළ හඬ අවදි කරමින් යුක්තිය හා නිදහස පිළිබඳ තම ජනයා අතරද කෲර මර්දනීය දේශපාලන අභියසද දේශපාලන සංවාදයක් ගොඩනංවන්නට තරම් දීප චෙල්වන් මානව හිතවාදීව නිර්භීත වූයෙන් සිය තුරුණු වියෙහිදීම ජීවිතය පරදුවට තබමින් උමතු වාර්ගික හිංසනයකට එරෙහිව ඔහුගේ ප්රකාශනය කවියක් කරමින් සමාජය සමඟ බෙදා ගනියි.
මානවීයත්වයක් විඳවූ මෙතරම් කුරිරු පීඩනයක් රිද්මීය බසකින් අපිට ගෙනහැර පාන දීපචෙල්වන්ටත් ඔහුගේ ඒ මානුෂීයත්වය සිතීමේ දෘෂ්ටිමේ රිද්මය එපරිද්දෙන්ම ඉස්මතු කරමින් "රාත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන" නමින් දකුණේ සහෘදයන්ට අභිමුඛ කර වූ අනුශා සිවලිංගම් සොයුරියටත් අපගේ දේශයේ ආදරය හා ගෞරවය පුදනවා..
දීපචෙල්වන් සොඳුරු හා මානවීය ලෙස කාව්ය අඬහැරය අවදි කරනුයේ බියවද්දා නිහඩ හා නිසල කළ දේශපාලනයක සිරවී සිටි මිනිසුන් අතරය. ඔහුගේ යාල් නගරය කවිය ඇරඹෙන්නේ මෙසේය.
" කොත්තු රොටි කඩයක් නාඳුනන මළකුණක්
වට කරගත් නගරයක් යාපනය නිහඬියාවක්
යාළ් නගරය අවසන් වෙනුයේ මෙසේය,
"පණ නැති මා නිහඩය
පණ ඇති ඔබත් නිහඩය තව සැණෙකින් ඇඳිරි නීතිය
පොදු සිරිත බිඳ දැමූ
යාළ් නගරය
දැන් කුමක් සිදු වේද..."
දීප චෙල්වෙන් ඒ නිහඬියාව කවියෙන් කවියට වැකියෙන් වැකියට බිඳ දමන්නට වැර දරයි. "කුරුල්ලෙක් විනාශ වූ ගමක් ත්රස්ත පිහාටුවක්" කවියේ ඔහු මෙසේ නිහඬියාව බිඳී.
"හැම මාවතක්ම
විනාශ කළ
ගොළු වූ ගමක
දුක ගලමින් තිබුණි.
දුකම වැළඳගත්
ගමත්
එයම ඔසවා ගත් කුරුල්ලත්
කූඩුවක සිරවුණි
ඉනික්බිති,
සියල්ලෝම ගොළුවෝය."
උතුරුකරයේ" ගම් අතර ගිය වුන්ගේ ගීතයේ" වේදනාත්මක ස්වරය දීප චෙල්වෙන් ගයන්නේ මෙසේය.
"ධාන්ය පිරුණු නිවෙස්ය නිවෙස් පිරුණු ගම්ය
ඒත් , අත්හැර
අපි පිටත්වීමු
දුකින් පිරි මාවත් ය
බෙදී දික්වෙන
ඒ හැම මාවතකම
හිසෙහි මළු දරාගෙන.. නැවතී මොහොතකට
දැන් හැරී බලන්න
මේ අපේ ගම් දිහා
ගේ පිළි හිස්ය
නිවෙස් මුල් පිටින්ම
ඉරී ගොස්ය
මගේ අම්මත් නොදත් මාවතක ඔහේ යනු ඇත ඇය කොතනකදී හෝ මට හමුවනු ඇත
මගේ වයසටත් සිරුරටත් බර දරන පොදියක් මම කර තබාගෙන යමි. අම්මාගේ හිසෙහිද බර පොදියකි
මේ පොදි සමඟ අපි ජීවිතයක් ඇරඹීමට
පටන් ගන්නෙමු.
අපේ අහස
අපෙන් උදුරා ගෙනය
අපේම තාරකා
අපෙන් සොරා ගෙනය
ෂෙල් වෙඩි
මිදුලට පාත් වෙයි. දොරකඩ අවුලවා
ගඳ ගසයි
අහස් යක්ෂයන්
ගුවන ඉරමින්
ගම්මාන ගිල දමයි.
ඒ ගම් නිදහස් කළ බව රජයේ රේඩියෝවෙන් දැනුම් දෙයි.
දැන් අප ටෙන්ට් කැබැල්ලක් සොයා ඇවිදිනු ඇත
ගසක සෙවණක් සොයමින් ගමන් කරනු ඇත
එබී බලනු !
මෙහෙ කළුවරයි හොඳටම
අපි කළු මිනිස්සු
කළු පොදි දරා
සෙවණැති නිවෙස් අහිමි පුංචිම සෙවණක් සොයා ඉබාගාතේ යන..."
දශක ගණනාවක අවතැන් ජීවිතයෙහි කතාවත දීපචෙල්වන් කවියක සිතුවම් කරන්නේ ලොවට ඒ දෙස එබී බලන්නට ආරාධනා කරමිනි. දකුණේ සමාජ දේශපාලනය විසින් කියවා නොගත් වටහා නොගත් උතුරේ ජීවිතයේ සැබෑව විනිවිද දකින්න ඔහු කවිය ඒ කටුක සත්යයෙන් සිතුවම් කරයි.
තිස් වසරක බිහිසුණු වාර්ගික යුද්ධයක මංකොල්ලකෑමකින් අනතුරුව තවත් දශක එකහමාරකට අධික කාලයක් ගෙවී ගොස් ඇතත් උතුරේ බහුතරයකට තවමත් සිදුව ඇත්තේ හුදු භෞතික සිරුරු පමණක් දරා ඒ සියල්ල අහිමි වූවන් ලෙස දිවි ගෙවන්නටයි. සිය ගම්මාන හමුදා කඳවුරු බවට පත්ව ඇති භූමියක බිම් අගලක් අහිමිව අවතැන් වූ දහස් ගණනක ඛේදනීය අත්දැකීම් පාදක කර ගනිමින් දීපචෙල්වන් යුක්තිය ඉල්ලා දේශපාලන කාව්ය සංවාදයක් ගොඩනංවයි.
ඒ සංවාදය කෲරත්වයට එරෙහි මානවීය හෘදය ස්පන්දනයක රිද්මයක් ලොව පුරා ගලා යාමට සලස්වමින් දීපචෙල්වන්ගේ කවි දෙමළ බසින් සිංහල හා ඉංග්රීසි භාෂාවන්ටද පරිවර්තනය කරවා ඇත ." Im Not A Srilankan "නමින් ඔහුගේ කාව්ය සංග්රහයක් ඉංග්රීසි බසින් පළ කර ඇත. එසේම දීපචෙල්වන් සිය අත්දැකීම් ප්රකාශ කරමින් වාර්ගික ප්රහාර අවසන් වීමෙන් පසු උතුරේ ලියවුණු ප්රථම නවකතාව "නඩුගල් නමින් "දමිළ බසින් ප්රකාශ කරයි. ජී.ජී.සරත් ආනන්ද විසින් එය සිංහලට "ස්මාරක ශිලාවත" නමින් පරිවර්තනය කරයි.
"ස්මාරක ශිලාවත"සිංහල ප්රජාව වෙත ඔහු තිළිණ කරනුයේ කෙළි දෙලෙන් අහිංසකව දිවි ගෙවූ දමිළ දරුවන්ට හා නව යෞවනයන්ට සිය ළමා විය අහිමි කරමින් යුද්ධයකට එරෙහිව යුද්ධයක පාර්ශවකරුවන්ව අවි දරා සිටීමට සිදුවූ දේශපාලන ඛේදයේ මූල පදනම් විදහාලමින් දකුණේ දේශපාලන හෘදය සාක්ෂිය ගැඹුරු සිතීමේ සංලක්ෂයකට ළගා කරමිනි.
අදහස් ප්රකාශනය මරණයෙන් අවසන් වන බරපතල අහිමි වීමක් බව දැන සිටියද තමාට පූර්වයෙන් හා සමකාලීනව ඉතිහාසය පුරා ලොව පුරා එවන් ඝාතන හා නිසල කිරීම් වලින් පිරී තිබුණද තම සහෝදර ජනයාගේ ජීවත් වීමේ අයිතිය හා නිදහස භුක්ති විඳීමේ අයිතිය උදෙසා තමා සතු දෘෂ්ටිමය හා භාෂාමය ශක්යතාවය මුසුකර විමුක්තියේ රාව
නං වන්නට දීපචෙල්වන් ඉදිරිපත් වීම හුදු සාහිත්යමය වින්දනයකින් ඔබ්බේ මනුෂ්යත්වයට එරෙහි හිංසනය පිළිබඳ අපට සිතා බලන්නට දේශපාලන අවකාශයක් විවර කරනවා.
කෲර මර්දනයකට එරෙහිව සිය ජනතාවගේ නිදහස වෙනුවෙන් අදහස් ප්රකාශ කරමින් ජනතාව අත් නොහැර ඔවුන් සමගම දිවි ගෙවන දීපචෙල්වන්ගේ ජීවිතයට මේ දක්වා එබී ඇති තර්ජන නොතකා ඔහු සිදුකරන ප්රචණ්ඩත්වයට විරෝධය පෑමේ ගැඹුරු ආත්මීය ප්රකාශනය නිසා දීපචෙල්වෙන් අපගේ යුගයේ අපගේ දේශය බිහි කළ "විශිෂ්ටතම මානව හිතවාදී කවියා හා අදහස් පළ කරන්නා "ලෙස නම් කිරීමට කැමැත්තෙමි.
මෑත ඉතිහාසයේ හිට්ලර්ගේ නාසි කඳවුරු වල සිට වර්තමානයේ ගාසා තීරය වසා පැතිර ගත් උමතු වාර්ගික ප්රචණ්ඩත්වයකට එරෙහිව පබැදුණු සියලු කව් ගී කතා අතරට ලාංකික වේදනාවේ දීපචෙල්වන් නිමවන ස්වරය එක් වනු ඇත.
හිට්ලර්ගේ වධකාගාරයක සිට "ජනතාවනි, මම නුඹලාට ආදරය කරනවා. ප්රවේසම් වෙන්න "යයි රහසිගතව අදහස් ලියා ජනතාව අතරට එවූ පුවත්පත් කලාවේදී ජුලියස් පූචික්ට සේම සිය දෑත් සිද දමමින් මරණයට කැඳවාගෙන යද්දී ජනතාව වෙනුවෙන් ගී ගයමින් මරණයට ළඟා වූ වික්ටර් හාරාට මෙන්ම අදහස් ප්රකාශනය වරදට සිරගතව සිටින කල සිර කුටියෙහි වැසිකිලි පත්රිකා මත ඇයි බැමි අදින පැන්සල් තුඩකින් අදහස් රහසිගතව ලියා පිටතට එවූ මිසර ලේඛිකා නවාල් එල් සදාවිට මෙන්ම විසි එක්වන සියවසේ මුල රුසියාව චෙච්නියාවේ සිදුකළ වාර්ගික හිංසනයයට එරෙහිව අදහස් පළ කිරීම නිසා මහ මඟ ඝාතනය කළ රුසියානු මාධ්යවේදීනී අන්නා පොලිකෞෂ්කයාට මෙන්ම ලොවක ආදරය හා ගෞරවය උරුම කර ගනිමින් ,සංග්රාම භූමියකදී තම ජනතාවගේ නිදහස වෙනුවෙන් කවි ලියූ දීපචෙල්වන් ඔබද වාර්ගික ම්ලේච්ජත්වයට එරෙහිව දේශපාලන පෙර ගමන්කරුවෙක්ව ඉතිහාසයට එක් වේවි.
දීප චෙල්වන්ගේ කවිත්වය රසවිඳින්න මෙන්ම දශක ගණනාවක් අප සැබෑ ලෙස නුදුටු අත් නො නොවිදි හා සිතා නොබලවූ දමිළ ජනයාගේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පීඩනයෙහි ගැඹුරු වේදනාවෙහි අනුභූතින් හා අරුත් අත්විඳිමින් උතුර සමඟ සහෝදරාත්මක නව දේශපාලන සංස්කෘතික බැඳීමක් ගොඩනංවා ගන්න රාත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන සංවාදයේදී මම දකුණේ සහෝදරත්වයට ආරාධනා කරනවා කරනවා. ස්වභාව දහමින් ඔවුනට හිමිවූ නමුත් බලහත්කාරීව අහිමි කරනු ලැබූ ආකාශයත් ..
මහ පොළොවත් ..මුහුදත් මේ නිජබිමේ ඔවුනට නිදහසේ භුක්ති විදින්නට ඔවුනගේ ජීවිතය යළි උරුම කරගන්න අපි සහෝදරත්වයෙන් ඔවුන් හා දෑත් යා කරමු.
දීපචෙල්වන් ට තරමක පූර්වයෙන් 1990 දශකය මැද භාගයේ සිට උතුරේ වාර්ගික හිංසනයට එරෙහිව අදහස් ප්රකාශනයේ නිරත වූ මගේ නිර්මාණ රැසක ඔහුගේ නිර්මාණ තුළින් විදහා දැක්වෙන වේදනාවෙන් බිඳක් සිතුවම්ව තිබෙනවා. දීපචෙල්වන් සිය උපන් බිමෙහි නව යෞවනයෙක්ව සරණාගතව ..අවතැන්ව.. කවි ලිවීම අරඹමින් සිටි කාල වකවානුවේ 2003 අප්රේල් මස මංජුල වෙඩිවර්ධන මාධ්ය සගයා කී පුවතක් පදනම් කරගෙන මවිසින් පබැදි මේ කව ඔබට තිළිණ කරමින් මෙම සංවාදයෙන් සමු ගන්නෙමි.
නිමිත්ත - රජය හා එල්.ටී.ටී සංවිධානය අතර සටන් විරාම සමයේ එල්.ටී.ටී. සංවිධානයේ සාමාජිකාවන් වූ වයස අවුරුදු 14 ක දැරියන් දෙදෙනෙකු බෝම්බ නිෂ්ක්රීය කටයුතු සිදු කරමින් සිටියදී පසු ගියදා බෝම්බයකට ගොදුරුව මිය ගිය බව මාධ්යය සගයෙක් කියූ වගයි.
සාධනා.. තංගනී..
නුඹලා කොතෙක් පැයක් නම් උරා බී ඇද්ද තන කිරි..අම්මා බොහෝ ඈතට ගෙන ගියාද කවදා..කුළුණක් විතරක් ඉතුරු වූ දොරකඩින්
ළපටි සුරතලය
සඟවා තියා නික්මුණේ කවදාද කියා
මතකයක් හෙම තිබුණාද..ටිකිරි දෑතේ ඇගිලි තුඩු කොතෙක් අඟලක් දික්ව වැඩී තිබුණාද..
කොණ්ඩේ පීරා
ගැට ගසා ගන්නට
තනිවම ඉගෙන ගත්තාද..
අහසින් පියාඹන කෆීර් යානා හය
වතාවකට කිලෝ ග්රෑම් දොළොස් දාහක් බරට මරණය බිම හෙලද්දි
මේ ගම්බි මේ කොයි ඉසව්වේ හැංගුණිද
වන්නියම ගිනි යන්න සෝඩි පියයුරු මැද්දෙ ලැම පුරා ඇවිලෙද්දිත්
නුඹලා හුස්ම අල්ලන් උන්නා නොවේද
තල් වැටෙන් එහා සිදුරක්වත් නොදැකපු දකුණේ කවි සිත් ලැජ්ජාවෙන්ම ගොළුකර ජීවිතය..බලාපොරොත්තු.. හෙට දොහක්..ගැන
හාංකවිසියක්වත් නොදැනම
වන්නියේ හැංඟුණු වන්නියටම කරවුනු නුඹලා අඬන්නට ඇහේ කඳුළක්වත් නැත්තටම
නැති කාලෙකයි
හෙමි හිමිහිට යන්න ගියේ.
අනේ පුංචි සාවියනේ, ඇත්තටම කමා කරපල්ලා. නුඹලාගේ මළගමට එකම එක කඳුළක්වත් ඇන්න එන්න නැතුවාට.
ඇත්තමයි මේ යුද්ධය නුඹලා විතරක් නෙමෙයි අපි සේරොමලා
හෙමිහිට මරා දාලා...
---තිලිනා වීරසිංහ---
--2026 පෙබරවාරි 01--
දීපචෙල්වන්ගේ රාත්රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන කාව්ය සංග්රහය පිළිබද "Lit Room සාමුහිකය" පැවැත් වූ සූම් සංවාදයේදී පළ කළ අදහස්..

